Wednesday, January 8, 2020

රහත් වුණත් වැඩක් නෑ දත් මදින්න එපැයි

දත් කියලා කියන්නේ ඒ කාලේ ඉඳලම මට ගොඩක් වද දීපු දෙයක්. පොඩි කාලේ ඉඳලම මට දත් ප්‍රශ්න ගොඩක් තිබ්බා. මගේ දතක් නරක් වුණා මම හෙන පොඩි කාලෙම. ඒ මදිවට මගේ ඉස්සරහ දත් සෙට් එක ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ආයි මගේ දත් පොඩ්ඩක් වත් ලෙවල් නෑ, දෙයියෝ මගේ දත් ටික හිටෝලා තියෙන්නේ වැටිමාර ඉනි හිටෝනවා වගේ මෙලෝ පිළිවෙලක් නැතුව එක එක පැත්තට. මේ නිසා මම පොඩි කාලේ මගේ ගොඩක් සෙනසුරාදා උදේ වරුවල් ගත කලේ ඩෙන්ටිස්ට් පුටුවක් උඩ. ගොඩක් වෙලාවට ඒ අපේ තාත්තාගේ cousin අක්කා කෙනෙක් වෙච්ච "දත් නැන්දා" ගේ ක්ලිනික් එකේ ඩෙන්ටිස්ට් පුටුව උඩ. හැමදාම මොකක් හරි රෙද්දක් එක්කෝ දත් සුද්ධ කරනවා , නැත්තම් පුරෝනවා , එක එක රෙද්දවල්. පොඩි කාලේ මට මේ දත් සෙල්ලම් කොච්චර එපා වුනාද කියනවනම් අදටත් ඔය ඩෙන්ටිස්ට් පුටුවට නග්ගලා , ලයිට් එක මූනට ගහලා , අර භයානක දත් සුද්ද කරන මෝටරේ කැරකෙන සද්දේ ඇහෙනකොටත් මගේ ඇඟ හීතල වෙනවා. මම හිතන්නේ මට සිරාවටම මොකක් හරි ඩෙන්ටිස්ට් ෆෝබියා එකක් තියෙනවා, මම පට්ට බයයි ඩෙන්ටිස්ට් ගාවට යන්න අදටත්. 

මගේ දත් කරුම ඉතිහාසෙන් බිඳක් කියනවනම් මම හය වසරේ විතර ඉද්දි මගේ ඉස්සරහම දතක කෑල්ලක් කැඩුනා. ඒක වුණේ මෙහෙමයි , මම හිතන්නේ පොඩි කාලේ ඔයාලත් මේ සෙල්ලම කරලා ඇති. ඉස්සර ටීවී එකේ ක්‍රිකට් මැච් වල ක්‍රීඩකයෝ පැනලා පෙරලිලා කැච් අල්ලන හැටි බලන් ඉඳලා මමත් හෙන ආසයි ඒ වගේ පෙරලිලා කැච් අල්ලන්න. ඉතින් මම කරන්නේ ගේ ඇතුලෙම බිත්තියකට ටෙනිස් බෝලේ ගහනවා , ගහන්නේ බිම වැදිලා බිත්තියේ වැදෙන්න , එතකොට පොඩ්ඩක් ලූප් වෙලා අපේ පැත්තට බෝලේ එනවනේ. ඊට පස්සේ මම ඉස්සරහට පැනලා ඒක අල්ලනවා , අල්ලලා බිම වැටිලා රෝල් වෙනවා අර මැච් වල කරනවා වගේ. ඉතින් මම දවසක් ඔහොම කර කර ඉද්දී මම අර හැමදාම කියන මගේ ගොන් ක්ලම්සි භාවය අවදි වුනා ( ඒක මට උපතින්ම ආපු එකක් ). මම බිත්තියට බෝලේ ගහලා කැච් එකක් අල්ලලා බිමට ලෑන්ඩ් කලේ මගේ හොම්බ බිමට එන්න , ෆ්‍රෙඩී මර්කරි වගේ දත් ඇන්දත් ලොම්බ කරන් තමයි මම බිමට පත බෑවුනේ. ඉතින් මගේ ඉස්සරහ දත් ඇන්ද කෙලින්ම බිම ඇනුනා "හොක්" ගාලා. (අර අයිස් ඒජ් එකේ ඇටේ පස්සේ දුවන ලේනා වගේ , බලහන්කො ෆොටෝ එක ).


