Tuesday, February 4, 2020

වස් වදිනු වස්

ඊයේ මම රෑ දහයට විතර කීල්ස් එකට ගියේ අපේ පූස් තඩියට අසනීප වීම නිසා උට බෙහෙත් වගයක් ගන්න. මම ගියේ ගෙදරට අඳින හඩු පිජාමා සරම පිටින්ම නිසා බිරිඳ කීල්ස් ෆාමසියට ගිහිං එනකන් මම කාර් එකට වෙලා හිටියා. ඔහොම ඉන්නකොට දැකපු දෙයක් තමයි කාර් පාර්ක් එකේ අයිටම් වගයක් උස්සගත්ත අංකල් කෙනෙක්, අයිටම් වගයක් කිව්වේ විකුනන්න ගෙනාපු අත්කම් බඩු වගයක්. පෙනිච්ච විදියට නම් පොල් කටු , ලී වගේ දේවල් වලින් හදපු. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කව්රුත් එහෙම ආවට ගියාට ගන්නේ නැති නිසා මිනිහා හරිම හෙල්ප්ලස් විදියට වටේ කැරකි කැරකි හිටපු ස්වභාවයක් තමයි පේන්න තිබ්බේ. මමත් ටිකක් වෙලා බලන් ඉඳලා සරමත් දෙපොට ගහගෙන කාර් එකෙන් එලියට බැහැලා ගියා මොකද්ද මේ සිද්ධිය කියලා බලන්න. මොකෝ මොනවා වුණත් නිකන් හිඟා කන උන්ට මම සත පහක්වත් දෙන්නේ නෑ සාමාන්‍යයෙන් ( ඌ සිරාවටම අසරණ එකෙක් කියල හිතුනොත් ඇරෙන්න ). ඒත් මොකක් හරි ශිල්පයක් කරලා සල්ලි කීයක් හරි හොයාගන්න ට්‍රයි කරන උන්ට මම සාමාන්‍යයෙන් සලකනවා පුළුවන් විදියට. ඒ නිසා මං ගිහිං පොරත් එක්ක චැටක් දැම්මා මොකෝ සීන් එක කියලා. අංකලුත් ඉතින් සුපුරුදු පරිදි එයාගේ කතාන්දරය කිව්වා. අංකල් විකුනන්න ගෙනල්ලා තිබුනේ පොල් කටු සහ ලී වලින් හදපු බුදු පිළිම සහ තව පොඩි පොඩි අත්කම් වගයක්. එයා කියපු විදියට එයා මියුරල් ආර්ටිස්ට් කෙනෙක් ලු. තව සිමෙන්ති වලින් පිළිම එහෙම හදපු කෙනෙක් ලු. ඒත් දැන් ඒවායෙන් ආදායමක් නැති නිසාලු මේවා හදාගෙන විකුනන්න ආවේ. එයාගේ කතාවේ වැඩි මනක් මම එක කණකින් අහලා අනිත් කනෙන් එලියට දැම්මා. ඒ මගේ මහන්තත්ත කම නිසා සහ ගොඩක් වෙලාවට ඔය වගේ කතා මම ඕනේ තරම් අහලා තියෙන නිසා. හැබැයි මිනිහා කියපු එක දෙයක් මට මාර විදියට හිතට වැදුනා.

"මම මියුරල් ආර්ටිස්ට් කෙනෙක් මහත්තයෝ. තව සිමෙන්ති වලින් දේව පිළිම එහෙමත් හැදුවා. ඒවායේ වස් වැදිලා තමයි මට මෙහෙම වුණේ.." කියලා අංකල් එයාගේ එක අතක් මට පෙන්නුවා . එතකොට තමයි මට මීටර් වුණේ එයාගේ එක අතක් ලී. ලී අතක්.

"දේව පිළිම හදපු නිසා සරීරයේ මස් දියවේවි යනවා මහත්තයෝ" එයා කිව්වා..

මම අතේ තිබ්බ රුපියල් සීයක් අංකල්ට දීලා ආපහු කාර් එකට එන්න ආවා.

කාර් එකේ වාඩි වෙලා දොරවහගෙන මම කල්පනා කලේ "අංකල් හදපු සිමෙන්ති පිළිමේ හරහා මිනිස්සු දෙයියට වඳිනවා. හැබැයි පිළිමේ හදපු අංකල්ගේ අත දෙයියෝ කුණු කරවලා දාලා. යකෝ මූ මහා හුකන දෙයියෙක් නේ!" කියන එක.

හැබැයි මේ සිතුවිල්ල හිතලා විනාඩි පහක් යන්න කලින් දෙයියෝ සිරාවටම මිනිස්සුන්ට වස් වද්දන්වාද කියලත් මට සැකයක් ඇති වුණා. ඒ මම සිතුවිලි සාගරේ කිමිදිලා ඉන්න අතරේ මගේ එහා පැත්තේ කාර් එක පාර්ක් කරපු ඇන්ටි , මම එදා දවල්ම අලුතෙන් ටචප් කරගෙන ආපු මගේ කාර් එකේ හැපෙන්න එයාගේ දොර ඇරපු නිසා ! මගේ පාපකාරී සිතුවිල්ලට සනික විපාක ලැබුණා..


2 comments:

  1. ඉතිං ඒ නෝනට මොකද කළේ?

    ReplyDelete
    Replies
    1. මක් කොරන්නද බන් ඉවසන් ආවා :P

      Delete