Wednesday, July 29, 2020

කාගෙ හරි බෝඩිමක
වාඩිවී බිම දාපු ගඳ මෙට්ටෙක කොනක
බෙදාගෙන ගහපු සිගරට් කොට
සුවඳයි සොයුරනි තාමත් මතක් වෙනකොට


Friday, June 5, 2020

සිල්වා අංකල්

කැම්පස් එකේ ඉද්දී සිගරට් එකක් ගන්න තිබ්බ ලඟම තැන තමයි රහීමා එක. ඒත් එතනටත් සෑහෙන දුරක් පයින් යන්න ඕනේ නිසා ගොඩක් අය පුරුදු වෙලා හිටියේ සිල්වා අංකල් ගෙන් සිගරට් ගන්න. රහීමා එකට වඩා රැපියල් දෙකයි වැඩි. ඇත්තටම අපේ සෙට් එකට නම් අංකල්ව සෙට් වුණේ දුම්පානය නිසා තමයි. සමහර දවස් වලට අංකල් රෑට දෙකක් දාගෙන ඇවිත් හෙන ආතල් දෙනවා, අංකල් කැන්ටිමේ කෑම බෙදන තැන හිටියොත් අපිට ඔය පොඩි පොඩි ෂාේටීස් කෑලි, වැඩිපුර ප්ලෙන්ටියක් එහෙම දෙනවා. බිව්ව වෙලාවටයි ෆෝම් වෙච්ච වෙලාවටයි ඇරෙන්න අංකල් හෙන නිශ්ශබ්ද චරිතයක් මට මතක විදියට. සුභ ගමන් අංකල්, අපායෙදි හම්බවුනොත් සිගරට් එකක් ගහමු..

ඡායාරූපය මගේ නොවේ

යතුර

ඔන්න අපි කට්ටිය වෙඩිමකට සෙට් වෙලා, ඒ අස්සේ කාර් පාර්ක් එකේ වාහනේ නවත්තපු පුරු පුරුවා උගේ යතුර ඇතුලට දාලා වාහනේ ලොක් කරගෙන. වෙඩිම ඇතුලේ හිටපු අපිට කෝල් කරලා දැන් මූ අහනවා යතුර එලියට ගන්න විදියක් ගැන.


අපි : "අඩෝ මාර සීන් එක නේ , දැන් කොහොමද යතුර එලියට ගන්නේ ?"


එතකොට අපේ ඇඹලයා අහපි දවසේ පැනය


ඇඹලයා : "ඒ බන් දැන් එතකොට.. පුරු පුරුවා ඉන්නේ වාහනේ එළියේද ඇතුළෙද??"


අපි: @$^#^@#@(&#(@*&#@)(#

Sunday, May 31, 2020

He Rain Made You

The Wire කියන්නේ මම ජීවිතේ බලපු ආසම ටීවී සීරිස් එකක්. Wire ගැන වෙනම හෑලි ලියන්න පුළුවන් ඒක එච්චරට ආතල් කතාව, හැබැයි අද කියන්න හිතුවේ ඒකෙ තියෙන එක කියමනක්. ඒක අපේ ලංකාවේ දේශපාලනේටත් අදාලයි. ඒ තමයි මේ "He rain made you" කියන කියමන.

The Wire කතාවේ ඒ කියමන එන්නේ මෙහෙමයි. Wire එකේ තියෙන්නේ බැල්ටිමෝර් නගරයේ ඉන්න මැර කල්ලි සහ ඒ හා බැඳිච්ච පොලිස්කාරයෝ , දේශපාලඥයෝ , නීතිඥයෝ සහ මීඩියාකාරයෝ වගේ විවිධ පැති ගැන පොඩි පැතිකඩක්. ( බලන් ගියාම ඇමරිකාවෙත් ලංකාවේ වගේ තමයි ඔක්කොම එකට සම්බන්ධයි , තනිවම දෙයක් විස්තර කරන්න බෑ ).

ඉතින් මේ කතාවේ ඉන්නවා බාර්ක්ස්ඩේල් කියලා කල්ලියක්. ඒකෙ පුරෝහිත වගේ ඉන්නේ නායක ඒවොන් බාර්ක්ස්ඩේල් ගේ හොඳම යාළුවා වන ස්ට්‍රින්ගර් බෙල් ( ඉඩ්රිස් එල්බා ඉන්නේ ). ඔය ටවුමේ ඉන්නවා ක්ලේ ඩේවිස් කියලා හෙන මජර දේශපාලුවෙක්. ඌ තමයි ඔය පහල ෆොටෝ එකේ ඉන්නේ. 



ඌ ඇවිත් කැරිම සල්ලි පෙරේතයෙක්. ඌ කරන්නේ එක එක වැඩ කරලා දෙන්නම් කියලා හතර වටෙන්ම කොමිස් සල්ලි, අල්ලස් කඩාගන්න එක. ඉතින් අපේ මැර පුරෝහිත ස්ට්‍රින්ගර් කොල්ලත් ක්ලේ ඩේවිස් සෙනෙටර්තුමාට රැවටිලා පොරට සල්ලි පෙට්ටියක්ම දෙනවා. ක්ලේ කියන්නේ ඒ සල්ලි වලට හිලව් වෙන්න මැර කල්ලියට බිල්ඩින්ග් කොන්තරාත් ටිකක් අල්ලලා දෙන්නම් කියලා ( බාර්ක්ස්ඩේල් කල්ලිය තමන්ගේ වියාපාරේ ඊළඟ අදියර විදියට කොන්ස්ට්‍රක්ෂන් වගේ නීත්‍යානුකූල ව්‍යාපාර පටන් ගන්න සීන් එකේ ඉන්නේ) ( ලංකාවේ මැර මුදලාලි වගේ තමයි එහෙ උනුත් ). ඉතින් කොන්තරාත් ටිකක් අල්ලලා දෙන්නම් කියපු නිසා ස්ට්‍රින්ගර් ක්ලේ ඩේවිස් සෙනෙටර්තුමාට සල්ලි දෙනවා.

ස්ට්‍රින්ගර් ඊට පස්සේ ඕක කියනවා ගිහිං තමන්ගේ ලෝයර් මහත්තයට. ඌත් හෙන ලෝක අන්ඩපාලයා. ලෝයර්ට ක්ලේ ඩේවිස්ට සල්ලි දුන්න විත්තිය කියපු ගමන් ඌ හිනා වෙනවා උඩ දාගෙන "He rain made you" කිය කිය. ස්ට්‍රින්ගර් අන්දමන්ද වෙලා අහනවා මොකද්ද ඒ කතාවේ තේරුම ? කියලා. එතකොට ලෝයරයා කියනවා මෙහෙම:

"හිතපන් මිනිහෙක් ඇවිත් උඹට කියනවා මට සල්ලි දීපන් මම වැස්ස වස්සලා දෙන්නම් කියලා. උඹ උට සල්ලි දෙනවා. හැබැයි උට පුලුවන්ද වැස්ස වස්සන්න ? බෑ නේ. හැබැයි වැස්ස කොහොමත් ඉඳලා හිටලා වැටෙනවා. ඒ වැටෙනකොට ඌ කියනවා ඒක වැස්සුවේ ඌ කියලා. වහින්නේ නැති කොට මොකක් හරි බොරුවක් කියනවා. ඒක තමයි rain made කියලා කියන්නේ. ක්ලේ ඩේවිස් උඹට කලේ ඒක!"

ඒ කිවේ අරු සල්ලි ගත්තට කරන රෙද්දක් නෑ , කොහොමත් ස්ට්‍රින්ගර්ලට සෙට් වෙන්නේ උන්ට සෙට් වෙන්න තියෙන කොන්තරාත් ටික තමයි. හැබැයි ක්ලේ ඩේවිස් උන්ට කියන්නේ අර සල්ලි ගත්තේ ඌ ඒ වෙනුවෙන් ගන්න මහන්සියට කියලා.

මේ කතාව කියන්න හිතුනේ අපේ උනුත් මේ වගේ වැඩ කරන නිසා.

සීන් එකේ ලින්ක් එක


Saturday, May 30, 2020

දඬුබස්නාමානයේ ආරච්චිල දුෂ්ටයෙක්ද?

ඉස්සර කාලේ හදපු ගොඩක් කතා වල වීරයා සහ දුෂ්ටයා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒවායේ වීරයා හොඳම හොඳ වන අතර දුෂ්ටයා කැරීම චාටර්ය. නමුත් ඇත්ත ජීවිතේ කවදාවත් එසේ නොවන්නාක් මෙන්ම අද වෙනකොට නම් ගොඩක් කතා වල එහෙම කළු - සුදු චරිත හැදෙන එක නැවතිලා තියෙනවා , බොළඳ දෙමල හින්දි ෆිල්ම් සහ ලංකාවේ හැදෙන මෙගා නාට්ටි වල ඇරෙන්න. ඒවායේ නම් තාමත් තියෙන්නේ අර අමු කළු - සුදු බෙදීමම තමයි.

දඬුබස්නාමානය කතාවට ගියොත් මම ඒක මුලින්ම බැලුවේ පොඩි කාලේ , එතකොට මට හිතුනේ ආරච්චිල තමයි දුෂ්ටයා කියලා. ඒත් දැන් ආයේ එක ඒක බලනකොට මට හිතිච්ච දෙයක් තමයි මේ කතාවේ ආරච්චිල අතේ වැඩි වැරැද්දක් නැති බව.

කතාවේ මුල සිටම අපිට පේන්න තියෙනවා ආරච්චිල මහන්තත්ත කමෙන් පිරුණු පඩ වස්ති ඩයල් එකක් වුණාට ගොඩක් කෙලින් ගති ගුණ සහ සාධාරණ ගති තියෙන මිනිහෙක් බව.

උදාරහරනෙකට පලවෙනි එපිසෝඩ් එකේම මඩප්පුවා ඇවිත් රනා ගැන ගතු කියනකොට ආරච්චිල උගෙන් දැඩි ලෙස අහනවා "උඹේ පරණ කෝන්තර නිසා නේද මෙහෙම කේලම් කියන්නේ" කියලා. ඊට පස්සේ මඩප්පුවා රනාට ගුටි ඇනවන්න කියලා ආරච්චිලට කියනකොටත් ආරච්චිල ගොරවනවා "අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරන්න මේ සාස්තරේ පාවිච්චි කරන්නේ නෑ බොල" කියලා. එතනින් ගියාම රනාව අල්ලන් එන්න යනකොටත් ආරච්චිල දැඩි ලෙස මඩප්පු ඇන්ඩ් චලෝ දෙන්නටම අවවාද කරනවා රනාට අතක් වත් තැබීම හිරහැර කිරීම තහනම් කියලා. ඒත් මේ එකක්වත් කනකට නොගන්න මඩප්පුවාගේ කඩප්පුලි ගති නිසා තමයි දේවල් ටික ටික නරක අතට යන්න පටන් ගන්නේ.

එහෙම බැලුවම ඇත්තටම මෙතන චාටර්ම ඩයල් එක ආරච්චිල නෙමෙයි හීන් නූලෙන් තමන්ගේ කොන්තරේ පිරිමහගන්න හදන මඩප්පුවා.

ආරච්චිල සාලියරතනයව සහ ඊට පස්සේ ගුරුන්නාන්සේව මරණ අවස්ථා දෙකම මට නම් සාධාරණයි. මොකෝ සාලියරතනගේ පියා සහ ආරච්චිල පොඩි කාලේ සටන් ඉගෙන ගන්නකොට පැහැදිලිවම උන්ට කියලා දෙනවා පිට උන්ට සාස්තරේ කියලා නොදෙන ලෙසත් එසේ කලොත් දඬුවම මරණය බවත්. ඒ නීතිය ගොන්ද නැද්ද කියන එක වෙනම කාතාවක්. ඒත් ආරච්චිල නෙමෙයි නේ නීතිය හැදුවේ , ඌ කලේ උට කියලා දුන්න නීතිය ආරක්ෂා කිරීම පමණයි. එහෙම බැලුවම එච්චර කියල කියලත් නීතිය කඩකරපු සාලියරතනයා තමයි පොල් බූරුවා , ඕකව මරන්න තමයි ඕනේ !

තව මම දැකක්ක දෙයක් තමයි මේ කතාවේ හැම චරිතෙම මොකක් හරි සෙවල ගතියක් තියෙනව. ගුරුන්නාන්සේ තමන්ගේ ශිෂ්‍යාවට ශ්ලෝක කිය කිය පැණි හලනවා , රනාත් කුසුමාවතී ඇන්ඩ් පාලි දෙන්නවම රන් කරනවා , සාලියරතනයා බඩු කාපර් කෙනෙක්. පොලිස්කාරයෝ , ගුරු ඉන්ස්පැක්ටර්ලා පින් අරක්කු බිබී පිස්සු කෙලිනවා. හැබැයි සාමාන්‍යයෙන් ගොඩක් කතා වල අපි අහල තියෙන ආරච්චිලා තමයි සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කරන්නේ. ඒ කියන්නේ ගම පුරා බඩු වලට ඇන ඇන යන්නේ , රා බිබී මස් කකා මල පෙරේතයෝ වගේ ඉන්නේ. හැබැයි අපේ ආරච්චි මස්සිනාගේ නම් ඒ වගේ දුර්ගුණ මුකුත් අපිට කතාවේ පේන්න නෑ.

ආරච්චිල මේ කතාවේ කරපු කැරි වැඩ දෙකයි තියෙන්නේ මට නම්

එකක් රනාගේ ගේ ගිනි තියපු එක , අනික ගුරුන්නාන්සේ මරන්න කට්ටිය යවපු එක. ඒක මහ පොන්න වැඩක්.

ඒ ඇරෙන්න රනාගේ මවගේ මළගෙදර දවසේ වගේ මූණටම අභියෝග කරලා ප්‍රශ්නේ බේරාගන්න එක ආරච්චිගේ හොඳ ගතියක්. තව මම ආස දෙයක් තමයි ආරච්චි අම්මගේ මල ගෙදර ඉවර වෙනකන් රනාට පාඩුවේ ඉන්න ඉඩ දීම. ආයේ රනා ගෙදරටම ඇවිත් උද්දච්චකමට ගේම ඉල්ලුවම ආරච්චිල කියනවා "ඕනේ වෙලාවක වරෙන් දැන් වුණත් ලැස්තියි බොලව්" කියල.

මේ කරුණු කාරනා බැලුවම මට හිතෙන්නේ ආරච්චිල කියන්නේ රිස්පෙක්ටබල් මිනිහෙක්. ඒත් දේවල් දිග ඇරිච්ච විදියට උට සමහර දේවල් කරන්න වුණා. දඬුබස්නාමානය සිරා වෙන්නත් ඒක තව හේතුවක්. කතාවේ චරිත වලටත් මාන ගොඩක් තියෙන එක 😊

සටහන අවසාන කරමින් කියන්න තියෙන්නේ teleview නිල youtube චැනලයේ මේ දවස් වල වෙද හාමිනේ ,දඬුබස්නාමානය , අකාල සන්ධ්‍යා වගේ ජයන්තගේ පරණ නාට්ටි සෙට් එකම දාලා තියෙනවා. අහක් කරන්න කලින් ගිහිං බලන්න.


ගබං ආතාගේ කවි

හැමදාම ඔයාලට කුණුහරප කතා කියන මම අද කල්පනා කළා යාලුවනේ ඔයාලට ලස්සන ආදර කතාවක් කියන්න.. මේක ලස්සනයි , හැබැයි ටිකක් දුක්බරයි.. ඔන්න එහෙනම් කිව්වා..

****************************

දුම්බර මිටියාවතේ පිහිටි එක්තරා ලස්සන පොඩි ගමක තරුණයන් දෙදෙනෙකුත් එක් තරුනියකුත් වාසය කළා. ගැටවර වියේ පසුවුණු මේ තිදෙනා පොඩි කාලෙ ඉඳන්ම යාලුවෝ , පාසල් ගියේ සෙල්ලම් කලේ ගමන් බිමන් ගියේ ඔක්කොම එකටමයි.

පාසල් ඇරී ගෙදර එන මේ තිදෙනා වෙන් වන්නේ එක තුන්මං හන්දියකදී.. මේ හන්දියෙන් තිදෙනා පාරවල් තුනට වෙන්වී තමන්ගේ ගෙවල් වලට යනවා. වෙන්වෙලා යන්න කලින් මොවුන් හැමදාම කරන එක චාරිත්‍රයක් තිබුණා , ඒ තමයි හන්දියේ තිබුණු එක අඹ ගසකින් අඹ කැඩීම.. තරුණයන් දෙදෙනා ගසට පොලු ගසමින් කඩන අඹ , තරුණිය සිනාසෙමින් අහුලා ගත්තා. තිදෙනා වෙන් වෙලා ගියේ කඩාගත්ත අඹ සමව බෙදාගෙන කන ගමන්..

මොවුන්ගේ මෙම ක්‍රියාව හැමදාම නිශ්ශබ්දව බලන් හිටියා එක පුද්ගලයෙක් , ඒ තමයි හන්දියේ කෝපි කඩේ මුලුදවසම කෝපි බිබී වෙලාව කාපු ගමේ කවිකාරය , ගබං ආතා.

කාලය ගත වුණා , හැමදාම මේ තුන්දෙනා එකට පාසල් නිමවී ගෙදර ආවා , හැමදාම තරුණයන් දෙදෙනා අඹ ගසට පොලු ගැසුවා , ගබං ආතා මේ හැමදෙයක්ම කෝපි බිබී බීඩි ඇද ඇද බලන් සිටියා, මේ අතර තව දෙයක් වුණා...ඒ තමයි මේ තරුණයක් දෙදෙනාම මේ තරුණියට ආලය කරන්න පටන් ගැනීම.. නමුත් ඉතින් ලෝක ස්වභාවය අනුව ඇගේ හදවත දිනාගන්න පුළුවන් වුනේ එක තරුණයෙකුට විතරයි.. අනිත් තරුණයා ගේ උත්සාහයත් , හිතේ තිබුන හැගීම් සමුදායත් පොල්ලක් වැදුණු අඹයක් වගේ "චොක්!" ගා බිම වැටුනා.

තමන් ආලය කල තරුණිය තමා කුඩාකල සිටම ආශ්‍රය කල තමාගේ හොඳම මිතුරාට හිමිවීමේ විරහව මේ තරුණයාට දරාගත නොහැකි තරම් දුකක් වූවා..ඒ දුක කෙතරම් වේද යත් මේ තරුණයා "මින් මතු කෙල්ලන් පසු පස නොයමි" කියා දැඩිව ඉටාගෙන , සදහටම කොලුකාරයෙක් වී ගමේ තරුණ කොල්ලන්ට සීන් කරන්න පටන් ගත්තා !

