Friday, September 20, 2019

හැඳි ගෑරුප්පු වලින් කෑම

හැඳි ගෑරුප්පු වලින් කෑම යනු ලාංකික අපිට විටෙක වදයක් ද විටෙක පඩත්තර කම ප්‍රදර්ශනය කිරීමක් ද වන අපූරු ක්‍රියාවක්.

පෞද්ගලිකව මට නම් තරුණ කාලේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න තිබුනේ පුදුම බයක්! ඒ බය මට විතරක් නෙමෙයි මගේ වයසේ යාළුවො හැමෝටම වගේ තිබුණා. භයානක හැඳි ගෑරුප්පු රාස්සයා සමග මගේ ජීවිතයේ පලවෙනි සටන තිබුනේ මම 12 වසරේ ඉන්න කාලේ. ඒ මගේ අසල්වැසි පාප මිත්‍ර ශාලිතයාගේ අක්කගේ වෙඩිම කොළඹ හෝටලේක පැවැත්වෙනවා කියලා අපිට ආරාධනා ලැබිච්ච දවසේ. බොරු කියන්න ඕනේ නෑ වෙඩිම දවසේ උදේ ඉඳන්ම මම එලබීමට නියමිත හැඳි ගෑරුප්පු හරඹය ගැන සැහෙන්න චකිතයකින් හිටියේ !

සාමාන්‍යයෙන් තරුණ වයසේ කොල්ලෙක්ට වෙඩිමක් කිව්වම ඒ කාලේ ඉතින් වෙඩිම එනකන් නේ බලන් ඉන්නේ නොමිලේම රස කෑමයි අරක්කු ටිකයි කන්න බොන්න. හැබැයි මේ වෙඩිමේ කන්න තියෙන්නේ හැන්දෙන් ගෑරුප්පුවෙන් බවත් අපි හැමෝම එහෙම කෑ යුතු බවත් ශාලිතයා කලින්ම අණ කිරීම නිසා මම මේකෙන් බඩ කට පුරා කෑමේ ආසාව කලින්ම අත ඇරගත්තා.

වෙඩිම දවසේ උදේම අපි උඩ්ඩාලගේ ගෙදරට රැස් වුණේ වෙඩිම කරා පිටත් වෙන්න. එතැනදිත් මම අනිත් උන් එක්ක කියෙව්වෙම මේ හැඳි බිය ගැන! ඒ වෙලාවේ හැබැයි යන්තම් අපේ පිනට පහල වෙච්ච ගැලවුම්කරුවානෙක් වෙච්ච මතගයා අපිට හැන්දෙන් කෑම ගැන පොඩි ක්වික් කුප්පියක් දැම්මා ! මතගයා කියන්නේ අපේ වයසේ කොල්ලෙක් ඌ හැබැයි ඒ කාලේ හොටෙල් ස්කුල් එකේ තමයි ඉගෙන ගත්තේ , ඒ නිසා උට ඔය ශිල්ප සතර ගැන දැනුමක් තිබ්බා. මතගයගේ prep talk , strategy අහලා අපි කුලියට ගත්ත වෑන් එකෙන් වෙඩිමට බැස්සේ හරියට නිකන් අර හොලිවුඩ් ෆිල්ම් වල SWAT ටීම් එකක් ලොක්කගේ කතා අහලා “ඩුග්” ගාලා දොරවල් ඇරගෙන වෑන් එකේ පිටිපස්සෙන් බහිනවා වගේ.

වෙඩිමට ගිහිං ඔන්න අන්තිමට කාලකන්ණි කන මොහොත උදා වුනා , බොහොම අමාරුවෙන් අපි කට්ටියත් “චටුස්” “පුටුස්” හඬින් මෙවලම් හසුරවමින් ප්ලේට් එක උඩ මැරිලා හිටපු කුකුලන්ටයි මාළුන්ටයි පහර දෙන්න පටන් ගත්තා. ඒක බලන්නම දර්ශනේ !

අපි එදා කෑවේ බෑන්ඩ් එක එක සින්දු ගහන වෙලාවට විතරයි . ඒ මොකද කිව්වොත් බෑන්ඩ් එකේ සද්දේ නැති වෙච්ච වෙලාවට අපේ ටේබල් එකේ සද්දේ.. හරියට නිකන් මහභාරතේ ඇස් දෙක වහන් බැලුවා වගේ තමයි , කඩු හෙළි ගැටෙන සද්දේ විතරයි ඇහෙන්නේ.

සමහර වෙලාවට මම මහන්සියෙන් කපාගන්න චිකන් කෑල්ල කන්න හම්බවෙන්නේ එහා පැත්තේ පුටුවේ එකාට , ඇයි මම ගෑරුප්පුවෙන් මිරිකන මිරිකිල්ලට චිකන් කෑල්ල කොස් ඇටයක් වගේ “හුක්” ගාලා ලිස්සලා ගිහිං එහා පැත්තේ ප්ලේට් එකට වැටෙනවා නේ ! එහා පැත්තේ එකත් උඩින් වැටිච්ච මස් කෑල්ල ගැන උඩ බලලා දෙයියන්ට පින් දීලා කන්න ගන්නකොට උට තට්ටුවක් දාලා ඉනට අත් දෙක තියන් ඉන්නවා මම !

