Sunday, February 28, 2016

බ්‍රෙෂියර් විසිකරන අක්කලා අතර කැෂියර් නංගිලා

මාළුයි කිරිපිටියි අඩුවට 'ඔෆර්' ඇති නිසා  
පොෂ් මදි වුනත් 'සුපිරි' මාර්කට් එකට ගියා
ලොකු ලොකු නෝනලා මහතැන් කරත්ත පුරවන් 
උන් අතරේ ගඳගහන මාළු අරන් මම පෝලිමේ 

AC දාල සුපිරියටම දාඩියත් නැතේ ,
හීනියට ඇහෙයි කඩ්ඩ සිංදුවකුත් 
"රුපියල් පහක් ඉතුරුයි සර් මාළු ටිකට"
මේක් අප් තට්ටු වලට යටවූ කැෂියර් නංගි 

ඉතුරු සල්ලි දෙන්නට සොයන්න මාරු කාසි 
යෙහෙන් වැජබෙන මහ බලගතු කෑෂ් රෙජිස්ටරේ 
පහලම තට්ටුව එලියට ඇද්ද විට 
සුසුමක් පිට වුණා කැෂියර් නංගි වෙතින් 
සීතල AC හුළඟට කලවම් වී 

ඉරිදා පත්තරේ මංගල දැන්වීම් පිටුවෙන් 
පිළිවෙලකට ඔතලා ආදරයෙන් 
"දවල්" කියා පොල් ගෙඩි අකුරෙන් ලියූ 
අම්ම දීපු බත් ගෙඩිය තාමත් එතන..

සුපිරි සීතල AC දාඩියත් නෑ අපිට නම් 
මේක් අප් දිය වෙනවා දුටිමි කැෂියර් නංගිගේ දෑස් අග

Tuesday, February 23, 2016

හන්දිය හතරමන් අතර මං අතරමන්

හතරමන් හන්දියේ 
වාහන එක පෝලිමට
චක් චක් 
චක් චක් සද්දෙට 
සිග්නල් දමාගෙන 
වමට දකුණට 

කොහේ යන්නද කියා 
නොදැන හිරවී ට්‍රැෆික් එකට
ඉන්නවට වඩා සැපයි 
පාර අයිනෙන් නවත්තාගෙන
දුමක් අදින එක 
හසාර්ඩ් දමාගෙන 
චක් චක්
චක් චක්



Wednesday, December 2, 2015

Blind Faith

තඩි බඩ සුදු සරමට හැකිලෙන
කඩුව semi automatic ද ?

සල්ලි මිටි කටින් ඩැහැගෙන
කළු කෝට් කපුටන් පියාඹයි
සුදු පාට බෙටි තලි
උඹේ ඔලුවට දාගෙන

පට්ට වයිරෙන් අඹරන්න
දෙවියොත් බලන්නැති දෙවොලට ගිහින්
කිරා දීපන් මට හොඳවයින්
ඇස් පොට්ට උඹේ තරාදියෙන්
රත්තරන් වටින
අමු මිරිස් කිලෝ එකක්


Wednesday, November 4, 2015

18 සන්නිය

පපඩම් වගේ පිපෙන 
ලදරම් හිතේ පැලවුන 
මනරම් හීන ඇස් පනාපිට 
ටකරම් වගේ මලකඩ කනකොට 
අසමෝදගම් බිව්වට හොඳ නොවන 
කල මෝඩකම් බඩ  දඟලනකොට 
පන්දම් කටින් අරගෙන නටන 
වන්නම් තියෙන තොයිලය පට්ට ආතල් 



Thursday, October 1, 2015

Shots

තිත්ත ඇත්ත
මායාවෙන් සැන්ඩි කොට
සමාජය ගෙන බයිටට
බොමි එක හුස්මට


Tuesday, September 29, 2015

අහන් ඉන්න ඇස් වලට කියවන්න ආසද?