මේ සියල්ලම උපේක්ෂාසහගතව බලාගෙන සිටි ගමේ කවිකාර ගබං ආතා , කෝපි කඩේ කට්ටිය වටකරගෙන මේ ගැන පොඩි කවියක් කිව්වා. ඉතින් මිතුරනි , දුම්බර මිටියාවතේ අපේ දුක්බර ආදර අන්දරයත් මේ කවියෙන් නිමාවට පත්වෙනවා.. මෙන්න ඒ කවිය..

කොලු දෙදෙනෙක් එක අඹයට පොලු ගැසුවා
ඉන් එක පොල්ලක් ගොස් අඹ යේ      වැදුණා
අඹේ කැඩූ එකා බැඳලා පොර              ගැසුවා
මිස් වෙච්ච එකා ඉන් මතු          කොලු ගැසුවා !

- ගබං ආතා-

Sunday, April 26, 2020

ලෝකේ කෙටිම , ලේයර්ස් දෙකක් සහිත රහස් පරීක්ෂක කතාව: පැල කැඩුවේ කව්ද?

වෙලාව 0800
"මේ ඇහුනද.. වෙලාව උදේ අටයි.. නැගිටින්නකෝ අනේ අව්ව වැටෙන්න කලින් අර පැල වලට වතුර දාන්නත් තියෙනවානේ.."

"මොන බම්බුවක්ද බබා , මට තව පොඩ්ඩක් නිදාගන්න දෙන්නකෝ.."

"එහෙම කොහොමද.. මතකනේ අපේ ඇග්රිමන්ට් එක , ඔයා උදේට වතුර දානවා මම හවසට වතුර දානවා.. හා දැන් යන්න , මම එනකොට තේ එකක් හදලා තියන්නම්.."

පෙරේරා නෝනා මහත්තයව ඇහැරෙව්වේ එසේය. කොරෝනා ඇඳිරි නීතිය සමග ගෙවල් වලට කොටුවූ අඹු සැමියන් රැල්ලට පැල වවමින් ෆේස්බුක් දැමීමට පටන් ගැනීම නිසා පෙරේරා යුවළද වගා සංග්‍රාමය පටන් ගත්තේ කාටවත් ෆේස්බුක් එකේ පදිරි වීමට අකමැති බැවිනි. ( යුවල කිව්වට පෙරේරා නෝනාගේ උවමනාවට තමයි ).

"යන්නකෝ අනේ ඉතින්.. තවත් මොනවද ගුලි වෙන්නේ..."

"හරි හරි යනෝ.. හෑව්.." සද්දෙට ඈනුමක් අරිමින් පෙරේරා මහතා වතුර දැමීමට පිටත් විය.

වෙලාව පසුදා 0500
"ටිලින් ටිලින්... ටිලින් ටිලින්..."

"බබා.. මේ ඇහුනද.. මොකද්ද ඒ සද්දේ??" උදේ පාන්දරම ඇසුණු ෆෝන් සද්දයට ඇහැරුණු පෙරේරා නෝනා නිදිමතේම ප්‍රශ්න කළාය..

"ආ ඒ මගේ එලාර්ම් එක නේ බබා.. මම අද ඉඳන් උදේ පහට නැගිටින්න තීරණය කළා.. උදේම ඇහැරෙන එක හොඳ පුරුද්දක් නේ.."

"කොච්චර එකක්ද.. හොඳ පැටියා.." පෙරේරා මහතාට නිදිමතේම උම්මා එකක් දුන් නෝනා එහෙම්ම නින්දට වැටුණාය.

වෙලාව දවල් 1200
"මේ ඇහුනද.. එන්නකෝ මේ පොල් ගෙඩිය ගාලා දෙන්න.. මේ ටික ඉවර වෙලා අපි දෙන්න එකතු වෙලා බාත්රූම් ටිකත් හෝදමු.. ඊට පස්සේ වෙලාව තිබ්බොත් කර්ටන් ටිකත් හෝදන්න දාමු..."

"මොකද්ද මැණික.. මට පොඩ්ඩක් ඉන්න දෙන්නකෝ.. මම උදේම නැගිටලා වතුරත් දැම්ම නේ පැල වලට.. මට දැන් මහන්සි.."

"ආ මේ බලාපල්ලකෝ හරි වැඩේ.. ඔය වතුර බාල්දියක් හැලුවා කියලා මහා වැඩක් කළා වගේ කතාව ! දැන් තේරෙනවද අපි හැමදාම කරන වැඩ තොගය? මොකෝ දැන් ඔයා ඔෆිස් යන්න කියලද මේ ඇඳිරි නීතිය වෙලාවේ , මෙන්න මේ පොල් ටික ගාලා දෙන්න..."

"හ්ම්ම්.. හා කෝ.. රෙද්ද බියර් එකක්වත් නෑ නේ ගෙදර හරියේ බොන්න.."

"මොකද්ද කිව්වේ??"

"මුකුත් නැතෝ... ජින්ජි බරස් බරස් බරස්.. ජින්ජි බරස්.."

වෙලාව හවස 1600
"මේ ඇහුනද.. මම පැල වලට වතුර දාලා එන්නම්..."

"හරි මැණික.." පෙරේරා මහතා පිළිතුරු දුන්නේය.

"මේ... පොඩ්ඩක් එන්නකෝ..." එක්වරම නෝනා මහ හඬින් බෙරිහන් දෙන හඬත් සමගම පෙරේරා මහතා ඒ දෙසට දිව ගියේය..

"ඇයි ඇයි බබා මොකෝ ? නයෙක්වත් ආවද වත්තට?"

"නයෙක් නෙමෙයි අනේ.. බලන්නකෝ අපේ මේ කරවිල පැල ටික.. ඊයේ වෙනකන් පැල හයක් තිබ්බා හොඳට හැදිලා.. දැන් බලන්නකෝ එයින් දෙකක්ම පොඩි කරලා දාලා නේ කව්ද මන්දා!!"

"කව්ද මේ පැල පොඩි කලේ !!!" පෙරේරා නෝනා වියරු වැටී අසන්නට විය.

"මේ ඇඳිරි නීතිය අස්සේ කව්රු එන්නද බබා.." පෙරේරා මහතා ඇය අස්වස්සමින් කියන්නට විය. එවිටම පැල තවාන අසලින් ලැසි ගමනින් පැද්දෙමින් කෙනෙක් ඇවිදගෙන එන්නට විය. ඒ පෙරේරා ගෙදර සුරතල් පූසා කිටියාය.. පෙරේරා මහතා එක්වරම යමක් මතක් වී මෙන් පැල තවානේ පස් දෙස බැලුවේය.

පස් ගොඩේ තිබුනේ පූස් අඩි සලකුණු කීපයකි ! පෙරේරා මහතා නෝනාට අතින් ඇන ඇයටද ඒ අඩි සලකුණු පෙන්නුවේය.. පෙන්වා අසලට ආ කිටියා ඔසවා ගත්තේය.

"මේ ඉන්නේ අපරාධකාරයා.. මෙයා තමයි මේ පැල ටික තලලා කඩන්න ඇත්තේ..මෙහෙ එනවා මෝඩ කිටියා.." පෙරේරා මහතා සුරතල් පහරක් උගේ ඔලුවට ගැසුවේය..

"ඔන්න බබා හොරා අතටම අහු වුනා.." පෙරේරා මහතා සිනාසෙමින් පැවසීය.. "කිටී.. ඔයා නේද මේ පැල ටික කැඩුවේ??"

"ඥාව්..." කිටියා වරදකාරී ස්වරයෙන් පිළිතුරු දුන්නේය..

"හිකි හිකි.." පෙරේරා නෝනා ද තරහව සහ දුක අමතක කරමින් සිය සැමියාට තුරුල්ව සිනා සෙමින් කිටියාගේ ඔලුව අත ගැවාය.

"ඔන්න ඒ අභිරහසත් විසඳුනා නෝනේ.." පෙරේරා මහතාද සිය බිරිඳ තුරුළු කරගනිමින් පැවසුවේය..

වෙලාව දින දෙකකට පසු දවල් 1300
ඒ අභිරහස එසේ විසඳුනද පෙරේරා නෝනාගේ සිත තුල තවමත් මේ සිදුවන දේවල් ගැන පැවතුනේ සිතේ සැකයකි. ඒ මේ දැන් මහත්තයාට පොල් ගෑමට බාරදී පැල තවාන දෙසට ආ විට ඈ දුටු දෙයිනි. තවානේ යෙහෙන් සරුවට හැදෙමින් තිබුණු සීනි කැකිරි පැල දෙකක්ම අකාලයේ පොඩිවී තිබුණි ! මේ පැල දෙකම ඊයේ හවසත් හොඳින් තිබුණු වග ඇයට හොඳටම විශ්වාසය.

පෙරදා පරිද්දෙන්ම මෙවරත් පැල අසල කිටියාගේ අඩි සලකුණු පෙනෙන්නට තිබුණි. පෙරේරා නෝනාට මේ ගැන ඇතිවුනේ එතරම් හොඳ හැගීමක් නොවේ.

"යකෝ කඩනවා කියලත් මෙච්චර පැල කඩන්න කිටියා සීරියල් පැල කිලර් කෙනෙක් ද?? ඇරත් මේ තැන් දෙකක තියෙන පැල??" පෙරේරා නෝනා නිකටේ අත තබාගෙන එසේ කල්පනා කළාය..

"බබා.. මොකද කරන්නේ??" සිය සැමියාගේ අඬගෑමෙන් ඇගේ සිතුවිලි ප්‍රවාහය බිඳුණි.

"මේ එනවෝ.." නෝනා හනි හනිකට ගෙදර දෙස පිය නැගුවාය. කෝකටත් පෙරේරා මහතාට මේ ගැන නොකියා සිටීමට ඇය තීරණය කළාය.

මහත්තයා දවල් කෑමෙන් පසු "පොඩ්ඩක් ඇල වෙන්න යනවා" කියා ඇඳට ගිය පසු පෙරේරා නෝනා වත්ත පහල අව්ව තපමින් සිටි කිටියා සොයාගෙන ඌව ලයන් කින් එකේ මෙන් ඉහලට ඔසවා උගේ ඇස් දෙක දෙස කෙලින්ම බැලුවාය.

"කිටී.. උඹද මේ පැල ඔක්කොම පොඩි කලේ ? ඇත්ත කියපන්.."

"ඥාව්..." කිටියා තොල කට ලෙව කෑවේය.

වෙලාව පසුදා උදෑසන 0500
"ටිලින් ටිලින්... ටිලින් ටිලින්..." පෙරේරා මහතාගේ එලාර්මය සුපුරුදු පරිදි නාද විය. ඈනුම් අරිමින් අවදි වූ පෙරේරා මහතා ඇඟ මැලි කඩමින් කාමරයෙන් එලියට ගියේය. නමුත් වෙනදා තව ටිකක් නින්දේ පසු වෙන්නේ නැතුව , හොරෙන්ම අවදි වී ඔහු පසු පසින් ආ පෙරේරා නෝනා ඔහු නොදුටුවේය , පෙළක් විට නිදිමත නිසා වෙන්න ඇති.

නිදිමතේම කුස්සිය වෙත ගිය පෙරේරා මහතා කේතලය ලිපේ තබනවා පෙරේරා නෝනා සැඟවී බලාගෙන සිටියාය. ගෑස් ලිපේ නොබ් එක කරකවා එය දැල්වූ පෙරේරා මහතා සුපුරුදු පරිදි කුස්සියේ පුටුවක් උඩ නිදාගෙන සිටි කිටියාව ඔසවාගෙන ඌ කිහිලි ගහගන්නවා ඇය දුටුවාය..

"කිටී..." පෙරේරා නෝනා තමන්ටම කියා ගත්තාය.

කිටියා කිහිලි ගසාගත් පෙරේරා මහතා ඉන්පසු කලේ දොර ඇරගෙන එලියට යාමයි. පෙරේරා නෝනාද ඔහු පසුපසින්ම නින්ජා ගමනින් ගියාය.

එලියට ගිය පෙරේරා මහතා පැල තවාන දෙසට ඇවිදගෙන ගියේය. ඉන්පසු ඔහු කලේ හිමිදිරි උදයේ නිදමින් සිටි අහිංසක නමුත් සරුවට වැඩී තිබුණු පැල කීපයක් උඩින් කිටියාව දඩස් ගා අත හැරීමයි!

"අන්න හරි කිටී.. අන්න හරි.. ඔක්කොම පාගපන්.. ඔක්කොම පාගපන් හිකවිලා යන්නම!! අහ අහ.. අහ අහ අහ.. අහඅහඅහඅහඅහඅහඅහඅහ.. බුහෝහහහා... කුඩු කරපන් යකෝ ඔක්කොම!!!" කිසිත් නොතේරන අහිංසක කිටියා පැල උඩින් එහෙ මෙහෙ යන අතර පෙරේරා මහතා වියරු සිනා පාමින් කෑගසන්නට විය..

"බබා!" පෙරේරා මහතාගේ වියරු සතුට නිමවුණේ පෙරේරා නෝනා සැඟවී සිටි තැනින් එලියට පැන එක්වරම එතනට ප්‍රාදූර්භූත වීමත් සමගය !

"මැ... මැණික.." පෙරේරා මහතා වෙව්ලමින් ගොතගසන්නට විය..

"අ..හා!" පෙරේරා නෝනා ඔහු දෙසට ඇඟිල්ල දිගු කරමින් කෑගැසුවාය! "අල්ලගත්තා අපරාධකාරයා අද අතටම ! ඔයා තමයි එහෙනම් මෙච්චර කල් කිටියා ලව්වා මේ පැල ටික පොඩි කරලා විනාස කෙරෙව්වේ ! ඒ මදිවට ඒ අසරණ කිටියාවත් ෆ්‍රේම් කළා නේ මේ අපරාධෙට ! මොන හිතින්ද බබා ඔයා මේ හිත්පිත් නැති අපරාදේ කලේ?? කියන්න... මට කියන්න... ඇයි ඔයා මේක කලේ???"

නෝනා මහත්තයාගෙන් ප්‍රශ්න කල සිටියාය..

පෙරේරා මහතා අසරණ සේයාවෙන් බිම බලාගෙන සිටියේය. නෝනා දුටු කිටියාද සිදුවුණු බල හුවමාරුව දැක නෝනා ලඟට කිට්ටු කර ඇගේ කකුල් දෙකේ දැවටෙන්නට විය..

"බබා.." පෙරේරා මහතා කතාව පටන් ගත්තේය.. "මේ කොරෝනා ඇඳිරි නීතිය එන්න කලින් මම හැමදාම වැඩට ගියා.. ගෙදරින් එලියට.. ගිහිල්ලා ඉඳල හිටලා යාලුවෝ එක්ක සෙට් වෙලා, පොඩ්ඩක් ආතල් එකේ හිටියා.. ඒත් දැන් මේ ගෙදර ඉන්න පටන් ගත්තා විතරයි ඔයා මට හැමදාම වද දෙනවා මේ පැල වලට වතුර දාන්න කියලා.. ඒ මදිවාට දවස තිස්සෙම පොල් ගාන්න , ගෙවල් සුද්ධ කරන්න කිය කියත් මට වද දෙනවා.. ඉතින් ඒ වදේ ඉවසගන්න බැරුව තමයි මම මේ දේ කරන්න තීරණය කලේ.. අඩු ගානේ පැල ටික විනාස වුනාම ඒ වැඩේ වත් මට අඩුවෙයි නේ කියලා..."

පෙරේරා මහතා පාපොච්චාරණය කළේය. දිගු සුසුමක් හෙලු ඔහු නැවතත් කතාව පටන් ගත්තේය..

"කසාද ජීවිතේ කියන්නේ එක්කෙනෙක්ට ඕනේ විදියට විතරක් ජීවත් වීම නෙමෙයි නේ බබා.. ඔයාගේ කැමැත්ත වගේම මගේ කැමැත්තටත් ඉඩ දෙන්න ඕනේ.. මම කැමති නෑ බබා පැල වලට වතුර දාන්න.."

"හ්ම්ම්.." සියල්ල සාවධානව අසා සිටි නෝනා සුසුමක් පිට කළාය.. "මේ ඇහුනද.. පොඩ්ඩක් එන්නකෝ.."

පෙරේරා නෝනා මහත්තයාව ලඟට කැදෙව්වාය..

"මට සමාවෙන්න සුදු මහත්තයෝ.. මමත් ඔයාට වද දුන්න නේ.. අද ඉඳන් ඔයා ගෙදර වැඩ මුකුත් කරන්න එපා.. මම වෙනදා වගේම ඔක්කොම වැඩ ටික තනියම කරන්නම්.. ඔයා නෙට්ෆ්ලික්ස් එකේ ටීවී සීරිස් බල බල ඉන්නකෝ.. ම්ම්..." පෙරේරා නෝනා මහත්තයාගේ ඔලුව ආදරයෙන් අත ගාමින් පැවසුවාය..

"ඔය ඇත්තටමද මැණික??" පෙරේරා මහතා විමතියෙන් විමසුවේය...

"පිස්සුද මිනිහෝ! උඹ හිතුවද මම උඹේ වැඩකාරී කියලා උඹ කියන කියන විදියට ඉන්න?? උඹ මේ කරපු ජඩ වැඩේට දඬුවමක් වශයෙන් උඹ අද ඉඳන් මාසයක් යනකල්, මාසයක් යනකල් උදේට විතරක් නෙමෙයි.. හවසටත් වතුර දාන්න ඕනේ ! තේරුනාද උඹට? ආයේ සති දෙකක් යනකල් රෙදි හෝදන්නත් ඕනේ තමුසේ! ආව මෙතන පැල කඩන්න.. හ්ම්ම් දැන් යනවා.. අන්න වතුර නටනවා කුස්සියේ.. මටත් එක්ක තේ එකක් හදන් එනවා !"

"දුවනවා ඉතින්!"

පෙරේරා නෝනාගේ ගිගිරීමත් සමගම මිස්ටර් පෙරේරා පමණක් නොව කිටියාද බියට පත්ව කුස්සිය දෙසට ගියේ අඩියට දෙකටය !

පැල කැඩීමේ අභිරහස නිමාවුනේ එසේය.