ඒ වැටිච්ච පාර එහෙම්ම මගේ දතේ කොන කඩල ගියා "ටික්" ගාලා. දත මොහොමඩ් වුණා. 

ඊට පස්සේ පට්ටම සීන් එක කියන්නේ තාත්තා මාව පස්සේ දවසක එක්කන් ගියා ඔය දත හදන්න. දතේ කැඩිච්ච හරියට පිරවුමක් දාලා අලුතෙන් කෑල්ලක් හදන්න තමයි ගියේ. මම කිව්වනේ මට ඩෙන්ටිස්ට්  ෆෝබියාව සැරටම තියෙනවා කියලා. ඒ නැතත් මම හෙන ලාමක ටින් ටින් බුවා කොහොමත් , නිකන් තුවාලයක් සුද්ධ කරන්න ගියත් ගෙදර දෙවනත් කරලා මරහඬ දෙනවා මම. ඉතින් ඒ නිසා දත හදන්න ගිහිල්ලා මම බෙරිහන් දුන්නා පළාත දෙවනත් වෙන්න. 

අන්තිමට එච්චර කට්ට කාලා හදාගෙන ආපු දත මම එදාම දවල් ගෙදර ඇවිත් කාලා වතුර එකක් බොන්න ගිහිං වීදුරුවේ දත වැදිලා අර අලුතෙන් දාපු පිරවුම් කෑල්ල කැඩිලා ගියා කියහන්කෝ ! පැය තුන හතරක් වත් තිබ්බේ නෑ අලුත් දත :(. තාත්තට සිද්ධිය කිව්වම එයා කිව්වා "තෝ එතන ගිහිං දත හදනකන් මැරෙන්න හැදුවා , ආයේ නම් යන්නේ නෑ තොට දත් දාන්න" කියලා , ඉතින් ඒ නිසා මගේ ඉස්සරහ දතේ අදටත් කෑල්ලක් මිසිං.

මගේ පලවෙනි දත ගැලෙව්වේ මම අට වසරේ ඉද්දී. සල්ලි ඉතුරු කරගන්න ඕනේ නිසා ඉස්කෝලේ ඩෙන්ටල් එකෙන් තමයි ගැලෙව්වේ. මම ඒ කාලේ ඉස්කෝලේ ඩෙන්ටල් එකට කොච්චර යනවද කියනවනම් ඩෙන්ටල් එකේ ඩොක්ටර් මාව අඳුරනවා නමින් ම. දවසක් ඩෙන්ටල් එකෙන් පන්ති ගානේ ගිහිං දන්ත සෞඛ්‍ය ගැන කියලා දෙන වැඩසටහනකට ඇවිත් ඩොක්ටර් මට "රකිත" කියලා කතා කළා. අපේ පන්තියේ උන් පුදුම වුනා ඩොක්ටර් මගේ නම දන්නේ කොහොමද කියලා , අන්තිමට මාව බයිටුත් වුණා මම ඩොක්ටර් ගේ දුවට ලයින් කියලා වස විලි ලැජ්ජාවයි (ඩොක්ටර්ට දුවෙක් හිටියා තුන වසරේ විතර) . 

කොහොමහරි ඩොක්ටර් එයාගේ වෙන්ට බෑණා වෙච්ච මට එච්චර හොඳට සැලකුවේ නෑ , මගේ ගලවපු දත තිබ්බේ යට හක්කේ කොණේ. ඒක ගලවන්න ගිහිං රීවා. ඒ කාලේ වැඩි ගැජට් පැජට් නෑ නේ , අර අඩුවක් වගේ එකකින් දමලා ඇද්දේ ඩොක්ටර් අත් දෙකෙන්ම ඒකෙ එල්ලිලා. කොච්චර නීට් එකට ඒක ඇද්ද ද කියනවනම් දත තිබ්බ තැන විදුරුමහ නිකං අර මෙගා බෝතල් පලලා හදන ප්ලාස්ටික් මලක් වගේ හතර වටේට විකසිත වෙලා තිබ්බේ මාස ගානක් යනකන්. එදා මට වෙච්ච එකම හොඳේ මම ගෙදර ගියාම අම්මා මට අයිස් කෝපි හදලා දුන්නා බොන්න , තව මම ඇඳේ ඉඳන් බලන්න අපේ පන්තියේ චිනාගෙන් face/off  වීසීඩී එක ඉල්ලගෙන ගියා. කෝපි බිබී ඒක බැලුවා. 