ඩෙසර්ට් එක කන්න ගිහිල්ලත් කෙරි ආතල් එකක් සෙට් වුනා මට , ඒ ප්ලේට් එකේ ඉතුරු වෙච්ච අන්තිම ගස්ලබු කොටු කෑල්ල හැන්දෙන් ගන්න ගිහිං ! වෙන කෑමත් ප්ලේට් එකේ තියෙද්දී නම් ප්‍රශ්නයක් නෑ ඒවාට හේත්තු කරලා හැන්දෙන් බඩු කෑල්ල බිලිබාගන්න පුළුවන් නේ , හැබැයි එකම එක කෑල්ලක් ඉතුරු වුනා කියන්නේ ඒක මාරාන්තික ද්වන්ද සටනක්. මම අර රෝඩ් රනර් කාටුන් එකේ නරියා කුකුලා පස්සේ එලෝනවා වගේ මගේ හැන්ද ගස්ලබු කෑල්ල පස්සෙන්ම අරන් ගියා. ඒත් මම පස්සෙන් එන්න එන්න ඌ ඈතට ලිස්සලා යනවා. මේ විදියට ප්ලේට් එක වටේ වට තුනක් විතර කැරකුනාට පස්සේ මගේ දුක බලන් හිටපු මතගයා මට කියලා දුන්නා හැන්ද හනිකට දෙපැත්තට ගහලා අන්තිම කෑල්ල බිලිබාගන්න හැටි. ඔහොම තමයි ඉතින් මගේ පලවෙනි හැඳි ගෑරුප්පු සටන ඉවර වුණේ.

මට හැබැයි හරියටම හැන්දෙන් ගෑරුප්පුවෙන් කන හැටි “අහු වුණේ” ඔයිට අවුරුදු කීපයකට පස්සේ ඒත් මතගයයි ශාලිතයයි එක්කම MC එකේ ෆුඩ් කෝර්ට් එකේ “මල් පාත්තිය” කාපු දවසේ. මල් පාත්තිය කිව්වේ MC ෆුඩ් කෝර්ට් එකේ වර්තමානයේ Peppers නමින් හැඳින්වෙන කඩේ තිබුණ ෆ්‍රයිඩ් රයිස් එකට ( මතගයා දාලා තිබුණු නම ). ඒ රයිස් ප්ලේට් එකේ තිබුනේ ෆ්‍රයිඩ් රයිස් , බුල්ස් අයි එකක් , සොසේජස් කරල් තුනක් සහ මල් පාත්තිය ලෙසින් නම ලැබීමට හේතු වෙච්ච පතරංග කෝල්ස්ලෝ සැලඩ් පදාසයක්. ඕක කාපු දවසේ මතගයා මට ගොඩක් ටෙකිනික් කියලා දුන්නා , ගෑරුප්පුවෙන් හැන්දට කෑම ලෝඩ් කරලා කන සරල ටෙක්නික් එක එදා තමයි මම ඉගෙන ගත්තේ.

කොහොමහරි එදායින් පස්සේ මට හැන්දෙන් ගෑරුප්පුවෙන් කන එක පොඩ්ඩක් සෙට් වුනා. නැවත වතාවක් මට පොඩ්ඩක් හැඳි ගෑරුප්පු හරඹේ කොර වුණේ ඊට අවුරුදු ගානකට පස්සේ වැඩපලේ වැඩකට ඒරොප්පේ යන්න වුනු අවස්ථාවේ තමයි. ඒකට හේතුව ගොඩක් සුද්දෝ හැන්දක් පාවිච්ච නොකර ගෑරුප්පුව සහ පිහියෙන් කෑමට හුරු වෙලා තිබීම , කඩේකට ගියත් උන් දෙන්නේ පිහියයි ගෑරුප්පුවයි විතරයි. ඒකත් හැබැයි ටික වෙලාවක් ගියාම මට අහුවුණා , කොහොමත් සුද්දෝ කන කෑම හැටියට හැන්දක් ඇත්තටම වැඩිය අවශ්‍ය නෑ.