- දී එන්ඩ් -

*****************************

-දෙවෙනි ලේයර් එක-

ඉහත සඳහන් කතාව ගැබා ෆේස්බුක් දැමීමත් සමගම එයට ලයික් කොමෙන්ට් හහා රියක්ට් ගොඩක් ලැබුණි. බැලූ බැල්මට හිනායන කතාවක් වූ එය කාහටත් විනෝදයක් ගෙන දුන්නේය. නමුත් ගැබාව ලගින් ආශ්‍රය කල ඔහු සමග පූර්ව කොරෝනා සමයේ නිතර දෙවේලේ මත්පැන් පානය කල මිතුරන්ට මේ කතාවේ ඊට එහා දෙයක් පෙනුනි. ගැබාගේ පාප මිත්‍රයන් කීපයක් මේ ගැන කතා කිරීමට ස්කයිප් මීටිමක් ගත්තේ මේ ගැන යමක් ඉව වැටීමත් සමගය.

"මචං.. ගැබා ආවට ගියාට දෙයක් දාන කොල්ලෙක් නෙමෙයි.. මේ කතාවෙන් මූ අපිට මොනවා හරි කියන්න හදනවා.."

"ඔව් මචන්.. මට හිතෙන්නේ මේකේ මොකක් හරි පණිවිඩයක් ඇති කියලා.. නිකන් කෝඩ් එකක් වගේ.. සැගවිච්ච පණිවිඩයක්.."

මිතුරන් අතර මද වෙලාවක නිශ්ශබ්දතාවයක් පැවතුනි..

"හරි යුරේකා මදෆකාස්!" එක මිතුරෙක් ප්‍රීතියෙන් කෑගැසුවේ නිහඬ බව බිඳ දමමිනි!

"මම හොයා ගත්තා මචන් ගැබා ගේ කෝඩ් එක.."

"බලහන් මේ කතාවේ හැම කොටසේම මූ එක සිදුවෙච්ච වෙලාව දාලා තියෙනවා.. ඒ දාලා තියෙන්නේ අකුරු නෙමෙයි , පැය 24 ඔරලෝසුවේ ඉලක්කම් වලින්... බලහන්.."

ඔහුගේ සොයාගැනීමත් සමගම හැමෝම කතාවේ ඇති වෙලාවල් දෙස බලන්නට වූහ..

( තොපිත් බලහල්ලා ඉතින් පොඩ්ඩක් )

0800
0500
1200
1600
1300
0500

"මේ තියෙන්නේ මචං වෙලාවල් ටික.." මිතුරෙක් තම තිරය ෂෙයාර් කර ඉලක්කම් ටික එක පෙලට ලියාගෙන පෙන්වීය.

"හරි මචන්" කෝඩ් එක සොයාගත් මිතුරා මයික් එක අතට ගත්තේය.. "දැන් බලහන් මේ ඉලක්කම් හැම එකම පෙන්නුම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරක්.."

"ඒ කිව්වේ මචන්??" වැඩේ මීටර් නැති මිතුරෙක් ඇසුවේය.

"ඒ කිවේ මචන් 1 කියන්නේ A , 2 කියන්නේ B , 3 කියන්නේ C.. ඒ වගේ..."

"දැන් ඔය විදියට මේ නම්බර් ටිකට දාලා බලහන්කො මොකද්ද එන්නේ කියලා.."

0800 - H
0500 - E
1200 - L
1600 - P
1300 - M
0500 - E

"හැලප...මේ..."

"හලපමේ නෙමෙයි හුත්තෝ HELP ME!" හැලප මිතුරා හැර අනිත් හැමෝම එකවරම පැවසූහ!

"ගැබාට අපේ උදව් ඕනේ මචන්... ඒකයි ඌ මේ කියන්න හදන්නේ.." සෙට් එකේ පෙරමුණ ගන්නා ජාතියේ මිතුරෙක් තීරණාත්මක ලෙස පැවසුවේය..

..............................................

ඊට දවස් දෙකකට පසු ධර්මසේන නිවස වෙත ලඟා වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් රැගත් ආණ්ඩුවේ වාහනයකි. හැමෝම "සෞඛ්‍යාරක්ෂාව පතා මුහුණු මාස්ක් වලින් වසාගෙන සිටියහ".

"මිසිස් ධර්මසේන.. මිසිස් ධර්මසේන.. දොර අරින්න අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්.."

"අනේ මිස්ටර්.. මේ මොකද??"

"කලබල වෙන්න එපා මිසිස් ධර්මසේන.. ඔයාගේ මහත්තයා ඉතාලියේ ඉඳන් ආපු කෙනෙක් එක්ක පාටියක ඉඳලා තියෙනවා.. ඉතින් අපිට සිද්ධ වෙනවා එයාව නිරෝධායනයට පුනානි වලට අරගෙන යන්න.. බය වෙන්න එපා, ඔයාට ගෙදරම ඉන්න පුළුවන්.. අපිට මහත්තයව විතරක් ගෙනියන්න තිබ්බනම් ඇති.."

"මම යන්නම් මැණික.. ෂිට් මාර වැඩේ නේ.."

"අනේ බබා.."

"බය වෙන්න එපා මැණික.. මම කෝල් එකක් දෙන්නම්..."

"හා හා යමු යමු..."

"අපි එන්නම් මිසිස් ධර්මසේන.. බුදු සරණයි.."

"හා.."

"බ්රූම්" ගැබා සහ පිරිස රැගත් වාහනය දුම් දමමින් පිටත් විය.

"අඩෝ...... බ්‍රදර්ස්!!!!!!"

"අඩෝ... මොකෝ වෙන්නේ හුත්තෝ.... අපි උඹේ කෝඩ් එක කැඩුවා යකෝ..."

"අඩෝ තැන්ක්ස් ඔයි , පිස්සු හැදිලා හිටියේ.."

"දැන් ඔක්කොම හරිනේ බ්‍රෝ... ඉඳා... කළු මාමාගෙන් ගත්තේ 3000ක් දීලා.."

"හම්මට ගලක්!"

"චියර්ස්!"

"චියර්ස්!"

වීදුරු ගැටෙන හඬ සමගම පසුබිමින් මිෂන් ඉම්පොසිබල් සංගීතය වාදනය වේ..

- දෙවනි කතාවේ දී එන්ඩ් එක -

- ඉවරටෙම ඉවරයි -



Monday, March 16, 2020

XD-13

ACT 1

වර්ෂ 2019 යේ අප්‍රේල් මාසයේ වැසිබර දිනයකි. බක්මහ අකුණු කොටන සැටි නැරබීමට තරු හෝටලයේ උඩම මහලට එකක් යටින් පිහිටි භෝජනාගාරය කදිම ස්ථානයකි. ඩෙනිමක් සහ ලස්සන කමිසයකින් සැරසුණු වසර 40ක් පමණ වන දේශීය තරුණයෙකුත් , එපමණම වයසතැයි කිව හැකි කොට කලිසමක් සහ ටී ෂර්ටයකින් සැරසුණු සුදු හමැති විදේශිකයෙක් නැතිනම් සුද්දෙකුත් එක මේසයක දෙපැත්තේ වාඩි වී සිටිති. දේශීය තරුණයා තමන්ගේ ජංගම දුරකතනයේ එහෙ මෙහේ දුවමින් වැඩ ගොඩක සිරවී ඇති සෙයකි. සුද්දා නම් තම ජංගම දුරකතනයෙන් ඈතින් ඇතිවී නැතිවී යන බක් මහා අකුණු වලත් මේසය උඩ ඇති තම කෑම පිඟානේත් අතොරක් නැතුව ෆොටෝ ගසයි.

"අයිසේ.. තමුසෙලගෙ කෑම මාර ලස්සනයි නේ.." දිව උරුක් කරගනිමින් තම කෑම පිගානේ තවත් ෆොටෝ එකක් ගසන සුද්දා පවසයි..

"ඔකේ ෆොටෝ ගහන්නේ නැතුව කෑවා නම් රසත් බලාගන්න පුළුවන් වෙයි" සිය ජංගම දුරකතනයෙන් ඇස ඉවතට නොගෙනම දේශීය තරුණයා පවසයි.

එබස් ඇසූ සුද්දා  "හ්ම්ම් ඒකත් ඇත්ත තමයි" කියන්නාක් මෙන් උරහිස් දෙක අකුලා ගෑරුප්පුවක් ගෙන කෑම එකින් එක ඇන ඇන බලයි.

"දඩාස්!" දේශීය තරුණයා ඇති යන්තම් ජංගම දුරකතනයේ වැඩ අහවර කර එය මේසය මතින් තබයි මහ සද්දෙට.

"දැන්.." දේශීය තරුණයා සුද්දා වෙත සිය මුළු අවධානයම යොමු කර කතාව පටන් ගනී. "දැන් ඔහේ මට කියන්නේ මේක ලොක්කට ලැබෙන්න සලස්වන්න කියල නේ?". මේසය උඩ ඇති ෆයිල් කවරයක් ඔහු සුද්දාට ඇඟිල්ලෙන් පෙන්නයි..

"ඔව්" සිය කෑම පිඟානෙන් ඇස ඉවතට නොගෙනම සුද්දා පවසන්නේ තලු මර මර ඉස්සෙක් හපන ගමන්ය..

"ඊට කලින් කියනවා තමුසේ කොහොමද මාව දැනගත්තේ? මට ලොක්කා එක්ක සම්බන්දකම් තියෙනවා කියලා කොහොමද දැනගත්තේ??" තරුණයා අසන්නේ තරමක බය මුසු කුතුහලයක් සහිතවය.

සුද්දා හැඳි ගෑරුප්පු අමතක කොට දෑතින්ම ඉස්සෙක් හා ඔට්ටු වෙයි.. "හෙහ් හෙහ්.. ඔහෙට ලොක්කා එක්ක සම්බන්දකම් තියෙනවා කියලා කව්ද නොදන්නේ?? ලොක්කව 2015 චන්දෙන් ජනාධිපති කරවන කැම්පේන් එක තනිකරම මෙහෙයෙව්වේ ඔහේ CEO වෙලා ඉන්න ඇඩ්වර්ටයිසින් ඒජන්සිය.තව ලොක්කගේ පක්ෂයට නොනිල වශයෙන් උදව් කරන මේ රටේ තියෙන ඉහලම ව්‍යාපාරික එකමුතුවේ තමුසේ ප්‍රධානම සාමාජිකයෙක්.. ඕවා ඉතින් හැමෝම දන්න දේවල් නේ හෙහ් හෙහ්.. බයිදවේ තමුසෙලගෙ රටේ ඉස්සෝ මාර රසයි අයිසේ..."

"චොක් චොක්.." සුද්දා තලු මරයි.. දේශීය CEO තරුණයා මොනවද කීමට පටන් ගත්තත් සුද්දා අත ඔසවා ඔහු නවත්වයි..

"දැන් මම ඔහේ ගැන වැඩිය කව්රුත් දන්නේ නැති දේකුත් කියන්නම්.. ඔහේගේ අනියම් බිරිඳ ඉන්නේ බැ-ල-පොව්-කූ-නහ් රෝඩ් එකේ රෝයල් හයිට්ස් රෙසිඩන්සීස් එකේ , 8 වෙනි තට්ටුවේ , 4 වෙනි ගෙදර. එයා මේ වෙලාවේ ඉන්නේ ජිම් එකේ. ඕවා ඉතින් එලියට ආරංචි වුනොත් හරි නෑ නේද..දැන් ඔහේ බැඳලත් අවුරුදු 15ක් විතර වෙනවා නේද ?"

"තමුසේ කොහොමද.."

"මම ඒවා දැනගත්ත විදිය තමුසෙට වැඩක් නෑ.. හැබැයි මේ මොහොතේ , මේ මේසේ වාඩි වෙලා මාත් එක්ක කතා කරන්න තමුසෙව මෙතනට ගෙන්න ගන්න තරම් දේවල් මම දන්නවා .. ඊට වඩා දේවලුත් පොඩ්ඩක් විතර දන්නවා" සුද්දා හිනා වෙමින් පවසයි..

"would you mind?" සුද්ද සිය ඉස්සෝ හොදි ගෑවුණු දෑත් තරුණයාට පෙන්වයි. ඔහුගේ ඉඟිය තේරුම් ගත් තරුණයා වේටර් වරයෙකුට සන් කර "ෆින්ගර් බෝල් එකක්" යයි සිංහලෙන් පවසයි.

"බයිදවේ එයා දැන් ඉන්නේ ජිම් එකේ නෙමෙයි , මම තමුසෙව බය කරන්න ඒක කිව්වේ.. එයා යන එන තැන් මම කොහොමද අයිසේ දන්නේ"  "හහහා!!" සුද්දා තරුණයා දෙස ඉස්සෝ ගෑවුණු ඇඟිල්ලක් දිගු කරමින් මහා හඩින් සිනාසේ..

තරුණයා යන්තම් සැනසුම් සුසුමක් හෙලනු පෙනේ.

"ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 2020 අව්රුද්දෙ තමුසෙලගෙ ජනාධිපතිවරණය එනවා.." සුද්දා ඇඟිලි ලෙවකමින් කතාව අරඹයි. "මම දන්නවා ලොක්කගේ කැම්පේන් එක ආණ්ඩුවේ පැත්තෙන් මෙහෙයවන්නේ කව්ද කියලා. ඒ තමයි දැන් ඉන්න කෘෂිකර්ම ඇමතිතුමා.නමට කෘෂිකර්ම ඇමතිකම කලාට මිනිහගේ සැබෑ හැකියාව තියෙන්නේ චන්ද දිනවන්න.. තමුසේ ඇඩ්වර්ටයිසින් සහ මාධ්‍ය පැත්තෙන් වැඩකරන නිසා තමුසේ මිනිහා එක්ක සමීපයි කියල මම දන්නවා. කෘෂිකර්ම ඇමතිතුමා තමුසෙලගෙ ලොක්කා ඒ කියන්නේ.. මේ රටේ ජනාධිපතිතුමාගේ ලඟම සහ විශ්වාසවන්තම යාලුවෙක් කියලත් මම දන්නවා.. "

තරුණයා හැගීම් විරහිත මුහුණෙන් අසාගෙන සිටී.

"මේ වනකොට වත්මන් ජනාධිපතිතුමාගේ ජනප්‍රියත්වය එච්චර හොඳ නෑ. තමුසෙලගෙ රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා තියෙන්නේ. මිනිස්සු බහුතරයක් මේ වෙනකොට විපක්ෂනායකතුමා පැත්තට ආකර්ෂණය වෙලා තියෙන්නේ. දෙවෙනි පාරටත් ජනාධිපති වෙන එක ලබන අවුරුද්දේ තියෙන චන්දෙන් ඔහෙලගෙ ලොක්කට එච්චර ලේසි වෙන එකක් නෑ.."

"ඒත් අපි කැමතියි ඔහෙලට උදව් කරන්න" සුද්දා ඇගිලි ලෙවකා අවසන්ය. දැන් ඔහුගේ දෑස් තරුණයාගේ දෑස් දෙස කෙලින්ම එල්ලවී ඇත.

"අපි ඔහෙලට කිසිම අඩුවක් නැතුව ආධාර කරනවා ඔහෙලගෙ කැම්පේන් එක සාර්ථක කරගන්න. සල්ලි සහ ටැක්ටික්ස් දෙකෙන්ම. සල්ලි ආපසු ගෙවීමක් අපිට අවශය නෑ. අපි ඉල්ලන්නේ මේ ෆයිල් එකේ තියෙන දේවල් ජනාධිපතිතුමා කියවලා මේ ගිවිසුම ගැන පොඩ්ඩක් හිතලා බලන්න කියලා විතරයි"

සුද්දා තව දුරටත් ඔහුගේ දෑස් තරුණයාගේ මූණ තුල ගිල්වයි.

"මේ ෆයිල් එක ජනාධිපතිතුමාට දෙනවා. කෘෂිකර්ම ඇමතිතුමා අතේ. ඒක තමයි තමුසෙගෙ ජොබ් එක"

"හෙහ්.." පලවෙනි වරට තරුණයාගේ මුවට සමච්චලය මුසු හිනාවක් නැගෙයි.. "මට මොනවද මේකෙන් ලැබෙන්නේ??"

සුද්දා සිය අත් දෙකම ඔසවා ඇඟිලි වලින් ඉලක්කමක් පෙන්වයි.."මිලියන, USD වලින්"

"හෙහ් හෙහ්!!" එවර තරුණයාගේ මුවට පෙරටත් වඩා සමච්චල් හිනාවක් නැගේ..

"මට සල්ලි වැඩක් නෑ අයිසේ.. තමුසේ මං ගැන දන්නවා කිව්වට හරියටම මං ගැන දන්නේ නෑ වගේ.."

"මට අදහසක් තියෙනවා අපේ අසල්වැසි රටේ මගේ ඇඩ්වර්ටයිසින් ඒජන්සිය ලෝන්ච් කරන්න. ඒත් තමුසෙට තේරෙනවා ඇති නේ , මට ඒක අපේ රටේ ටැලන්ට් එක දාලා කරන්න බෑ මට එහෙන් සම්පත් ඕනේ , එහෙන් ලොකු ආයෝජනයකුත් ඕනේ.. තමුසෙට පුලුවන්ද මට ඒකට උදව් කරන්න ??"

"මට ඒ වැඩේට උදව් කලොත්.. මම තමුසෙට උදව් කරන්නම්.." තරුණයා වීදුරුවකින් වතුර බොමින් මේසය උඩ ඇති ෆයිල් කවරය දෙස බලමින් පවසයි..

"හ්ම්ම්" සුද්දා පලවෙනි වතාවට මදක් කල්පනාකාරී වෙයි..

"හරි !"

"තමුසෙගෙ වැඩේ මම කරලා දෙන්නම්.. අපිට යාළුවො ගොඩක් ඉන්නවා , හැම රටේම"

සුද්දා පුටුව ඇදගෙන නැගිටියි. "හෝව් හෝව් පොඩ්ඩක් ඉන්නවා. ඔහේ මම ගැන දන්නවා. ඒත් ඔහේ කව්ද කියලා මම දන්නේ නෑ නේ.. ඔහේ වැඩ කරන්නේ Asian Aid එකටද??"

සුද්දා සිනාමුසු වෙයි.

"මම හැමෝගෙම යාලුවෙක් විතරයි.."

"මම මේක යන ගමන් ටැප් එකෙන් හෝදාගන්නම්" ෆින්ගර් බෝල් එක ඔසවාගෙන එන වේටර්වරයාද නොතකා  සුද්දා පිටවී යයි.

************************************************

ACT 2 - සති දෙකකට පසු

තවත් තරු හෝටලයක බේස්මන්ට් බාර් එකක හමුවුණු පිරිමින් දෙදෙනෙකි. බාර් එකේ පිරුණු තරුණ තරුණියන් සහ කන් අඩි පැලෙන සංගීතය නිසා ඔවුන් කතා කරන දේවල් හරියට නෑසේ.