දෙවෙනි දත ගැලෙව්වේ ඊට කාලෙකට පස්සේ , ඒක නම් මහරගම දෙහිවල පාරේ තාත්තගේ යාලු ඩෙන්ටිස්ට් කෙනෙක් ගැලෙව්වේ , මිනිහා පට්ට pro , ගත ගැලවුනා තේරුනේවත් නෑ. එදත් ගෙදර ඇවිත් අම්මා හදල දුන්න අයිස් කෝපි බිබී ෆිලුමක් බැලුවා , එදා බැලුවේ Coach Carter.

කොහොමහරි , මට මේ දත් රෙද්දවල් කියන්න හිතුනේ මේ ලඟදි මම කාලෙකට පස්සේ ඩෙන්ටල් එක පැත්තේ ගිහිං මගේ තවත් දතක් නරක් වෙලා අහුවෙච්ච නිසයි. දැන් ඒකත් ගලවන්න යන සීන් එකක් තියෙන්නේ. ඒක චෙක් කරපු දවසේ ඩෙන්ටිස්ට් මහත්තයා මට කිව්වා දතේ x-ray එකක් ගහගෙන එන්න කියලා. මම ඉතින් ගියා ප්‍රයිවට් තැනකට දත් x-ray එක ගන්න. ටිකක් රෑ වෙලා ගියේ. අප්පට සිරි දත් එක්ස්ට්‍රේ ගහන ටෙක්නීශියන්ගේ හෙන ලොකු ලයින්. දතේ x-ray එක ගන්නකොට කටේ ඔබනවනේ මොකද්ද මන්දා කෑල්ලක්, ඒකත් මගේ කටේ ඔබලා මූ මට දැන් හෙන ලොකු ලයින් දෙනවා. අවාසනාවක මහත කියන්නේ මට මුට මුකුත් කියාගන්නත් බෑ මූට අනිත් පැත්තට , ඇයි මගේ කටේ අර රෙද්ද ඔබල නේ. මමත් ඉතින් මම්බල් රැපර් කෙනෙක් වගේ "ම්ම්ම් අම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්.." ගගා හිටියා. කොහොමහරි x-ray එක අරගෙන අර කෑල්ල මගේ කටෙන් එලියට ගන්න වෙලාව එනකොට මගේ තරහත් නිවිලා , අපරාදේ මගේ පැන්න මල ටික පිට කරගන්න විදියක් නැතුවම මැරිලා ගියා.

මේ දත් හුට පටේ නිසා මට පොඩි සත්‍යාවබෝධ moment එකකුත් ආවා. අපි දැන් හැමතිස්සෙම කතා කරනවා නේ මේ සසර දුකෙන් මිදෙන එක ගැන. විමුක්තිය ලබාගන්න හැටි ගැන... හරි ඔන්න අපි  හිත දියුණු කරගෙන අපේ මානසික විමුක්තිය ලබා ගත්තා කියමුකෝ. දුකෙන් මිදුනා කියමුකෝ . රහත් වුනා කියමුකෝ. ඒත් ඉතින් රහත් වුණත් වැඩක් තියේද දත් මැද්දේ නැත්තම් ? දත් පණුවෝ කනවනේ රෙද්ද! 

මම හැමදාම නානකොට පිටේ සබන් ගාද්දිත් ඕක මතක් වෙලා හිතනවා "වෙලාවට පිටේ දත් එන්නේ නැත්තේ නැත්තම් ඒවත් අමාරුවෙන් මදින්න එපැයි" කියලා , ඔව්.


No comments:

Post a Comment