මේ කියන්න යන්නේ සැහෙන්න පින් අතේ වැඩක් ගැන. මේ ටිකේ පට්ට busy නිසා වැඩිය අටුවා ටීකා ලියන්නට කාලය නැත , ඒ ගැන දයාබර පාඨක ඔබෙන් බොක්කෙන්ම සමාව ඉල්ලමි.

පොතක් පතක් කියවනවා කියන්නේ කෙනෙක් ගේ ඇස් පෑදෙනවා වගේ වැඩක් , නමුත් අවාසනාවකට පොත් "කියවන්න" ඇස් පෑදිලා නැති අපේම සහෝදර සහෝදරියෝ අනන්තවත් අපි අතර ඉන්නවා , ඉතින් මේ අයගේ ඇස් පාදන්න අවස්ථාවක් දැන් අපිට ලැබිල තියෙනවා.


කෙටියෙන් කිව්වොත් කරන්න තියෙන්නේ දෘෂ්‍යාභාධිත පාඨකයන්ට audio books සැදීම සඳහා ඔබේ කටහඬ දායකත්වය ලබා දීම.


මේ වැඩේ ගැන වැඩි විස්තර පහත link එකෙන් ගොස් ලබා ගනු මැනවි.


http://ahasenenna.blogspot.com/2015/09/blog-post_28.html


මේ වැඩේ ගැන මම දැනගත්තේ අහසෙන් එන්න blog එක ලියන කසුන් සහෝදරයාගෙන්. 


මෙතනින් මම නවතින්නම් , ආලෝකය නොදකින අපේම මිනිසුන්ට ශ්‍රව්‍යාලෝකයක් වෙන්න කැමති නම් , මේ ඔබේ අවස්ථාවයි!!




Friday, September 25, 2015

දෙමල ෆිල්ම් බලනවද?

ලඟම මිතුරෙක්ගේ වෙඩිමට ඊයේ සහභාගි වුනෙමි.

පිනට දෙන අරක්කු නිසා ලෝස් නැතුව බර පන්තියෙන්ම දෙක තුනක් නවාගෙන , පැත්තකට වී දුම්වැටියක් ඉරීමට පටන් ගතිමි.

පින් අරක්කු වල බලයෙන් එලියට ආ සැඟවුණු මුර්ගයන් පෙරටු කරගත් වයසක අන්කල් ලා , flower girls ලාට හිටපු පොඩි දුවලා පවා අත නොහැර dance floor එකේ ඩෙඟා නටනවා පෙනේ. මෙවන් අසහනකාරී එවුන් ඉන්න රටක , ළමා අපචාර වැඩිවීම අහන්නත් දෙයක්ද යයි මා මටම කියාගතිමි. උදේ පාන්දර සැලූන් එකට ගොසින් අමාරුවෙන් දමා ගත් මේකප් බදාම දියවී , මේ දැන් මොහොතකට පෙර පට්ට කෑලි මෙන් දිස්වූ නංගිලා , ඇන්ටිලා , ආච්චිලාගේ සැබෑ රූප කෙමෙන් කෙමෙන් මතු වීමට පටන් ගනී. ළඟදී බැඳපු කොල්ලෝ මගුල් මුදු කුලියට ගත් කෝට් බෑයවල් වල සාක්කු වලට ඔබාගෙන , MBA mode එක on කරගෙන නැටුමට බහිති.

( MBA = Married But Available )

මේ විගඩම් බැලීමට වඩා John Player සමඟ තනිවීම සැප නිසා මම මදක් එලියට බැස , ගසක් යටට වී දුම් රස වින්දෙමි.

දුම් වැටියේ බාගයක් පමණ බී අහවර වන විට , ලස්සනට ඇඳ පැළඳගත් පොඩි පුතෙක් , අවුරුදු 7,8 ක් විතර ඇති , මා සිටින ඉසව්වට ආවේ පොඩි උන් කොහොමත් එක තැනක ඉන්න අකමැති නිසා වෙන්න ඇති. පොඩි දරුවන් ඉස්සරහ පිට දුම් බීම හරි නැති නිසා , මම ද ටර්බෝ on කොට උගුරට දෙකට දුම් වැටිය උරා , ප්‍රාණ නිරුද්ධ ෆිල්ටර් කොටය අහකට විසි කෙරුවෙමි.