"මොකද වුණේ අපේ යෝජනාවට?? ලොක්කා ප්‍රතිචාරයක් දුන්නද???"

"ඔව්.. හැබැයි එච්චර හොඳ එකක් නෙමෙයි.." දෙවැන්නා මූණ ඇඹුල් කරගනිමින් පිළිතුරු දෙනු යාන්තමට ඇසේ..

"කැමති වුණේ නැහැ??" පළවෙනියා විමසයි.

"ඇමතිතුමා කිව්වේ ෆයිල් එක විසික් කළා කියලා ! " දෙවැන්නා පවසයි

"විසික් කරලා අයිසේ.. ඔය යෝජනාවට කීයටවත් ලොක්කා කැමති වෙන්නේ නෑ.." දෙවැන්නා බෙරිහන් දෙන්නේ බීමත්වය.

සංගීත නාදය එන්න එන්න තව තවත් උද්වේගකර වේ.

"FUCK!"

**************************************************

ACT  3

"සුභ උදෑසනක් ජනාධිපතිතුමනි!"

"උදෑසනක් ඩග්. කොහොමද ඔබට?"

"හොඳයි සර්"

"සර් , අපේ යාලුවන්ගෙන් පොඩි නරක ආරංචියක් තියෙනවා.. අර ආසියාතික ගිවිසුමට ඒ රටේ ජනාධිපතිතුමා කැමති වෙලා නෑ.. ඇත්තටම අපේ මිත්‍රයා කියපු විදියට නම් ජනාධිපතිතුමාව මේකට කොහෙත්ම කැමති කරගන්න බැරි පාටයි.."

"ඔහ්! මම හිතුවා.. මිනිහ එහෙම ලේසියෙන් නවන්න පුළුවන් ජාතියේ කෙනෙක් නෙමෙයි.. නමුත් උඹ දන්නවද ඩග් , දේශපාලඥයොත් ඇවිත් ගණිකාවෝ වගේ තමයි. නියම ගාන දුන්නොත් නවාගන්න පුළුවන් හහහා..."

"හහාහා... ඒක හොඳ විහිළුවක් සර්.."

"හම්මේ හම්මෝ අහහහ...ඩග්, මේ ගැන අපි කතා කරමු. දැන් නැති වුණත් අපිට මේක තල්ලු කරගන්න කාලයක් එයි. ඒ රටේ තත්වය අධ්‍යනය කරලා මට මේක කරගන්න විදියක් ගැන සැලසුමක් දෙන්න. ලබන සතියේ බදාදා මට නිදහස් වෙලාවක් බලලා දැන්ම වෙලාවක් දාගන්න , මම එදාට ඔයාගෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා. පැහැදිලි ද?"

"ඔව් සර්!"

**************************************************

ACT 4 - ලබන සතියේ බදාදා

"ඔව් ඩග්?"

"සර්, මේකයි දැන් සැලසුම. ලබන අවුරුද්දේ එයාලාගේ ජනාධිපතිවරණය එනවා..."

**************************************************

ACT 5

වර්ෂ 2020 ජනවාරි මාසයේ රස්නේ දිනයකි. ජනාධිපතිවරණයට තව ඇත්තේ මාස අටක පමණ කාලයකි. අගනුවර කෝපිහලක හමුවූ දේශීය තරුණයා සහ සුද්දා නැවතත් බරපතල කතාවක නිග්ම ගෙන ඇති සෙයකි. තරුණයා අතේ දැල්වෙන සිගරෙට්ටුවක් ඇත , සුද්දා අත දුම් දමන කෝපි කෝප්පයකි. දෙදෙනාම නිශ්ශබ්දය.

"එහෙනම් ඔබේ ලොක්කා දෙවෙනි පාරටත් බෑ කිව්වා?" සුද්දා නිහඩතාවය බිඳ දමමින් විමසයි.

"ඔව්.. ජනාධිපතිතුමා මේකට කැමති නෑ.. මම කලින්ම කිව්වේ.. තමුසේ කියපු නිසා ආයෙත් ඇහුවා මිසක්.." තරුණයා අහක බලාගෙන දුම් උගුරක් පිටකරයි.

"හරි" සුද්දා ටකස්! හඬින් කෝප්පය පීරිසිය මත තබමින් නැගිටියි.

"ලොක්කට කියනවා අපි කිව්වයි කියලා.. මේ පාර එයාට මේ තීරණය ගැන පසුතැවෙන්න වෙයි.."

"පසුතැවෙන්න වෙයි.. අනිවාර්යෙන් කියනවා.." සුද්දා කෝපිහලෙන් පිටවී යන ගමන් පවසයි..


**************************************************

ACT 6  - ජනාධිපතිවරණයට මාස 5යි

"ආයුබෝවන් , මේ ඔබ එක්ව සිටින්නේ රාත්‍රී 9.30 ඉංග්‍රීසි ප්‍රවෘත්ති ප්‍රකාශය සමඟයි. රට පුරාම බිහිසුණු වසංගතයක් වී පැතිරී ඇති XD-13 වයිරසය ගැන නවතම තත්වය මෙන්න.."

"මේ වන විට අපේ රට තුලින් වාර්තා වී ඇති XD-13 රෝගීන් ගණන එක්ලක්ෂ පනස් එක් දහස් දෙසිය හැට හතරක් දක්වා ඉහල ගොස් ඇත. ඒ අද හමුවූ රෝගීන් විසිඑක් දෙනාද සමගයි..  XD-13 නිසා ඇතිවූ මරණ සංඛ්‍යාව මේ වනවිට අටදහස් දෙසිය හතලිස් පහ දක්වා ඉහල ගොස් ඇත.රටේ ඉතිහාසය තුල මෙතරම් ඉහල මරණ අනුපාතයක් සහිත වයිරසයක් පැතිරී ගිය පළමු වතාව මෙයයි.."

"මේ අතර මේ වනවිට දිවයිනේ සියලුම රජයේ රෝහල් XD-13 රෝගීන්ගෙන් පිරී යාම නිසා අලුතෙන් හමුවන රෝගීන්හට නිවසේ සිටම ප්‍රතිකාර කරගන්නා ලෙසට රජයෙන් ඉල්ලා සිටී. අද උදෑසනද රෝහල් වලට රැගෙන ආ රෝගීන් රෝහල් වලින් බාර නොගැනීම නිසා දිවයිනේ කීප තැනකම ගැටුම්කාරී තත්ත්ව ඇති විය. අපි දැන් එහි වීඩියෝ දර්ශන වෙතට යොමු වෙමු.."

"අයියෝ මොකද්ද මේ කලේ... අනේ මගේ පුතා... ඇයි මේ බාරගන්න බෑ කියන්නේ.."

"අපේ සල්ලි වලින් යකෝ මෙව්වා නඩත්තු කරන්නේ.. ඇයි අපේ කොල්ලන්ව ගන්න බැරි..මුන්ගේ අම්මලට *ටීක්*!"

"XD-13 සෑදී මරණාසන්න වුනු කොල්ලව රෝහලෙන් පැන්නුවේ මෙහෙමයි [video]"

"ආණ්ඩුවේ ජඩයන් වෙත ලියන වග නම් , අපි චන්දය දී තොප පත් කලේ මෙවැනි...." 1.5k shares


"මේ අතර මේ වසංගත තත්වය පාලනය කරගැනීමෙහි ලා ආණ්ඩුව දක්වන අසමත්කම විපක්ෂයේ ද විවේචනයට ලක්විය.. මේ ගැන අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා මේසේ පැවසීය"

"මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා මේ තත්වේ පාලනය කරගන්න.. ඒ වගේම 12 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට දැන් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැතුව බෑ චන්ද දිනය පස්සට දමන්න.. ඒක නිසා අපි යෝජනා කරනවා මහජනතාවට , මේ අමාරු කාලේ වුණත් , අපි චන්දයක් තියලා.. මේ වයිරසය පරද්දන්න..මේ රට ආයෙත් ගොඩනගන්න... මේ ආණ්ඩුව ගෙදර යවලා මාව ඔබේ ජනපති කරගන්නා ලෙසට....."

**************************************************

ACT 7

"සින්ඩි.."

"සර්.."

"ඩග්ව ඇතුලට එවන්න.."

"ඕකේ සර්"

"ඩග්, අපේ පුංචි සැලසුම හරියටම වැඩ කරනවා වගේ නේද... හහ් හහ්.. නියමයි ආ ඔයාගේ සැලසුම.."

"බොහොම ඉස්තුතියි සර්.. මේක ඉතින් මගේ විතරක් නෙමෙයි අපේ කණ්ඩායමේම මහන්සිය තමයි.. අනික අවුරුදු ගාණක් පර්යේෂණ කරලානේ මේ වයි..."

"හරි හරි ඒක වැඩක් නෑ.. මට පොඩි අදහක් ආවා අපේ වැඩේ ඉක්මන් කරගන්න.. ඒක කියන්නයි මම උඹට ඇතුලට එන්න කිව්වේ..මේක අපේ ඔරිජිනල් සැලසුමට පොඩි අලුතෙන් එකතු කිරීමක්.."

"ඒ මොකද්ද සර්???"

"අයිසේ ඩග් මට අද උදේ ටොයිලට් එකේ ඉන්නකොට හිතුනේ මේක.. දැන් අරගොල්ලන්ගේ රටේ ඔක්කොම ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා නේද?"

"ඔව් සර් , එයාලගේ ලෝකල් ඉංග්‍රීසි පුවත් මම මේ ටිකේම චෙක් කළා.. මිනිස්සු මරාගන්නවා ඉස්පිරිතාල වලට ඇතුල් වෙන්න බැරුව.."

"හරි , මේ වගේ වෙලාවක.. මේ ලෙඩේ බෝවෙන්න හොඳම.. සොරි නරකම තැන මොකද්ද දන්නවද??"

"නෑ සර්.. ඒ මොකද්ද??"

"හිර ගෙදර ඩග් හිර ගෙදර !"

"දැන් බලනවා හිර ගෙදරට මේ ලෙඩේ බෝ වුණොත් , හිරේ ඉන්න අයව එලියට ගන්නත් බෑ මෙයාලගේ ආණ්ඩුවට. මොකෝ හිරකාරයෝ එලියට අරගෙන බෙහෙත් දෙන්න ගියොත් සාමාන්‍ය මිනිස්සු ඒකට විරුද්ධව කෑගහනවා. හිර කාරයෝ නිසා සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයක් එල්ල වෙනවා කියලා.. "

"අසනීප වුනු හිරකාරයන්ට හිරේ ඇතුලේ තියාගෙන වෙනම බෙහෙත් දෙන්න තරම් එයාලගේ බන්ධනාගාර පද්ධතියට සම්පත් නෑ. අනික මේ දවස් වල සෞඛ්‍ය සේවකයෝ හොඳටම කාර්යබහුල වෙලා ඉන්න නිසා ඕක තවත් අමාරුයි.."

"අනික හිරේ ඉන්න හිරකාරයන්ට ඕක හැදුනොත් මේ ජරමර අස්සේ ආණ්ඩුව හිරකාරයන්ව නොසලකා අරින්නත් ඉඩක් තියෙනවා.. එහෙම වුනොත් හිරකාරයන් අතර මරණ අනුපාතය වැඩි වෙන්නත් ඉඩක් තියෙනවා.. ඒකට කෝපාවිෂ්ට වෙන අනිත් හිරකාරයෝ ඒ ගැන කැරලි ගහන්න සෑහෙන්න ඉඩක් තියෙනවා..."

"අනික මම ඔය තුන්වෙනි ලෝකයේ රටවල් වල හිර ගෙවල් දැකලා තියෙනවා. ඒවා නිකන් කුකුල් කූඩු වගේ අයිසේ. ඕකේ එක හිරකාරයෙක්ට වයිරසය හැදුනා කියන්නේ ඉතින් පැතිරෙන එක ආයේ අහන්න දෙයක් නෑ.."

"එහෙම බලන් ගියාම අයිසේ හිරගෙදරට මේක යැව්වා කියන්නේ all hell breaks loose !"

"ඒක නම් ඇත්ත තමයි සර් ! හරි සර් , එයාලගේ ප්‍රධානම හිරගෙදරට ලෙඩේ යවන වැඩේ මම කරන්නම්. ඒ රටේ ඉන්න අපේ යාළුවො දම්මලා අපිට ඕක කරගන්න පුළුවන්. හිරගෙදර සර් හිතන මට්ටමට මේක පැතිරුණා කියමුකෝ.. ඊට පස්සේ මොකද්ද සර් ගේ සැලසුම??"

"මේක හිර ගෙදර ඇතුලේ පැතිරෙන්න ඕනේ.. තව සති තුනක් ඇතුලත හිරකාරයෝ මේ ලෙඩේ නිසා හිරගෙදර ඇතුලේ යක්ෂ නැටුම් නටන තත්වයට ගේන්න ඕනේ.. ඒ වැඩේ ඔයාට බාරයි ඩග්..

"හිරගෙදර තත්වය ලඟින්ම නිරීක්ෂණය කරන්න කෙනෙක්ව දාන්න..ඊට පස්සේ කරන්න ඕනේ ටික මම අද රෑට ඔයාට කියන්නම්.. මට දැන් උප ජනාධිපතිතුමා එක්ක මීටින් එකක් තියෙනවා.."

"හොඳයි සර් , මම ඒ විදියට කරන්නම්.. සර් , පොඩි නරක ආරංචියකුත් තියෙනවා හැබැයි..."

"ඒ මොකද්ද ඩග්??"

"සර් අපි හිතපු විදියටම මේ ලෙඩේ දැන් එයාලගෙන් ලෝකේ අනිත් රටවල් වලටත් පැතිරිලා.. මොකද සර් එයාලගේ ප්‍රධානම අදායම් මාර්ගයක් නේ සංචාරක කර්මාන්තය. සංචාරයට එහෙ ආපු විදේශිකයන්ගෙන් මේක දැන් අනිත් රටවල් වලටත් පැතිරිලා.."

"අපි සර් මේ වයිසරය හැදුවේ ගොඩක්ම ඝර්ම කලාපීය රටවල් වල විතරක් පැතිරෙන විදියටනේ..සීතල දේශගුණයට ඔරොත්තු නොදෙන විදියට.. ඉතින් ගොඩක් බටහිර රටවල් වල තාමත් සීතකාලය පොඩ්ඩක් තියෙන නිසා අපි හිතපු විදියටම තාම මේක ගොඩක් පැතිරිලා නෑ.. නමුත් දැන් පොඩ්ඩ පොඩ්ඩ පැතිරීගෙන එන බවක් පේන්න තියෙනවා.."

"සර් අපේ රටෙත් රෝගියෝ කීප දෙනෙක් වාර්තා වෙ.."

"අයිසේ ඩග් , ඔම්ලට් හදන්න බෑ බිත්තර දෙක තුනක් කඩන්නේ නැතුව.. අනික මේක අපි කලිනුත් අපේක්ෂා කළා නේ.. කොහොමත් අපි ගාව මේකට වැක්සින් එක තියෙන නිසා භයවෙන්න දෙයක් නෑ නේ.. බලමු එන විදියකට.."

"ඔව් සර්.."

"ආ වැක්සින් කිවම මතක් වුණේ.. අපි එදා කතා කරපු විදිය මතකයි නේ ?"

"ඔව් සර් , එක පාරටම වැක්සින් එක එලියට දාන එක සැක සහිත වෙන නිසා අපි සැලසුම් කරපු විදියටම මම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් ලැස්ති කළා අනිද්දා.. එකේදී සර්ට නිවේදනයක් දෙන්න පුළුවන් අපේ ආසියාතික මිත්‍රයන්ට අත දීමක් විදියට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හොඳම වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම මේ වයිරසයට වැක්සින් එකක් හොයාගන්න යොදවලා තියෙන්නේ කියලා.. ඒකෙන් අපිට ආසියාතික රටවල ජනතා ප්‍රසාදය ටිකක් දිනාගන්නත් පුළුවන් සර්"

"නියමයි, පර්යේෂණ කණ්ඩායම ලෑස්තිද?"

"ඔව් සර්, ඩොක්ටර් රොජර් වෝටර්ස් කණ්ඩායම මෙහෙයවනවා. ඩොක්ටර් වෝටර්ස්ව හරි දිශාවට මෙහෙයවන්නත් මම විදි විධාන යොදවලයි තියෙන්නේ.. ප්‍රතිපාදන සහ තාක්ෂණික උපදෙස් වලින් පරේක්ෂණ කණ්ඩායම එයාලාවත් නොදැනුවත්වම අපිට ඕනේ විදියට දක්කාගෙන යන්න පුළුවන් .. කිසිදේක අපි කෙලින්ම ගෑවිලා නෑ සර්.. මේ දම්වැලේ කොච්චර පුරුක් තියෙනවද කිව්වොත් කාටවත් මේකේ අගක් මුලක් හොයන්න බෑ !"

"විශිෂ්ටයි මා මිත්‍ර වොට්සන්, මම එහෙනම් යනවා උප ජනාධිපතිතුමා හම්බ වෙන්න. දිගටම ඇහැ ගහගෙන ඉන්න මේක ගැන.."

"එහෙමයි සර් !"

**************************************************

ACT 8

"හෙලෝ ඔබ CNN නිව්ස් වෙත සාධරයෙන් පිලිගන්නවා. මම කේට්"

"මම බිල්"

"මෙන්න ලොව පුරා මේ දින වල සීග්‍රයෙන් පැතිර යන XD-13 වයිරසය ගැන නවතම විස්තර. දකුණු ආසියානු කලාපයෙන් ආරම්භ වුනු XD-13 වෛරසය මේ වන විට යුරෝපය , දකුණු සහ උතුරු ඇමරිකාව දක්වා පැතිර ගොස් තිබෙනවා.."

"අපේ රටේ තත්වය කොහොමද කේට් මේ වනවිට??"

"ඔව් බිල් ඇත්තටම අපේ රට මේ භයානක වෛරසයෙන් මාස කීපයක්ම ආරක්ෂා වී තිබුනත් මේ වන විට රටේ උෂ්ණ පළාත් වල XD-13 වේගයෙන් ව්‍යාප්ත වන ස්වභාවයක් අපට දක්නට ලැබෙනවා.. ඝර්ම කලාපීය රටකින් ආරම්භ වුනු නිසා අපේ රටට මෙයින් එතරම් බලපෑමක් නැතැයි සමහර විශේෂඥයින් අනාවැකි පල කර සිටියත් මේ වන විට අපට විද්‍යාඥයින් පවසන්නේ මූලික වයිරසයෙන් විපර්යාසයට පත්වුණු වයිරස ප්‍රභේද අපේ රට පුරා පැතිර යන බවයි.."

"ඔව් කේට් ඒ වගේම තවත් දුක්මුසු ආරංචියක් තමයි කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් දේශපාලනයට පිවිසුණු අපේ උප ජනාධිපතිතුමාගේ බිරිඳ , ඇයත් මෙම වෛරසටය ගොදුරු වී ඇති බවට වාර්තා වීම.."

"ඔව් බිල් , ඒ වගේම රට පුරා පැතිර යන XD-13 රැල්ලත් සමගම ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට දැඩි විවේචන එල්ලවෙනවා රටේ ජනතාවගෙන්.. "

"කේට් ඇත්තටම මටත් ඒ ගැන ලොකු විමතියක් තියෙනවා මොකද අපේ ජනාධිපතිතුමා XD-13 වයිරසයට වැක්සින් එකක් සෙවීමට පර්යේෂණ කණ්ඩායමක් පවා ප්‍රකාශයට පත් කළා අපේ රටට මේක හැදෙන්නත් කලින්. ඉතින් එතරම් සූදානමක් තිබුණු ජනාධිපතිතුමාට ඇයි බැරිවුනේ තමන්ගේ උප ජනාධිපති සගයාගේ බිරිඳ මේකට ගොදුරු වෙන්න කලින් මේ ගැන පූර්ව ආරක්ෂක විධි විදාන යොදන්න???? රටේ ජනතාව ආරක්ෂාව ගැන විශ්වාසයක් තියාගන්නේ කොහොමද මෙවන් නායකයෙක් යටතේ????? මම මේ එතුමාට අපහාස කරන්න කියනවා නෙමෙයි නමුත්...."

**************************************************

ACT 9

ජනාධිපති කාර්යාලේ මේසය උඩ වාඩි වී බර කල්පනාවක නියැලී සිටින ජනාධිපතිවරයෙකි. ඔහුට පසෙකින් හිටගෙන ඩග් සිටී.

"ඩග්, මොකද්ද දැන් අර රටේ තත්වේ??"

ඩග් ජංගම දුරකථනය ගෙන ජනාධිපතිවරයාට වීඩියෝවක් පෙන්වයි. ඒ අදාළ රටේ රාත්‍රී පුවත් විකාශයකි. බන්ධනාගාර පුරා XD-13 වයිරසය පැතිර යාම ගැන පුවතක් එහි පෙන්වයි.

"සර්, මම සර් කිව්වා වගේ ලෙඩේ හිරගෙදර ඇතුලට යැව්වා. එහෙ ඉන්න අපේ යාළුවො ලවා සිවිල් ක්‍රියාකාරිකයෝ මේ ගැන කතා කරන්න කුලප්පු කෙරෙව්වා. මේ බලන්න සර්.."

සිවිල් ක්‍රියාකාරියක් සිරකරුවන් වෙනුවෙන් හඬ නගමින් නිකුත් කල ප්‍රකාශ කීපයක් වාදනය වේ.

"අපි කියනවා ආණ්ඩුවට.. මේ අහිංසක හිරකරුවන්ගේ ජීවිත..."

"හ්ම්ම්.." ජනාධිපතිවරයා උගුර පෑදීය

"සර්..." ඩග් කතාව අරඹයි

"දැන් නම් සර් එහෙ ජනාධිපතිතුමාට සැහෙන්න විරෝධයක් එල්ල වෙලා තියෙන්නේ මිනිස්සුන්ගෙන්.."

"අපි දැන් එතුමාට අපේ යෝජනාව ඉදිරිපත් කලොත් මොකෝ..?"

"ඩග් , දැන්ම බෑ.. තව ටිකක් ඉන්න ඕනේ.. මම කිව්වා නේ.. හිරකාරයෙක් තමන්ගේ ෆෝන් එකෙන් ලයිව් වීඩ්යෝ එකක් දාලා මම කියපු දේ කරන්න ඕනේ.. ඒ වැඩේ තාම වුණේ නෑ නේ.. ඒක වුනාම තමයි අපිට පුළුවන් ඒ පැත්තට අපේ ප්‍රහාරය එල්ල කරන්න.. මොකෝ අපි දැන් මේ මිනිහට දෙපාරක්ම මේක ඔෆර් කරලා , ඌ දෙපාරක්ම ඒකට බෑ කියලා තියෙන්නේ. අපිට බෑ තව දුර්වල ප්‍රහාරයක් දීලා මේ වැඩේ නැත්තටම නැති කරගන්න.. අපි දෙන පාර දෙන්න ඕනේ , කාලය බලලා , වැටෙන්නම.. තේරුණාද?"

"සර් මේ වයිරසය නිසා අපිට ඕනේ විදියට ප්‍රකාශයක් දෙන හිර කාරයට ෆෝන් එකක් යවාගන්න පොඩ්ඩක් පරක්කු වුණා. මොකෝ ලෙඩේ හැදෙයි කියල බයට මේ ගැන කතාකරගන්න ජේලර් කෙනෙක් යවාගන්න බැරුව හිටියේ ඒ හිරකරු ලඟට. අද රෑ වෙනකොට සර් අනිවාර්යෙන් අපි තෝරගත්ත හිරකරුවෙක් අතට ෆෝන් එකක් දීලා , එයාව ලෝකෙටම පේන්න ලයිව් ගේනවා සර්.."

"මේක තවත් පරක්කු කරන්න ඕනේ නෑ ඩග් මටත්.. ඔය මිනිහා ලයිව් එන්න පැයකට කලින් මට එහෙ ජනාධිපතිතුමාට අපේ පණිවිඩය යවාගන්න ඕනේ. එහෙ ඉන්න අපේ යාලුවට කියන්න ඒ වැඩේ කරන්න කියලා.."

"එහෙමයි සර්..."

"සර් තව එකක්.."

"කියන්න ඩග්.."

"සර් උප ජනාධිපතිතුමාගේ බිරිඳ.. අපිට එයාට විතරක් වැක්සින් එක දෙන්න බැරිද???"

"ඩග් , මට තේරෙනවා ඔයා හිතන දේ. නමුත් අපි දැන් මේ වැක්සින් එක එලියට දැම්මා කියන්නේ අපිට අර ජනාධිපතිය ප්‍රෙෂර් කරන්න බැරි වෙනවා. ඌ අපිව ප්‍රෙෂර් කරයි ඊට පස්සේ ඇයි මේගොල්ලෝ මේකට ප්‍රතිකාරයක් තියාගෙනත් ලෝකෙට ඒක බෙදාගන්නේ නැත්තේ කියලා.. මොකද අපි මේ පර්යේෂණ කණ්ඩායම පටන් ගත්තෙම ආසියානුවන්ට උදව් කරන්න කියල නේ. අපි මේක කලින්ම එලියට දැම්මොත් මේකෙන් ලැජ්ජා වෙන්නේ අපිමයි.. ලැජ්ජාව කෙසේ වෙතත් අපි මෙච්චර කල් වැඩ කරපු දේ අපිට කරගන්න බැරි වෙනවා. අපේ සැලසුම් ඔක්කොම වතුරේ යනවා ඩග් උඹට තේරෙන්නේ නැද්ද???" ජනාධිපතිතුමා තමා හේත්තු වී සිටි මේසයට වේගයෙන් පාරක් ගැසුවේය.

"සමාවෙන්න සර්.. මම අද රෑට මේක ඉවරයක් කරනවා සර්.. මම දැන් අපේ යාලුවට කියන්නම් ජනාධිපතිතුමාට අපේ පණිවිඩේ ලැබෙන්න සලස්වන්න කියලා.."

"ස්තුතියි ඩග්.. ආ ඩග් අනිත් එක.."

"ඔව් සර්.."

"මේ දවස් වල මගේ ජනප්‍රියතාව සැහෙන්න බැහැල තියෙන එකේ.. අර පර්යේෂණ කණ්ඩායම ඉන්නේ.. ඒකට පොඩ්ඩක් ඔය මෙක්සිකන් හරි මොකක් හරි සුළුතර ජනවර්ගයක සම්බන්දයක් තියෙන ළමයෙක් දෙන්නෙක්වත් අනුයුක්ත කරලා දාන්න.. අඩු ගානේ ඒකෙන් හරි අපිට ලකුණු කීපයක් දාගන්න පුලුවන්ද බලන්න..."


**************************************************

ACT 10

අගනුවරට ඈතින් පිහිටි සුපිරි වෙළඳ සැලක කාර් පාර්ක් එකේ නවත්වාගෙන සිටින කළු පැහැති මොන්ටෙරෝ රථයකි. එහි රියදුරු වීදුරුව ඇරගෙන අතක් එලියට දමාගෙන දුම් පානයේ යෙදී සිටියි. මද වේලාවකින් සුදු පැහැති ප්රියස් රථයක් මොන්ටෙරෝ රථයට යාබදව අනිත් අතට නවත්වයි. සතියේ දිනයක දවාලක් වූ නිසා කාර් පාර්ක් එකේ වාහන දෙක තුනකට වඩා නොවීය. එතරම් ඉඩ තිබිලත් ප්රියස් රියදුරු වාහනය නැවැත්වූයේ මොන්ටෙරෝව අසලමය.

"මොකද වෙන්නේ?" මොන්ටෙරෝ රියදුරු දුම් උගුරක් එලියට විදිමින් අසයි.

ප්රියස් රථයේ රියදුරු ජනේලය පහතට දැමීය. ඔහු සුද්දෙකි. කාරය අනිත් අතට නැවැත්වූ නිසා දෙදෙනා දැන් සිටින්නේ මූණට මූණය.

"වෙන්නේ මෙච්චරයි.. මේක මම ආයේ කියන්නේ නෑ එක නිසා හොඳට අහගන්නවා!"

"තමුසේගේ කෘෂිකර්ම ඇමතිතුමාට කියනවා තව පැය 3කින් Fox news බලන්න කියලා. ඒ නැතත් තමුසෙලගෙ රටේ ඕනේම චැනල් එකක් , ෆේස්බුක් , යූටියුබ් බලන්න කියනවා.. බලලා ඉවර වුණාම මට මිනිහා එක්ක මීටින්ග් එකක් සෙට් කරලා ඕනේ, මම කියන තැනක..මිනිහට ඕනේ තැනක නෙමෙයි මම කියන තැනක.. මිනිහට ඒ වෙලාවේ වෙන මීටිමක් තියෙනවද , ජනාධිපතිතුමා හම්බවෙන්න යන්න තියෙනවද , උගේ ගෑනිත් එක්ක හුකන්න තියෙනවද ! මට ඒවා අදාළ නෑ ! තව පැය 3යි විනාඩි පහකින් මම කෘෂිකර්ම ඇමතිතුමා එක්ක වාඩි වෙලා ඉන්න ඕනේ ! මේ දේ තමුසෙට කරගන්න බැරි වුනොත් , තමුසෙගෙ බල-පොකුනාහ් රෝඩ් එකේ ඉන්න කෙල්ල තමුසෙගෙ එළිවෙන රහස් වල ආරම්භය විතරයි. තේරුණාද??"

"තමුසේ මට තර්ජනය කරනවද???" මොන්ටෙරෝ රියදුරා අපේ CEO තරුණයා දුම් වැටිය කෝපයෙන් විසික් කරමින් ගුගුලයි!

"තර්ජනයක් නෙමෙයි මිත්‍රයා.." සුද්දා වාහනය පණගන්වමින් පවසයි "ඇත්තටම කරන දේ කිව්වේ.."

"ගුඩ් ලක්!"


**************************************************

ACT 11

BREAKING NEWS

"හෙලෝ මෙන්න Fox news වෙත දැන් ලැබුණු වීඩියෝවක්.."

"ආසියාතික කලාපයේ පැතිර ගිය දැඩි XD-13 රැල්ලත් සමගම බන්ධනාගාරයක ඇතිවූ උණුසුම් තත්වයක් අප හට දැන් වාර්තා වී තිබෙනවා. මෙම තරුණයා සිංහල භාෂාවෙන් කතා කරන නිසා අප විසින් ඉංග්‍රීසි උපසිරසි යොදා ඇති බව කරුණාවෙන් සලකන්න.."

"ආයුබෝවන් හැමෝටම.. මගේ නම ශාන්ත.. මම බන්ධනාගාරයේ ඉඳලා මේ කතා කරන්නේ.. ඕගොල්ලන්ට පේනවා.."

"ඇත්තටම කියන්න ඕනේ මේ බන්ධනාගාරයේ අපිට කිසිම පහසුමක් දෙන්නේ නෑ.. අපිට සත්තුන්ට වගේ සලකන්නේ.. අපි මේ වයිරසයෙන් බේරෙන්න බෙහෙත් ඉල්ලුවමත් අපිට ගහනවා.. මේ බලන්න පාරවල්..."

"අපිත් එක්ක හිටපු රැඳවියෝ ගොඩක් මේ ලෙඩේට ගොදුරු වුනා.. එයාලට හරි හමන් පහසුමක් නෑ.. මේවා මේ ආණ්ඩුවේ වැරදි.. අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න..."

"බීප්...බීප්..බීප්..." වීඩියෝව විසන්ධි වේ..

"ඔව් ඔබ ඒ දුටුවේ නවතම වීඩියෝව , මේ වීඩියෝව නිකුත් වීමත් සමගම මේ රටට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් විශාල පීඩනයක් එල්ල වීමට පුළුවන්.. මොකද සිරකරුවන්ට මෙලෙස සැලකීම කව්රුත් අනුමත කරන්නේ නෑ..."

"මේ සිදුවීම් මාලාවත් සමග බන්ධනාගාරය තුල සිරකරුවන් එකතුවී ආණ්ඩු විරෝධී විරෝධතාවයක නියැලෙන ස්වභාවයක්ද අපට පෙනෙන්නට තියෙනවා... අපි දැන් එහි දර්ශන වෙත යොමු වෙමු..."

"අඩෝ... අපිට බෙහෙත් දීපල්ලා ඩො.. අපි සත්තුද...???"

"ආසියානු ජනාධිපතිගේ පහලයමින් තිබුණු ජනප්‍රියතාවය මේ සමගම තවත් පහලට යන බවයි අපට පේන්නට තිබෙන්නේ..."


**************************************************

ACT 12

අගනුවර තැනක් නොදන්නා ස්ථානයක කාමරයක මේස කොනේ වාඩිවී සිටින ඇමැතිතුමාය. අනිත් කොනේ සිටින්නේ හොඳින් ඇඳ පැළඳගත් සුද්දෙකි..

සුද්දා මද සිනාවක් සහිතව කතාව අරඹයි

"අපි එහෙනම් අන්තිමේදී හමුවුනා.. සතුටයි ඇමතිතුමනි.. ඔබතුමා ගැන ගොඩක් දේවල්.."

ඇමතිතුමා අත ඔසවා ඔහුට බාධා කරයි.. "කරුණාකරලා මට කියන්න තියෙන දේ කෙටියෙන් කියනවද.. මට වෙලාවක් නෑ නාස්ති කරන්න මිස්ටර්.... ම්ම් මොකද්ද ඔයාගේ නම කිව්වේ ??"

"හිහ් හිහ්.. මගේ නම වැඩක් නෑ.. මගේ නම දන්නේ නැති වුනාට මම මොනවද කරන්නේ මට මොනවද කරන්න පුළුවන් කියලා ඇමතිතුමාට දැන් තේරිලා ඇති..මමත් කියන්න තියෙන දෙය කෙටියෙන්ම කියන්නම්.."

"මීට අවුරුද්දකට විතර කලින් අපි ඔබතුමන්ලට ගිවිසුමක් අරගෙන ආවා.. ඉතාමත්ම නිර්ලෝභී හොඳ ප්‍රතිලාභ එක්ක.. ඒත් ඔබතුමන්ගේ ජනාධිපතිතුමා ඒකට විරුද්ධ වුණා.."

"හෝව් හෝව්.. ඒ වගේ ගිවිසුමකට අපි කොහො...."

"පොඩ්ඩක් ඉන්න ඇමතිතුමා !" සුද්දා සෘජුව පවසයි! "දැන් මම කතා කරන්නේ, ඇමතිතුමා අහන් ඉන්න"

"එහෙම්... ඒත් ඔබතුමන්ගේ ජනාධිපතිතුමා ඒකට විරුද්ධ වුණා.. ඊට පස්සේ මම අපි දෙන්නගෙම මිතුරා අතේ ඔබතුමාට නැවතත් වතාවක් ඒ යෝජනාව ඉදිරිපත්කලා.. ඒත් නැවතත් ඔබ ඒක ප්‍රතික්ෂේප කළා.. අන්න ඒ පාර මම ඔබට පණිවිඩයක් එව්වා ඒ ගැන ඔබට පසුතැවෙන්න වෙයි කියලා.. ඔබට ඒ පණිවිඩය දුන්නද ? අපේ ඇඩ්වර්ටයිසින් මිතුරා??"

"නෑ මට ඔහු මුකුත් කිව්වේ නෑ..."

"අයියෝ... ඒක නම් ඔබේ රටේ අවාසනාව.. මොකෝ කලින් ඔබට ඔහු ඒ දේ කිව්වා නම් ඔබේ රටට මෙච්චර විනාසයක් වෙන එක වලක්වගන්න තිබුණා.." සුද්දා දුක්වෙමින් පවසයි.

"හරි කමක් නෑ..දැන් කරන්න දෙයක් නෑ.. දැන් අපි කරන්න තියෙන දේ කරමු.."

"ඔබේ රට මේ වනවිට දරුණු වයිරසයකින් විනාස වෙලා තියෙන්නේ..මිනිස්සු මැරෙනවා බල්ලෝ බළල්ලු වගේ.."

"මේ ලෙඩේ නිසා ඔබේ රටේ ආර්ථිකය වැටිලා.."

"ඔබේ ආණ්ඩුවට මිනිස්සු බනිනවා. ජනතාවට ඔබ කෙරෙහි ප්‍රසාදයක් නැති වෙලා.. ඒ මදිවට අද උදේ සිරකරුවෙක් ඔබේ ආණ්ඩුවට බණින වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය දක්වාම ගිහිල්ලා..හිර ගෙදර හිරකරුවන් කලබල කරනවා.. හිර ගෙදර කැරැල්ලක් ඇති වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ..."

"ඇත්තටම මෙච්චර අවාසනාවන්ත සිදුවීම් ගොඩක් කොහොම මෙච්චර එක පෙලට වෙනවද කියලා මට නම් හිතාගන්න වත් බෑ හහහා අහහ හම්මේ..." සුද්දා මහා හඬින් සිනා සුනේය..