පොඩි එකා මා දිහා බලාගෙන ලොකු කල්පනාවකි..

මම ඔහු දිහා බලා සිනාවක් පෑවෙමි. සාමානයෙන් කොයි කව්රුත් පොඩි ළමයින්ට සැහෙන්න ආසය. නමුත් මට නම් ඔය දරුවන් handle කිරීමේ සාත්තරේ තේරෙන්නෙම නැත. මම වැඩිම වුනොත් කරන්නේ උන් සමඟ සිනාසීම පමණි.

පොඩි එකා තවත් ටිකක් කල්පනා කොට මා ළඟටම ආවේය..

"මාමේ , මාමා දෙමල ෆිල්ම් බලනවද???"

පුංචි පුතා මගෙන් ඇසුවේ සැහෙන්න ලොකු වැදගත් කඩයිම් ප්‍රශ්ණයක් අහන්නා වගේය. මා පිළිතුරු දෙන තුරු බලා සිටින ඔහුගේ අව්‍යාජ දෑස , ඊළඟ අකුර ඔබන තුරු උපේක්ෂාවෙන් බලන් ඉන්නා පරිගණක තිරයේ cursor එක මෙන් උනන්දුවෙන් නිවී නිවී දැල්වෙයි.

බැංකුවට ආ විට බෝංචි 500ක මිල ඇහුවා වාගේ අපි සිටින තැනට කිසි සේත් අදාල නැති ප්‍රශ්ණයක් නිසා , පුතා ගේ ප්‍රශ්නයෙන් මම ටිකක් පුදුමයට පත් වීමි.

"ඇයි පුතා එහෙම ඇහුවේ???"

මම පෙරලා ප්‍රශ්න කෙරුවෙමි.

"නෑ මාමේ දෙමල ෆිල්ම් යනකොට , ඒවායේ පහලින් දානවා දුම් බීම පිළිකා ඇති කරයි කියලා ! "

පුතාගේ උත්තරයෙන් මම මොහොතකට නිරුත්තර වුනෙමි.

මගේ වයසෙන් සහ ප්‍රමාණයෙන් කාලක් වත් නැති මේ පුංචි බට්ටා , මා හට සොඳුරු කණේ පාරක් දුන් සෙයකි.

මුකුත් නොකී මම බිම බලාගත් වනම සිටියෙමි.

"ඇයි මාමා දැකල නැද්ද?" ඔහු නැවතත් ඇසුවේය.

"නෑ පුතේ මම දැකල නෑ" මම හෙමින් කීවෙමි.

"හෙට ගෙදර ගිහිල්ලා බලන්නකෝ , හරිද ? " මගේ දුම් ගඳ ගසන දකුණු අත සිය පුංචි ඇඟිලි වලින් අල්ලා සොලවා මට එලෙස order එකක් ද දුන් ඔහු , නැවතත් වෙන දිසාවක් බලා දුවගෙන ගියේය...

මම තව ටිකක් වෙලා එතනම කල්පනා කරමින් සිටියෙමි. මාගේ මිතුරෙක් මා සොයමින් ආවේය. 

"ගැබා , කොහෙද බන් අතුරුදන් වුනේ . වරෙන් යන්න ඇතුලට dance කරන්න" ඒ මා මිතුරු ලයියා.

"හරි යමන් " මම කීවෙමි "ඇතුලට යන්න කලින් දුමක් දාල යමු බන් , ගනින්කෝ ලයියා සිගරට් එකක්!"



ප.ලි : මෙම සිදුවීම ඇත්තටම සිදුවූයේ මාගේ මිතුරෙකුටය , එම දෙබස යන විට මාද අසල සිටි නිසා , මෙය first person විදියට ලියන්නට සිතුවෙමි.