ඇමතිතුමා විමතියෙන් දෑස් දල්වාගෙන බලා සිටියි...

"ඇමතිතුමනි" සුද්දා තමන්ගේ තියුණු දෑස් ඇමතිතුමාගේ දෑස් වෙත කෙලින්ම එල්ල කළේය..

"අද උදේ ඔබ දැක්කේ අර සිරකරුවාගේ වීඩියෝවෙන් කොටසක් පමණයි.. ඒකෙ විකාශය නොවුණු තව කොටසක් අපිට ලැබිලා තියෙනවා.. ඉන්න මම ඔබට පෙන්වන්නම්.."

සුද්දා සිය සාක්කුවෙන් ජංගම දුරකතනයක් එලියට ඇද වීඩියෝවක් ප්ලේ කොට ඇමතිතුමාට පෙන්වයි.

"අපිත් එක්ක හිටපු රැඳවියෝ ගොඩක් මේ ලෙඩේට ගොදුරු වුනා.. එයාලට හරි හමන් පහසුකම් නෑ.. මේවා මේ ආණ්ඩුවේ වැරදි.. අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න..."

"ඒ විතරක් නෙමෙයි.. ලොකු හෙළිදරව්වක් තියෙනවා ඔයාලට කරන්න.. මේ ආණ්ඩුවෙන් වයිරසය මර්ධනය කරන්න කියලා.. අපේ රැඳවියෝ සැහෙන ප්‍රමාණයක් දැනට මරා දැම්මා!!!"

"ඔව් මරා දමලා තියෙන්නේ......"

සිරකරුවාගේ වීඩියෝව දිගටම ප්ලේ වුණත් සුද්දා එය නවත්වා දුරකථනය නැවතත් සාක්කුවට දමා ගනී.

"අයිසේ.. අයිසේ මේක බොරුවක් නේ?? අපි කොහෙවත් මිනිස්සු මරල නෑ!!!"

"ඒක හරි ඇමතිතුමා.. ඒත් එක දන්නේ ඔබ විතරයි.. නමුත් අවසානවට ඔබේ ආණ්ඩුවට මිනිස් අයිතිවාසිකම් පැත්තෙන් එච්චර හොඳ ප්‍රතිරූපයක් නෑ.. අනික අද උදේ හිරකරුවගේ වීඩියෝ එකත් සමගම දැන් ඔබලා කොහොමත් ජාත්‍යන්තර අවධානයට යොමු වෙලා තියෙන්නේ..."

"මේ කලබල අස්සේ.. මේ මිනිස්සු මරණ වීඩියෝ එකත් ජාත්‍යන්තර මාධ්‍යට නිකුත් වුනොත්.. අනේ මන්දා, ඔබලා කැමතිද එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් කමිටුව පැත්තෙනුත් තව පරීක්ෂණයක් මේ මොහොතේ ඔලුව උඩට කඩා පාත් වෙනවට??? හහ් හහ්.."

"ඔබලාගේ චන්දෙටත් තව මාස කීපයයි නේද තියෙන්නේ...හ්ම්ම්???" සුද්දා පවසයි.. 

කෘෂිකර්ම ඇමතිතුමා ලොකු සුසුමක් හෙලයි...

"දැන් තමුසේ මොකද්ද කියන්නේ අපිට??"

"අපි කියන්නේ මෙච්චරයි.. අපිට පුළුවන් මේ ඔක්කොම ප්‍රශ්න ටික ඔබට විසඳලා දෙන්න.. "

"ඔබ දන්නවා මේ වන විටත් අපේ විද්‍යාඥයින් මේ ලෙඩේට වැක්සින් එකක් ගැන හොයමින් ඉන්නේ.. කව්ද දන්නේ. සමහර විට ඒක හෙට අනිද්දා වෙනකොට හොයාගන්නත් පුළුවන්... හෙහ් හෙහ්.." සුද්දා කපටි හිනාවක් දමයි..

"අයිසේ තමුසෙලා..."

"අපි හිතමුකෝ ඇමතිතුමා අපේ විද්‍යාඥයෝ මේකට වැක්සින් එක හොයාගත්තා කියලා.. එහෙම වුනොත් ඒ සඳහා යන සියලුම වියදම් අපි විසින් දරලා ඔබට ආධාරයක් වශයෙන් අපි ඒ වැඩ ටික ඔක්කොම කරලා දෙනවා.. අපේ මෙඩික්ස්ලා දාලා ඔබේ රටේ සියලුම රෝගීන්ට වැක්සින් එක ලබාදෙන වැඩේ අපි කරලා බලාගන්නම්.."

"ඒ විතරක් නෙමෙයි.. දැන් වැටිලා තියෙන ඔබේ ජනාධිපතිගේ කැම්පේන් එක නගා සිටුවන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සියල්ල අපි ලබා දෙන්නම්.. අපේ කෙලින් සම්බන්දයක් නැතුව , ලෝකේ පුරා තියෙන සල්ලි කිසිම සටහනක් නැතුව ඔබලාට ලැබෙයි.. අපි ඒවා ආපහු බලාපොරොත්තු වෙන්නේ නෑ.."

"එතනින් එහාට ගිහිං සල්ලි විතරක් නෙමෙයි , අපි ඔබට අපේ රටේ තියෙන ඉහලම විශ්ලේෂණ ඒජන්සි වල සහය ලබාදෙනවා මේ වැටිච්ච ජනප්‍රසාදය ඔබේ පැත්තට කරකවාගන්න උදව් වෙන්න.. කොහොමත් අපි ඔබේ රටේ දත්ත කාලයක් ඉඳන් විශේලේෂණය කරලා තියෙන්න. ඒ නිසා ඒවායේ නිරවද්‍ය තාවය ගැන බය වෙන්න එපා.."

"මේ ඔක්කොම දීලා ඔබේ ලොක්කව , ඒ කිව්වේ වත්මන් ජනාධිපතිතුමාව දෙවෙනි වරටත් දිනවන වගකීම මම පෞද්ගලිකව භාර ගන්නවා.." ප්‍රසන්න සිනාවකින් සුද්දා කතාව අවසන් කරයි...

ඇමතිතුමා නැවතත් දිග සුසුමක් හෙලයි...

"ඒ වෙනුවෙන් අපි ඔබෙන් බලාපොරොත්තු වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..." සුද්දා අසුනෙන් නැගිටමින් පවසයි..

"කලින් ෆයිල් එක විසික් කරපු නිසා ඔන්න මම අලුත් එකක් ප්‍රින්ට් කරගෙන ආවා..." ෆයිල් කවරයක් ඇමතිතුමා වෙත තල්ලු කරමින් සුද්දා කාමරයෙන් පිටව යයි...

**************************************************

Final Act

"සර්.. අපි හිතපු විදියට ඔක්කොම වුනා... අපේ යාළුවා පණිවිඩය හරියටම දීලා.. එයාලාගේ ජනාධිපතිතුමා අන්තිමට එකඟ වෙලා ගිවිසුම අත්සන් කරන්න.. සුභ පැතුම් සර්!"

"හ්ම්ම්.. ඉස්තුති ඩග්... මේක අපිට ලේසි වැඩක් වුණේ නෑ.. ඒත් අන්තිමට අපි ජයගත්තා , නේද..?"

"ඔව් සර්.."

"ඩග් කොහොමද අපේ රටේ තත්වේ ? වැක්සින් එක අපේ මිනිස්සු අතර හොඳින් යනවද ?"

"ඔව් සර්.. මේ වනවිට අපි සෞඛ්‍ය රක්ෂණයක් නැති අයට පවා හදිසි අරමුදලෙන් වියදම් කරලා වැක්සින් එක ලබා දෙමින් යන්නේ.. තත්වය අන්ඩර් කන්ට්‍රෝල් සර්... නමුත් සර්... උප ජනාධිපතිතුමාගේ..."

ජනාධිපතිතුමා අත ඔසවමින් ඩග් නවත්වයි. "ඔයාට දැන් යන්න පුළුවන් ඩග්.."

"හොඳමයි සර්.."

"සින්ඩි.. මට උප ජනාධිපතිතුමාව අරන් දෙන්න ලයින් එකට.."

"හොඳමයි සර්..."

"බීප් බීප්.. බීප් බීප්..."

"හෙ..හෙලෝ..."

"ජෝන්... මට හරිම කණගාටුයි ලීසා ගැන....."

**THE END**

- රකිත චන්දුල ගැබදාස-

Inspired by House of Cards , Corona and my own sick mind.


Tuesday, February 25, 2020

හුස්ම

මම සාමාන්‍යයෙන් හෙන සද්දෙට හුස්ම ගන්නවා. විශේෂයෙන්ම ෆර්ස්ට් එකේ සෙකන්ඩ් එකේ දාලා කන්දක් වගේ අදිනකොට. මගේ හුස්ම එතරම් බර මගේ පපුවේ නුඹ ඉන්නා නිසාවත් මොන හුත්තක් වත් හින්දා නෙමෙයි , මම හිතන්නේ ඒ මම උපන්දා සිට බතලයෙක් වෙච්ච නිසා සහ ජෙනරලි Unhealthy පොරක් වීම නිසා වෙන්න ඕනේ. කොහොමහරි මගේ මේ ගැබුරු හුස්ම අද ඊයක ආපු එකක් නෙමෙයි මම මතක ඇති කාලෙක ඉඳන් එහෙම තමයි. කොටින්ම මම වැඩපලේ පඩි නගිද්දී මම එන්න කලින් කොල්ලෝ දැනගන්නවා මං එනවා කියලා. අර රෙස්ලින් මැච් වල මිනිහා එන්න කලින් සින්දුව දානවා වගේ මං එන්න කලින් කම්මලේ මයිනහම අදිනවා වගේ ඇහෙනවා මම හුස්ම ගන්න සද්දේ! සිරාවට හුත්තෝ මම නිකන් ඇදුම හැදිච්ච darth vader වගේ වෙලාවකට 😩

මිනිස්සු ජීවත් වෙලා ඉන්නේ හුස්ම ගැනිල්ල නිසා වුණත් මගේ මේ ගොරෝද්දේ හුස්ම ගැනිල්ල නිසා අද මම තව පොඩ්ඩෙන් මැරුම් කනවා.

අපේ ගෙවල් ළඟ තියෙනවා පොඩි ෂෝර්ට් කට් පාරක්. ඒක ගෙවල් සෙට් එකක් මැද්දෙන් වැටිච්ච හෙනම පටු පාරක්. වටේටම තාප්ප වලින් වට වෙලා නිකන් වංක ගිරියක පාරක් වගේ හෙන පාලුයි මූසලයි. ඔන්න ඉතින් ඔය පාරේ අද මම එනවා , හවස් වෙලා, එක අතක මහරගමින් ගත්ත ඉස්සෝ වඩේ පාර්සලෙකුත් එල්ලගෙන. කෙල්ලෙකුත් යනවා මට පොඩ්ඩක් ඉස්සරහින්, කුඩේකුත් ඉහලගෙන. පාරේ පොඩි කන්දක් වගේ නැග්මකුත් තියෙන නිසා මමත් ඔන්න දුම දාගෙන “හෝස් හෝස්” ගාගෙන කන්ද නගිනවා වාෂ්ප ඇන්ජිමක් වගේ! ඔන්න ටික ටික දැන් මම අර කෙල්ලට ලං වෙනවා.. මම මහගිරි දඹේ නගින පුල්ලි ගොනා වගේ සෙම දාගෙන කන්ද අදිනකොට අප්පට සිරි , මේකි එක පාරටම දඩස් ගාලා හැරිලා බැලුවේ නැතැයි පිටිපස්ස !

මම කොහොමත් සෑහෙන්න වේගෙන් තමයි ඇවිදින්නේ සාමාන්‍යයෙන්. ඉතින් හිතහන්කෝ , මම කුළු මීමා වගේ කෙළගෙන , හුම්මානේ වතුර ගහන්න වගේ “හූස් හූස්” ගාලා ගොරෝද්දේ ඇද ඇද , මී හරකා චිත්‍ර පටියේ ලින්ටන් සේමගේ වගේ අරකිගේ දිහාවට සීග්‍රයෙන් සේන්දු වෙනකොට ඒ අසරණීට කොහොම දැනෙන්න ඇත්ද?? ගොඩ්සිලා පස්සෙන් එලෝනවා වගේ තමයි ආයේ ඉතිං !

මේකි ඒකට බය වෙච්ච පාරට කුඩේ එහෙම්ම විසික් කරලා... “බචාවෝ බචාවෝ...” කියාගෙන කෑගහලා දුවලා , මමත් එක පාරට කොන්ෆියුස් වෙලා පස්සේ සීන් එක මීටර් වෙලා මේකිගේ පස්සෙන් ඒත් හති හල හලම දුවන ගමන් “අනේ නම්කි නවතින්න.. මම අපචාරකාරයෙක් නෙමෙයි.. මට ස්වාසනාබාදයක් තියෙනවා ඕයි...” කියාගෙන දුවලා හෙන ගිණි විජ්ජුම්බරයක් වෙන්න කලින් මගේ වෙලාවටම ඒ වෙලාවේ පාරේ එහා පැත්තෙන් මතු වුනා මගේ හිත මිතුරු දනුෂ්ක අයියා 😌

අයියා මාත් එක්ක කතා කරන්න සෙට් වෙච්ච නිසා අර අනතුර එහෙම්ම පහව ගියා.. කෙල්ලටත් මීටර් වුනා මම මේ අසරණ ගම් වැසියෙක් කියලා..

වෙලාවට අයියා ආවේ.. නැත්තම් මට අර කෙල්ලගෙන් කුඩ පාරක් කාලා ඒකිගේ තාත්තගෙන් මන්න පාරකුත් කාලා තමයි මහරගමින් ගෙනාපු ඉස්සෝ වඩේ ටික කන්න වෙන්නේ !

cardio කරන්න ඕනේ හුත්තෝ..



අහිමි වීම්

දෑස නුඹටත් නින්ද නැති වුණෙ
ඈව හමුවුණු දවසෙ ඉඳලයි

දෙතොල නුඹටත් පිස්සු හැදුනේ
ඇගේ තොල් සිප ගත්ත දිනමයි

බොක්ක නුඹටත් ලිමිට් පැන්නේ
මා දමා ඈ ගියපු දිනමයි

වැස්ස නුඹටත් හුජ්ජ බර වුණෙ
කුඩේ අමතක වෙච්ච දිනමයි!


Conway the machine


මුලින්ම කියන්න ඕනේ මම එහෙම හාර්ඩ්කොර් හිපොප් රසිකයෙක් නෙමෙයි. මම හරියට හිපොප් අහන්න අරන් තාම අවුරුද්දක් දෙකක් වගේ ඇති. spotify එකේ ඔහේ හිපොප් සින්දු අහගෙන යනකොට යනකොට මගේ හිතට වැදිච්ච රැපර් කෙනෙක් තමයි Conway කියන්නේ. මිනිහාගේ සින්දු ආසාවට playlist කරන් ඇහුවට අද තමයි මම ජීවිතේ පලවෙනි පාරට මිනිහව දැක්කේ ! දැකපු ගමන් මිනිහගේ කටේ මොකක් හරි අමුත්තක් තේරුනත් මම හිතුවේ අර ගොඩක් රැපර්ස් ලා වගේ මූ මේ පඩ ෂෝ එකට කට ඇද කරගෙන ඉන්නවා ඇති කියලා. ඒත් බලං ගියාම ඔහුගේ කටේ මේ අමුත්තට හේතුව , ඔහුගේ හිසට වෙඩි පහරක් වැදීම නිසා මූණේ කොටසක් පැරලයිස් වීම !

මම ජීවිතේට ආබාධ අගහිගකම් නිසා කලාකරුවෙකුට ආස වෙන හිරු ස්ටාර් ජාතියේ රසිකයෙක් නෙමෙයි. මම මූට ආස වුණේ අද මූව දකින්නත් කලින්. ඒත් මේ සීන් එක දැනගත්තට පස්සේ මං තවත් මුට ලව් 💓.

Conway ගේ සුපිරි වර්ස් එකක් මෙතනින් බලාගන්න පුළුවන් 



( ඔය ක්ලිප් එකේ ඉන්න west side gunn , benny the butcher කියන්නෙත් මම ආසම බුවාලා දෙන්නෙක්, උන්ගේ සින්දු වල තියෙන බීට් එහෙම හෙන අමුතුයි. සමහර ඒවායේ නිකන් low-fi රොක් ලයින් එකක් යන්නේ. අහලා බලන්න blvk tar කියන සින්දුව එහෙම මගේ ආසම එකක් )


Monday, February 24, 2020

කෝපාග්නිය 1 : පෙට්‍රල්

අද උදේ පාන්දර පාරට බැස්ස වෙලාවේ ඉඳලම දිගටම සෙට් වුණේ වලිම නිසා මගේ වලි ඉතිහාසය ගැන අද ලියන්න හිතුනා. මගේ වලි ඉතිහාසේ හැබැයි එහෙම ලොකුවට ලියන්න දෙයක් නෑ මොකෝ මම සාමාන්‍යයෙන් වැඩිය වලි දාගන්න යන්නේ නැති නිසා. කොටින්ම මම ඉස්කෝලේ යන කාලෙත් කිසිම වලියකට මූල බීජය වෙලා නෑ ( වෙන එවුන්ගේ රෙද්දවල් වලට ගිහිං නම් අම්බානට ගුටි කාලා තියෙනවා , ඒවා ඉස්සරහට කියන්නම් ). හැබැයි මගේ ප්‍රධානම චරිත ලක්ෂණයක් තමයි මගේ අධික කෝපය. කොන්ට්‍රෝල් කර ගත නොහැකි කෝපය. සහ මම කට වහගෙන ඉන්නේ නැති එක. ඉතින් ඔය හේතු නිසා මම යන යන තැන් වල පොඩි පොඩි වලි පුලිඟු ඇති කරගන්නවා වැඩියි. හැබැයි ගොඩක් සනික කෝපය තියෙන එවුන්ට වගේ මටත් ඒ කෝපය ලොකු වෙලාවක් අල්ලලා හිටින්නේ නෑ. ගොඩක් වෙලාවට විනාඩි පහක් වගේ ඇතුලත මගේ මල සමනය වෙනවා. මම හිතන්නේ මං දාගන්න කේස් කවදාවත් දුර දිග යන්නේ නැත්තෙත් ඒකයි. ගොඩක් වෙලාවට මගේ මල සමනය වුනාම මම ගහපු බැනපු එවුන්ගෙනුත් මම ම පස්සෙන් ගිහිං සමාව ඉල්ලලා තමයි වැඩේ අහවර වෙන්නේ. ඒක නිසා වයිර බැඳගන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි පුතෝ මට මල පැන්නම නම් ඒ වෙලාවට මගේ මොලේ කෙලින්ම ඕෆ් වෙනවා ! තනිකර සතෙක් වගේ තමයි ඒ වෙලාවට හැසිරෙන්නේ. 

මමත් ඉතින් රහත් වෙලා නෑ නේ. කැරීම ego එකක් සහ මහන්තත්තයක් තියෙනවා මට.ඉතින් මගේ මල ඉතිහාසයෙන් ගූ පොදක් අද  මම කියන්නම්.

ඔන්න එක දවසක් උදේ මම කැම්පස් යන්න පිටත් වුණා. මගේ කලින් කතා වලත් කිව්වා වගේ ඒ කාලේ මගේ නිල වාහනය වුණේ තාත්තා මට අරන් දීපු සුසුකි dr125 ට්‍රේල් බයික් එක. (බයික් එකේ කරපු තව වීරක්‍රියාවක් කලින් ලිව්වා ඒක පලවෙනි කොමෙන්ට් එකේ දාන්නම් කැමති අයට කියවන්න). එදා කොහොමහරි කැම්පස් එකේ උදේම ප්‍රසන්ටේෂන් එකක් තිබ්බ දවසක්. දන්නවනේ ඉතින් අපේ වැඩ, අන්තිම මොහොතේ තමයි ඕකට යන්න ගෙදරින් පිටත් වුණේ. පරක්කු වෙලා තිබ්බ නිසා ඔන්න ගිනි පුක් මෝඩ් එක ඔන් කරගෙනම තමයි බයික් එක පාරට දැම්මේ. ගමන් පටන් අරන් වැඩි දුරක් යන්න කලින් තෙල් තත්වේ පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ නිසා කලබලේම ගෙවල් ළඟ ෂෙඩ් එකට ඇල්ලුවා බයික් එක. 

එතැනදී මගේ අතින් ඇත්තටම පොඩි බලු වැඩක් වුණා. කලබලේ නිසා මම බයික් එක ෂෙඩ් එකට දැම්මේ මට ඉස්සරහින් ගියපු බස් එකක් ඕවර්ටෙක් කරලා සනිකව ඌව කපාගෙන ! මට ඩ්‍රයිවින් කියා දීපු අපේ තාත්තා මම L බෝර්ඩ් කාලේ මට අම්බානට බැනලා තියෙනවා ඔහොම පාරේ යනවට. කොහෙද ඉතින් කලබල අල්ලපනල්ලේ මටත් ඒක වැඩි ගානක් නැතුව ගිහිං , තනිකර ඈස්හෝල් විදියට තමයි මම බයික් එක පාර හරහා දැම්මේ. මම දාපු විදිය ගැන අදහසක් ගන්න මේ පහල රූප සටහන බලන්නකෝ.



( බලහන්කො ඉතින් මේ වගේම රූප සටහනක් ඇඳලා මේ වගේ පාරේ යන එවුන්ට මම කලින් දවසක බැන්නා , ඒ වුණාට මොකෝ බලන් ගියාම මමත් වැඩි වෙනසක් නෑ :P )

කොහොමහරි ඉතින් ඔන්න මම දැන් බයික් එක මේ  ආකාරයට ෂෙඩ් එකට අල්ලලා ඔන්න පෝලිමේ ඉන්නවා තෙල් ගහගන්න. ටිකක් දිග පෝලිමකුත් තිබ්බා. මට සිරාවටම හාන් කවිසයක ගානක් නෑ මම අර දාපු කැරි දැමිල්ල ගැන. ඔහොම පෝලිමේ ඉන්නකොට මෙන්න එක පාරටම කොහෙන්ද මන්දා එකෙක් ඇවිත්..

"මොකද්ද හු*% අර දාපු දැමිල්ල???" කියලා මගේ ලඟට ඇවිත් බෙරිහන් දීපි !

"කොහෙද හු%$ගේ පුතෝ දැම්මේ... අම්මට හු*%^$ උඹේ.."

"තව පොඩ්ඩෙන් හැප්පෙනවා.."

"මැරෙන්නද ප% හදන්නේ???"

"වේ%$ගේ පුතා.."

බලනකොට බස් එකේ කොන්දා බස් එක නවත්තලා බැහැලා ඇවිත් මට බනින්නම. මූ දැන් අපේ අම්මා මතක් කර කරම මට බනිනවා. 

හරි දැන් උඹලා හින්දි ෆිල්ම් , දෙමල ෆිල්ම් එහෙම බලලා තියෙනවනම් ඔන්න මේ අවස්ථාවේදී තමයි සන්සුන් වීරයාට මල පනින්නේ , හා නැද්ද ? ඒ කිව්වේ ඔක්කොම බැනුම් සන්සුන්ව අහගෙන ඉඳලා අම්මව මතක් කලාම එක පාරට රජිනි කාන්ත් වගේ ෆෝර්ම් වෙලා වීරයා දුෂ්ටයාට ගහනවා. ඕකනේ සාමාන්‍යයෙන් කතා වල වෙන්නේ ? හැබැයි පුතේ මේ කතාවේ මට එහෙම මල පැන්නේ නෑ අරූ අච්චර අම්මා මතක් කර කර මට බනිද්දීත්. මොකෝ වැරැද්ද මගේ නේ..

මම සිරාවටම වැරදි දෙයක් කලේ අර විදියට පාර හරහා දාලා. ඉතින් මට වැරැද්ද කරලා තව කියවන්නත් බෑ නේ. ඉතින් එක නිසා කොන්දා මට එච්චර අම්මා මතක් කරද්දීත් මම කට වහන් හිටියා අව්ලක් නෑ මගේ නේ වැරැද්ද කියලා.

ඒ ඔක්කොමත් හරි. ඔන්න දැන් මූ මට අම්මා මතක් කරලා බැනලා බැනලා ඉවර වුණා. ඉවර වෙලා මූ අහනවා..

"මොකද උඹ බලන්නේ?? මොකද උඹ බලන්නේ ආ කැ%යා ????" කියලා !

ඔන්න හරියටම ඒ මොහොතේ තමයි පින්වතුනි පින්වත් ගැබා පුතණුවන්ට මුගේ අම්මට හුකවන්න තරම් මලක් ආවේස වුණේ !!!

වෙන මොකක්වත් හින්දා නෙමෙයි , මේ පරයා යකෝ මට සද්දේ දැම්මේ අපේම ගෙවල් පහල ඉඳන් !මගේ ප්‍රාන්තේ ඉඳන් ! වටේම තියෙන්නේ මගේ යාලුවන්ගේ කඩ , අඳුරන මිනිස්සු හැමතැනම ! ඒ මොක නැතත් ඌ මට ගහලා ගියත් උට මාව  හොයාගන්න බෑ , හැබැයි බස් ස්ටෑන්ඩ් එකට ගියා නම් මට ඌව හොයාගන්න පුළුවන් ! ඒ නැතත් ඌ දවසට හතර පස් පාරක් අපේ ප්‍රාන්තේ හරහා උගේ බස් එක එලෝගෙන යන්න ඕනේ ! ඒ ඔක්කොම බැලුවම යකෝ මට ඕනේ නම් මුට හුකෝලා මලෝලා මැල්ලුමක් කරලා ගන්න පුළුවන් !

එච්චර තියාගෙනත් මම වැරැද්ද වුණේ මගේ අතින් නිසා, මූ අච්චර අපේ අම්මට බනිද්දීත් කට පියන් , මූ මගෙන් අහනව .... "මොකද බලන්නේ ? මොකද බලන්නේ ?" කියල !
ආයේ ඉතින් වෙන මුකුත් නෑ , දැට්ස් ඉට් මදෆකා කියලා මම ගැහුවා බයික් එකේ ස්ටෑන්ඩ් එක!

ගහලා බිමට බැස්සා. අතේ තිබ්බේ තෙල් ගහන්න ගලෝ ගත්තු මූඩිය ! ආයේ ඉන්දියන් කසි කබල් වගේ නෙමෙයි පුතේ හොඳ ජපන් පරණ යකඩ මූඩියක්. කෙලින්ම මූඩිය අතට අරන් ඒකෙන්ම කෙලලා ඇරියා කැරියගේ හොම්බටම ! 

මම මෙච්චර වෙලා කට වහන් හිටපු නිසා එක පාරටම ආපු ප්‍රහාරය පොරව සර්ප්‍රයිස් කළා. මමත් ඉතින් එතනින් නොනැවතී කොන්දට කෙළගෙන කෙළගෙන ගියා! මූත් දැන් මට ගහනවා ! හැබැයි පට්ට ආතල් එක කියන්නේ මම ඉන්නේ ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙන නේ .. ඉතින් ඌ ගහන ඒවා වැදෙන්නේ මට නෙමෙයි හෙල්මට් එකට ! උටම තමයි ඒකෙනුත් රිදෙන්නේ ( පව් හුත්තෝ 😂 ). කොහොමහරි ඔන්න දැන් අපි දෙන්නම කෙලගන්නවා පූසෝ දෙන්නෙක් වගේ.

එතකොටම බස් එකේ ඩ්‍රයිවරුත් බැහැලා ආවා ඒයි ඒයි ගාගෙන. මේ වෙලාව වෙනකොට මගේ අර මරුවා ආවේස වෙලා හිටියේ. ඩ්‍රයිවර් නෙමෙයි බස් එකේම උන් බැහැලා ආවත් මුන්ව මරාගෙන මැරෙන මෝඩ් එකේ තමයි මම හිටියේ. එතකොටම හැබැයි ෂෙඩ් එකේ මැනේජරුයි තව වැඩ කරන එවුන් ටිකකුයි ඇවිත් වලිය බ්රේක් අප් කළා.. ( මගෙත් වෙලාවට , මොරාල් එකට ඔක්කොටොම ගහන්න ගියාට මොකෝ මම බ්රූස් ලී යෑ :P )

"ඒ ඒ  අපේ කස්ටමර්ස්ලට කරදර කරන්න එපා.. යනවා යනවා" කියලා ඔන්න දැන් ෂෙඩ් එකේ උනුත් මගේ පැත්ත අරගෙන. ඩ්‍රයිවර්ටයි කොන්දටයි කරන්න දෙයක් නෑ දැන්. උන් දෙන්නා පසු බැස්සා.

හැම කතාවේම වීරයා දුෂ්ටයන්ට නිකන් ගහලා විතරක් එන්නේ නෑ නේ. පන්ච් ලයින් එකක් දීලා පොඩි ඇඩ් එකකුත් දීලා තමයි බැස්ටිය නිමා කරන්නේ. රජිනි කාන්ත් වුණත් එහෙම නේ. ඔන්න ඔක්කොම දැන් මගේ පැත්තට කැරකෙන වෙලාවේ , මේක තමයි මගේ වෙලාව රඟන්න.

මම කෙලින්ම අර කොන්දා ඉස්සරහටම ගිහිං හිට ගත්තා. ගිහිං මෙච්චර වෙලා මම දාගෙන හිටපු හෙල්මට් එක ගැලෙව්වා. ගලවලා අතින් මගේ මූණ උට පෙන්නලා මෙහෙම කිව්වා

"කැරියා මගේ මූණ බලාගනින්.. මමත් පන්නිපිටියේ තමයි.."

( සභාවෙන් විසිල් පාර සහ ඔල්වරසන් !!! )

ගැම්මට එහෙම කිව්වට මොකෝ මමත් පන්නිපිට්යේ අඳුරන මරුසියෙක් නෑ , මම ඉතින් නර්ඩ් ඩයල් එක නේ. හැබැයි අරූ නම් බය වුනා ඒකට දොබෙන් යන්න :D :D. ඔන්න ඔහොමයි ඒ කතාව ඉවර වුණේ. ගැබා 1 - කොන්දා 0

Sunday, February 23, 2020

සිගරට්

සිගරට් කියන්නේ කොලු ජන ජීවිතය එක්ක තදින්ම බැදිච්ච දෙයක් , එච්චර හොඳ දෙයක් නොවුණට. ගොඩක් පිරිමි ළමයි වස විස වලට අත් පොත් තියන්නේ ඉස්කෝලේ යන කාලේ ගෙදරට හොරෙන් සිගරට් එකක් බීලා තමයි , ගොඩක් වෙලාවට ඒ කුතුහලේට වෙන මොකටවත් වඩා. මම නම් හැබැයි ඉස්කෝලේ යන කාලේ කවදාවත් සිගරට් බීලා නෑ. නිකන් ටෙස්ට් කරන්න එහෙන් මෙහෙන් ඇදලා බැලුවට පුරුද්දක් විදියට සිගරට් බොන්න පටන් ගැනුනේ 2009 වගේ , ඒ ඒ ලෙවල් කරලා ඉවර වෙලා රිසල්ට්ස් එනකල් හිටපු කාලේ.

මට කලින් ගොඩක් දෙනා මේ ගැන ලියලා තියෙනවා ඒ තමයි සිගරට් බොන එක හා බැඳිච්ච වෙනම සංස්කෘතිය ගැන. එකක් දෙකක් කිව්වොත් , සාමාන්‍යයෙන් සිගරට් පැකට් එකක් ගත්තම ඒක කඩපු ගමන්ම කරන්නේ එක සිගරට් එකක් එලියට අරගෙන අනිත් පැත්ත හරවලා ඇතුලට ඔබන එක. ඒකට කියන්නේ "ලකී සිගරට් එක" කියලා , ඒක තමයි අන්තිමට ගහන්නේ. ආයේ තව ගොඩක් අය අතර තියෙන පුරුද්දක් තමයි එක ගිණි කූරෙන් සිගරට් තුනක් පත්තු නොකරන එක. ඒක අසුභයි කියලා තමයි කියන්නේ. ඔය තුන පත්තු නොකිරීම කියන චාරිත්‍රය දේව වචනයක් වගේ රකින කොල්ලෝ ඉන්නවා දුම් ගැන්සි වල. "හෝව් හෝව් තුන තුන ඕයි.." කියාගෙන කෑගහගෙන පැනලා ගිනි කූර නිවලා , තුන් වෙනි සාපෙන් කොල්ලෝ බේරගන්න ලයිෆ් ගාර්ඩ් ලා ඉන්නවා :). මේ තුන පත්තු නොකිරීමේ පුරාණ චාරිත්‍රය ආවේ කොහොමද කියලා කව්රුත් හරියට දන්නේ නැති වුණත් , මම අහපු එක කතාවක හැටියට නම් මේක ඇවිත් තියෙන්නේ යුද්ධ කාලේ සොල්දාදුවෝ තුන් දෙනෙක් සිගරට් එකක් බොන්න ගිහිං තුන් වෙනියට සිගරට් එක පත්තු කරන්න ගිය සොල්දාදුවාට අර ගිනි කූරු එලිය අල්ලලා ස්නයිපර් පාරක් වැදිච්ච නිසා.

ගොඩක් ආයතන වල සිගරට් බොන්න කට්ටිය සෙට් වෙන වෙනම විශේෂ ස්පොට් එකක් තියෙනවා නේ. මම ගියපු කොළඹ කැම්පස් එකේ විද්‍යා පීඨයේ සිගරට් බොන තැනට කිව්වේ දුම් කාමරේ කියලා. ඒකට උඩ බැච් එකේ අයියලා දාල තිබ්බ නම තමයි "ශිෂ්‍ය බට සංගමය" :D. මෙන්තොල් සිගරට් එන්න කලින් ගෝල්ලීප් එකේ සිද්ධාලේප ගාලා අපිම හදාගත්තු මෙන්තොල් සිගරට් පානය කිරීම වැනි වැදගත් විද්‍යාත්මක පරීක්ෂණ මමයි නානයි අකමුකයි සෙට් වෙලා කලේ ඔය දුම් කාමරේ තමයි. මට නම් දුම්පානය කිරීමේ ලස්සනම දේ තමයි දුම් බොන්න සෙට් වෙලාම අඳුරගන්න මිනිස්සු ටික ! ගොඩක් වෙලාවට අපි යාළුවො කියලා ආස්රේ කරන්නේ අපිට ටිකක් සමාන ගති තියෙන එවුන් නේ. හැබැයි සිගරට් බොන්න ගියාම එහෙම නෑ , නානා ප්‍රකාර එක එක සමාජ ස්තර වල බාල මහලු එක එක විදියේ පොරවල් සෙට් වෙනවා. එහෙම සෙට් වෙලා එක එක ටොපික් කතා කරන්න සෙට් වෙනවා. කොහොමත් දුම් බොද්දි මිනිස්සු ටිකක් relax වෙන නිසා එතන මැවෙන්නේ වෙනම සමාගමයක්. දැන්නම් මම වැඩිය කතා බහට අකමැති වුණාට නාබර තරුණ කාලේ මම ඔය දුම් සහෝදරත්වයට මාර ලව්. එහෙම දුම් බොන්න ගිහිං අඳුනගත්ත සමහර චරිත අදටත් යාළුවො. කැම්පස් යන කාලේ එහෙම අඳුන ගත්ත එකෙක් තමයි අල්ලපු ෆැකල්ටියේ කැසිල්ලා. උගෙයි මගෙයි මිත්‍රත්වයේ පදනම වුණේ ගොල්ලීප් එක. තව ඔය වගේ දුම් බොන්න ගිහිල්ලම මිතුරු වෙච්ච stranger කෙනෙක් හිටියා අපේ ගෙවල් ළඟ. මම ඉස්සර වැඩ ඇරිලා එනගමන් අනිවා මානෙල් එකට ( දැන් පන්නිපිටියේ කීල්ස් එක තියෙන තැන ) ගිහිං බටයක් ගහලා තමයි ගෙදර යන්නේ. ගොඩක් වෙලාවට මම මානෙල් එකට යන්නේ හවස 6ට වගේ , ඉස්සර ඒ වෙලාවටම එතනට එනවා ළඟ කඩේක වැඩ කරන වයසක අංකල් කෙනෙක්. අංකල්ට මගේ වයසේ ළමයිනුත් ඉන්නවා ඒත් මං එයාට කිවේ අයියා කියලා. අපි දෙන්න අඳුන ගත්තෙම එක වෙලාවට සිගරට් බොන්න ඇවිත් මිස වෙන මොකක් වත් නිසා නෙමෙයි. හැමදාම ඉතින් සිගරට් එක ගහන ගමන් පවුල් වල විස්තර , රටේ තොටේ විස්තර ඔක්කොම කතා වෙනවා අපි දෙන්නා. ඒවා හරි අමුතු මිත්‍රත්ව. NIBM එක ළඟ රන්ජි කඩේ සහ ආමි කඩේ , රහීමා එක, වැල්ලවත්තේ බොස් කඩේ ඇතුළු තව ගොඩක් තැන් වල ඔය වගේ දුම් මතක රැඳිලා තියෙනවා.

සිගරට් ගැන කියනකොට මට මුලින්ම මතක් වෙන තව කෙනෙක් තමයි මගේ තාත්තා. තාත්තා නම් සිරාවටම පුදුම සිගරට් බීමක් බිව්වේ ඉස්සර. දැන් නම් අඩු කරලා දවසට තුනයි බොන්නේ. ඉස්සර නම් පැකට් තුනක් හරි දුන්නොත් බොයි :P. සිගරට් ගැන එක එක විහිලුත් ඉස්සර තාත්තා කියනවා. මට මතකයි එක සැරයක් කව්රු හරි කිව්ව "සිගරට් බ්ව්වම පිළිකා හැදෙනවා ඔය පැකට් එකෙත් ගහලා තියෙන්නේ" කියලා. ඒත් අපේ තාත්තට අනුව නම් පැකට් එකේ ගහලා තියෙන්නේ "සිගරට් බීම පිළිකා ඇති කල හැක" කියලා , අනිවා "ඇති වෙනවා" කියලා නෙමෙයි. ඒ නිසා ඒක වෙන්නත් හැක , නොවෙන්නත් හැක කියලා අපේ තාත්තා හැක හැක ගාලා හිනා වෙනවා ඉස්සර :D. තව ඔය වගේ ෆේමස් ජෝක් එකක් තියෙනවා ඒක නම් කිව්වේ තාත්තා නෙමෙයි මම ගියපු කොමර්ස් ක්ලාස් එකේ මිස්. ඉස්සර සිගරට් පැකට් වල ගහලා තිබ්බලු "පා. ආ. ප" කියලා. ඒ කියන්නේ "පාරිභෝගික ආරක්ෂක පනත" කියන එක ලු. ඒත් මිනිස්සු ඒක අර්ථ දැක්වුවේ "පානය. ආහාරයට. පසුව" කියලලු , කැරි ජෝක් එක යකෝ ඒක මට අදටත් මතක් වෙනකොට හිනා යනවා :D

තාත්තගෙයි මගෙයි බේබදු අතීතය ගැන වෙනම පොතක් ලියන්න පුළුවන් වුණත් අපි දෙන්නා මුලින්ම සිගරට් එකක් ගහපු දවස විතරක් අදට කියන්නම්. ඔන්න අපේ යාළුවො සෙට් එක දවසක් ට්‍රිප් එකක් ගියා අපේ වත්තට , ඒ කාලේ තාත්තට තිබ්බ මිට්සුබිශී 4dr5 ජීප් එකේ අපි දහයක් විතර පැක් වෙලා ගියේ. ( ඒ ට්‍රිප් එක තමයි මගේ ජීවිතේ ගිය එපික්ම ට්‍රිප් එක , ඒක ගැන පස්සේ ලියන්නම්කො ). මම තමයි එදා ඩ්‍රයිවර් ජොබ් එක කලේ. තාත්තා ඉස්සරහ සීට් එකේ, කොල්ලෝ ටික පිටිපස්සේ. අපේ තාත්තා කොල්ලන්ටත් වඩා ආතල් ඩයල් එක. වෙන ළමයි නම් තාත්තලට හොරෙන් නේ බොන්නේ. ඒකට අපේ තාත්තා ගෙදරින් ගමන පටන් ගත්තු ගමන්ම කියපි "අපේ කාලේ නම් පලවෙනි බෝතලේ කඩන්නේ කන්ද උඩමයි" කියලා ! කන්ද උඩ කිව්වේ අපි ඉන්න පාරෙන් ප්‍රධාන පාරට වැටෙන්න දාන පාරට , ගෙදර ඉඳලා මීටර් සීයක් වත් නෑ :P. අපේ එවුනුත් ඉතින් ඒ ගැම්මෙන් තාත්තව ඩිසපොයින්ට් කරන්න බැරි හින්දා පිටිපන ආමි පන්සලට පඬුරු දාලා වැඳලා කරලා අහවර වෙලා ගොඩගමින් බයිට් අරගෙන ජීප් එකේ පිටිපස්සේ තියාගෙන බීම පටන් ගත්තා. කොල්ලෝ ටික පිටිපස්සේ ගහනවා , ඉස්සරහ සීට් එකේ මගේ එහා පැත්තේ ඉඳන් තාත්තත් ගහනවා. බොනවා හිනා වෙනවා , කට්ටියම ෆන් ගන්නවා. මම විතරක් මුන් ඔක්කොම බොන හැටි බල බල ගොන් බිජ්ජා වගේ වාහනේ එලෝනවා හූල්ල හූල්ල. ඔන්න අවිස්සාවේල්ල හරියට විතර එනකොට මගේ රතු කට්ට පැන්නා. ඇයි යකෝ මම ඩ්‍රයිවර් වැඩේ කරන්නයි මුන්ට ආතල් ගන්නයි ඒවා හරියන්නේ නෑ නේ !


ජරාස් ගාලා වාහනේ නැවැත්තුව පාරේ අයිනට කරලා. "බරාස්" ගාලා ඇද්දා හෑන්ඩ් බ්රේක් එක.

"තාත්තේ!"

"මට දෙයක් කියන්න තියෙනවා!"

මම හිතට හයිය අරං සිංහ නාද කළා..

"ආ කියපන් පුතේ.." තාත්තත් ජෝක් ටෝන් එකෙන් කිව්වා. කොල්ලෝ ටිකත් දැන් බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා..

"තාත්තේ මම සිගරට් බොනවා"

තාත්තා "ආ එහෙමද.."

මම "ඔව් තාත්තේ , අරක්කු බිවම විතරයි හැබැයි.."

තාත්තා "ඈ යකෝ ඒ කියන්නේ උඹ අරක්කුත් බොනවද???"

"ඔව් තාත්තේ පාර්ටියකට වගේ ගියාම බොනවා.." මම ඔලුව කස කස කිව්වා

එතකොට තාත්තා අහපි "ආ දැන් උඹට පාර්ටි ද??" කියලා . කොල්ලෝ ඔක්කොම හූ කිය කිය හිනා වුණේ :D

ඊට පස්සේ තාත්තම මට සිගරට් එකක් ඇදලා දුන්නා පත්තු කරගනින් කියලා. එදා තමයි මම තාත්තා ඉස්සරහ පලවෙනි පාරට සිගරට් එකක් බිව්වේ. සිගරට් එක ටිකක් බීලා මම ආයෙත් වාහනේ පාරට දාලා ගමන පටන් ගත්තා , මම බීපු සිගරට් එක තාත්තගේ අතට දුන්නා. මේ වෙනකොට තාත්තටයි අපේ උන්ටයි ලාවට වැදිලා තිබ්බේ. මම බාගෙට ගහපු සිගරට් කොටේ අතට ගත්තු තාත්තා ඒක අදින ගමන් මෙහෙම කිව්වා..

"පුතා ගහපු කොටේ ගහනකොට මාර සනීපයක් තියෙන්නේ..."


මම මේ විහිලුවට නෙමෙයි කියන්නේ , ඒක මාර බොන්ඩින්ග් මෝමන්ට් එකක්. මම හැම කොල්ලටම කියන්නේ , උඹ බොනවානම් , උඹේ තාත්තත් බොනවානම් , දෙන්නම එකට බීලා බලහන් , එක සිගරට් එක ෂෙයාර් කරගෙන බලහන් , ඒකෙ මාරම ආතල් එකක් තියෙන්නේ බං :).

හරි දැන් මාව පොඩ්ඩක් හැගීම්බර වීගෙන එන නිසා නැවතත් පෝස්ට් එකේ මාතෘකාවට එන්නම් කෝ , අපි දැන් කතා කලේ සිගරට් ගැන නේ. ඔය සිගරට් පෙට්ටියෙත් එක එක සෙල්ලම් තියෙනවා. උදාහරෙනකට ගෝල්ලීප් පෙට්ටියේ "hero" කියලා ගහලා තියෙනවා එක තැනක , ඒක සෙවීම, ගෝල්ලීප් පෙට්ටියේ කාන්තා රූපය සෙවීම වගේ. මේ සෙල්ලම් දෙකටම උත්තර මම මේ දාල තියෙන ෆොටෝ දෙක බැලුවානම් පෙනෙයි.




ඊට අමතරව ඉතින් සාක සාර පානය කරන කොල්ලන්ට හිස් ගෝල්ලීප් පෙට්ටියක් කියන්නේ තනිකරම සම්පත් ආකරයක් තමයි. නාබිය කපාගැනීම ඉඳලා පේපර් නැති වෙලාවට කොලයක් ගලවාගැනීම දක්වා සියලුම පහසුකම් හිස් ගෝල්ලීප් පෙට්ටියකින් සලසා ගන්න පුළුවන් නේ. කොළ ගලෝන එක ගැන කිව්වොත් මම ඔය ගෝල්ලීප් පැකට් එකෙන් කොලය ගලවාගැනීමෙහි ලා expert කෙනෙක්. හංසයා දියෙන් කිරි වෙන් කරන්නේ කෙසේද මට ඊට වඩා හොඳට ගෝල්ලීප් එකේ ෆොයිල් කොළයෙන් දුහුල් කොලය වෙන් කරන්න පුළුවන්. ඒක නිසා හුදී ජන පහන් සංවේගය තකා මගේ කොළ ගලවා ගැනීමේ technique එකත් මෙතන කියන්නම්. මේක ඉතින් මම තනියම හොයාගත්ත එකක් නෙමෙයි සමාජෙන් තමයි මමත් අහුලා ගත්තේ.

පියවර 1: ගෝල්ලීප් පෙට්ටියේ කොලේ තමයි ගලවන්න ලේසි , ස්විච් පැකට් එකේ වගේ අමාරුයි. එම නිසා ප්‍රථමයෙන්ම ගෝල්ලීප් පැකට් එකක් සොයා ගන්න.

පියවර 2: රත්තරන් පාට කොලය පැකට් එකෙන් ගලවාගන්න. හැබැයි සමහර වෙලාවට ඒක පැකට් එකට පොඩ්ඩක් ඇලිලා වගේ තියෙන්න පුළුවන්. එහෙම වුනොත් ඒක එලියට ගන්නකොට ඉරෙනවා. ඒක නිසා පරිස්සම් වෙන්න.

පියවර 3: කොලය හොඳින් වතුරෙන් තෙමාගන්න.

පියවර 4: මේක තමයි වැදගත්ම පියවර , මේක මට කියා දීපු කොල්ලව මෙතන ටැග් කරන්න බෑ හැබැයි උට බුදු බව අත්වෙනවා මේ කියලා දීපු සිල්පෙට. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි තෙමාගත්ත කොලේ ඉරෙන්නේ නැතුව වෙන් කරගන්න එක. මෙන්න ඒකට ක්‍රමේ. දැන් ඔබ තෙමාගත් කොලය දෙකට නවන්න. ඉන්පසු නැවතත් දෙකට නමන්න. ආයෙත් දෙකට නමන්න. ඔය වගේ කොලය සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයකට එනකන් නවන්න.

පියවර 5: ඉහත නමාගත් කොලය හොඳට මිරිකන්න. මේකෙන් වතුර ඉවත් වෙලා කොලය ඉරීමට ඇති සම්භාවිතාව අඩු වෙනවා, හරි ලේසියි.

පියවර 6: දැන් ඔබට තියෙන්නේ නැවතත් කොලය දිග ඇරගෙන , කොනක් පොඩ්ඩක් පාදාගෙන වෙන් කරගන්න විතරයි. පියවර 4 සහ 5 හරියට කළා නම් මේ වෙනකොට ඕක ගැලවිලා එන්න ඕනේ මලක් වගේ ! ඉන් පසුව සුදුසු heat source එකක් භාවිත කර කොලය වේලාගන්න ඔබට පුළුවන්.

ඔන්න ඕක තමයි ගැබාගේ perfect technique එක , ඊළඟ පාර ට්‍රයි කරලා මට කියන්නකෝ :).

සිගරට් ගැන තියෙන තියරි කිව්වොත් තවත් එක තියරියක් කිව්වා දවසක් මගේ මිතුරු තට්ට ඉශාන් සර්. ඒ තමයි "අන්තිම සිගරට් එක නිසා තමයි කොල්ලෝ මැරෙන්නේ" කියන එක. ඒ කිව්වේ ගොඩක් වෙලාවට කොල්ලෝ බොන්න සෙට් වුනාම සිගරට් මදි වෙලා ගේන්න යනවනේ , කොච්චර ගෙනාවත් සිගරට් කවදාවත් ඇති වෙන්නේ නෑ නේ. අර අපේ කොටා කියනවා වගේ "උඹලා කොහෙවත් අහලා තියෙනවද සිගරට් ඉතුරු වෙලා නරක් වෙලා විසික් කළා කියලා?" නෑ නේ. ඒක නිසා ගොඩක් වෙලාවට හොඳට වැදිලා ඉන්න වෙලාවට තමයි ඔන්න තව සිගරට් ඕනේ වෙන්නේ. ඉස්සර ඉතින් අපිට දැන් වගේ වාහන නෑ නේ , බයික් වල තමයි කොල්ලෝ ගමන. ඉතින් ඒ නිසා ඔය අන්තිම සිගරට් එක ගේන්න ගොඩක් වෙලාවට කොල්ලෙක් යන්නේ බයික් එකක , හොඳට බීලත් එක්ක. ඉතින් ඌ එහෙම ගිහිං එක්කෝ ඇක්සිඩන්ට් වෙන්න , නැත්තම් පොලිසියට අහු වෙන්න , එහෙමත් නැත්තම් කඩේට ගිහිං බීමතේ මොකෙක් එක්ක හරි වලියක් දාගන්න හරි තියෙන චාන්ස් එක වැඩියි. ඒ නිසා තමයි අන්තිම සිගරට් එක මරු කැඳවයි කියලා ඉශානයා කිව්වේ. ඒක හරි කතාව.

දැන් මෙහෙම කියවන්න ගියොත් මේ පෝස්ට් එක ඉවර වෙන්නේ නැති නිසා, මගේ වර්තමාන සිගරට් බීම ගැන කියලා පෝස්ට් එක නිමා කරන්නම්කො. මම ඇත්තටම කවදාවත් චෙන් ස්මෝකර් ලෙවල් එකට සිගරට් බිව්වේ නෑ. වැඩියම බීපු කාලෙත් දවසට ඕනේ නම් 4,5ක් ගහන්න ඇති. බිව්වමනම් හැබැයි ගහනවා පුතේ අම්බානට , ඒ වෙලාවට නම් 100ක් තිබ්බත් බොනවා. හැබැයි සාමාන්‍ය දවස් වලට හතර පහ තමයි උපරිම. ඔය සමහර අයට තියෙන්නේ සිගරට් එකක් නැතුව බොග බාගන්න බැරි කම? මටත් අන්න ඒක තිබ්බා කාලයක්ම. ඒක හැබැයි ඇබ්බැහියකට වඩා ආතල් එකක් වෙලා තිබ්බේ මට. ඒ කිවේ හවසට වැඩ ඇරිලා ගෙදර ඇවිත් , හොඳවයින් ටී එකක් හදාගෙන බීලා , ලැට් එකට ගිහිං දුමක් දාන ගමන් බොග බාන එක දවසේ තියෙන most relaxing moment එක වෙලා තිබ්බේ මට ඉස්සර. ඒක හරියට භාවනාවක් වගේ. කොච්චරද කියනවනම් මම ඔය ගැන කවියකුත් ලිව්වා. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් මම ඇත්තටම නොබොන වෙලාවට සිගරට් බොන එක නැවැත්තුවා. දැන් මම සිගරට් බොන්නේ බොනකොට විතරයි. මට එහෙම කරන්න හිතුනේ වැඩිමනක්ම මගේ දත් ටික අම්බානට සවුත්තු වෙච්ච නිසා කහට බැඳිලා. හැබැයි සිගරට් බොන එක අඩු කලත් හරි දැන්නම් මගේ ඇඟට මාර වෙනසක් දැනෙනවා.

මම සිගරට් බොන කාලේ ගැහුවේ ගෝල්ලීප් විතරයි. කොල්ලෝ කොච්චර ස්විච් බිව්වත් මට ඉස්සර ස්විච් පේන්න බෑ , ස්විච් බොන්නේ පොන්නයෝ කියන එක තමයි මගේ මතය වුණේ :P. ඒත් දැන් මේ සිගරට් බීම අඩු කලාට පස්සේ මට ගෝල්ලීප් බොන්න බැරි වෙලා කියහන්කෝ. දෛවයේ සරදම කියන්නේ දැන් මමත් බොන්නේ ස්විච් විතරයි. මේ ළඟදී නිකන් ආසාවට බීලා බලන්න ගෝල්ලීප් එකක් ගත්තා. පොල් කොලයක් පත්තු කළා වගේ කියහන්කෝ දැනුනේ. බාගයක් බීලා විසික් කළා සිගරට් එක මගේ ජීවිතේ පලවෙනි පාරට :P , ෆිල්ටරෙත් උගුරු දෙක තුනක් ඇදපු බ්‍රිස්ටල් කැප්ටන් විතරක් නෙමෙයි බීඩිත් ගහපු මට වෙච්ච දෙයක් :). හැබැයි ඒක හොඳ දෙයක් විදියට මට නම් හිතෙන්නේ. රෑ හොඳට ගහලා දුම දාලා ගෙදර ආවම පස්සේ දවසේ උදේ දැනෙන්නේ නිකන් පපුවේ මකුළු දැලක් බැඳලා වගේ. ඕක සිගරට් බොන කාලේ තේරුනේ නෑ , දැන් තමයි පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්නේ :). මම හිතන්නේ දැන් මගේ ඇඟ පොඩ්ඩක් හොඳ ළමයෙක් වෙලා.

මගේ සිගරට් වත ඔහොමයි ඉතින්. පෝස්ට් එක අවසාන කරන්න කියන්න තියෙන්නේ මේ පෝස්ට් එක දැම්මේ සිගරට් බොන එක උත්කර්ෂයට නංවන්න වත් සිගරට් බොන්න එපා කියන්නවත් නෙමෙයි. බොනවානම් බීහල්ලා මට පුකද ? හැබැයි එකක් මතක තියාගනිල්ලා , "දුම් බීම පිළිකා ඇති කල ,හැක" :) හැක හැක. අපි ගියා !