මේ වනවිට නම් හැඳි ගෑරුප්පු සම්බන්දයෙන් මම අනුගමනය කරන්නේ සරල ප්‍රතිපත්තියක් , ඉස්සර වගේ හැන්දෙන් ගෑරුප්පුවෙන් අමාරුවෙන් කන්න හීනමානයක් මට දැන් නෑ. සමහර කෑම වර්ග නම් ඇත්තටම හැන්දෙන් කන්න ලේසියි අතින් කනවට වඩා. ඒ වගේ ඒවා මම හැන්දෙන් කනවා. හැබැයි රයිස් ඇන්ඩ් කරි , බුරියානි , නාන් වගේ රොටි වර්ග ආදිය නම් හැන්දෙන් කනවා කියන්නේ ඒ කෑමටත් කරන අපහාසයක් . මොකද ඒවායේ නියම ආතල් එක ගන්න නම් අතින්ම අනාගෙන කන්න ඕනේ නිසා. ඒ වගේ කෑම තියෙන වෙලාවට නම් මම ලොවෙත් වේටර් මල්ලි කෙනෙක්ට කියලා වතුර එකක් ගෙන්නාගෙන අතින් කනවා. මොකෝ බුරියානියක් හැන්දෙන් කනවා වගේ පොන්න කමක් මේ තුන් ලෝකෙම නැති නිසා


බස් බෝර්ඩ්

දුර ගමන් බස්කාරයෝ අපි වගේ අතරමැද ඉන්න අඩු කුලේ උන්ව බස් වලට නග්ග ගන්නේ නැති එක ගැන මම කලින් කිව්වා මතක ඇති නේ ? ඔය හේතුව නිසා මං දැන් උදේට මහරගමට ගිහිං එතනින් දුර බසයක නැගලා තමයි කොළඹ යන්නේ.

අදත් මහරගම හිටියා දුර බසයක් එනකන් , අද කෙම්මුර දවසක් ද කොහෙද මොකෝ වෙනදා වගේ දුර බසයක් ආවේ නෑ ගොඩක් වෙලා බලන් හිටියත් , ඔක්කොම 138 හාල් කෑලි. අන්තිමට යන්තම් ඈතින් රතු පාට සීටීබී එකක් එනවා දැක්කා. අම්මට සිරි ඒ බස් එක දැක්කා විතරයි මහරගම හෝල්ට් එකේ හිටපු ගොඩක් උන් ඒ දිහාට දුවන්න ගත්තා ! එක බතල ඇන්ටි කෙනෙක් මාවත් පෙරලගෙන දිව්වේ. ඉතින් මම නිගමනය කළා මේක නම් ලොවෙත් දුර බසයක් වෙන්න ඇති කියලා. දුවලා ගිහිං බස් එකට නැගලා කෝකටත් කියලා කන්ෆර්ම් කරගන්න කොන්දොස්තර අයියගෙන් ඇහුවා


"අයියේ බස් එක කොළඹ නේ?"

"ඔව්.."

අම්මේ ඇති යන්තම් කියලා සැනසුම් සුසුමක් හෙලලා අල්ලාහු අක්බර් කියද්දී මූ කියපි

"කොළඹ කියන්නේ නාරාහේන්පිට" කියලා!

"ටහුක්.." කියලා කියාගෙන ආයෙත් අදින බස් එකෙන් පැනගත්තා යන්තම් හොම්බ තාර පාරේ අතුල්ලගන්නේ නැතුව ලෑන්ඩ් කරලා.

ඊට පස්සේ පිටි පස්ස බැලින්නම් මෙන්න තවත් රතුපාට සීටීබී බස් එකක් හෝල්ට් එකේ ගහලා.

හැබැයි කලින් හොයන්නේ බලන්නේ නැතුව නැගපු ගැබා නෙමෙයි දැන් ඉන්නේ තැලිච්ච යකඩයක් වගේ පදම් වෙච්ච පරිණත ගැබෙක් නිසා මම කෝකටත් කියලා නගින්න කලින් බස් එකේ බෝර්ඩ් එක චෙක් කළා..

අම්මට හැමිනෙන්න පින්වතුනි ඒ බස් එකේ තිබ්බේ නිකන් බෝර්ඩ් එකක් නෙමෙයි LED ලයිට් බෝර්ඩ් එකක් ! ඒකෙ වමේ ඉඳන් දකුණට අකුරු ස්ලයිඩ් වෙනවා බස් එක නවත්තන නගර වල නම් වැල..

"..හෝමාගම.."

"..කොට්ටාව.."

"..මහරගම..."

හරි හරි යකෝ ඒවා පහුවෙච්චනේ ! කොටුවේ යනවද නැද්ද කියලා දාපිය ඉක්මනට !

"..නුගේගොඩ.."

බස් එකත් අද්දන්න ලඟයි . මමත් අර පොල් කොලයක් දෙපැත්තට වනනකොට ඒක දිහා බෙල්ල එහෙක්..මෙහෙක්... කර කර බලන් ඉන්න පූසෙක් වගේ LED බෝර්ඩ් එකේ එහා කොනේ ඉඳලා මෙහා කොනට යන අකුරු දිහා බලන් ඉන්නවා බෙල්ල වන වන..

අන්තිමට ඔන්න පුන පුනා බලා සිටි අකුරු පහ දැක්කා !

"..පිටකොටුව..."

යන්තම් අන්තිම මොහොතේ බස් එකේ එල්ලී ගත්තා! කොළඹයි මහරගමයි අතර තව නගර දෙක තුනක් වැඩිපුර තිබ්බ නම් මට බස් එකේ නගින්න වෙන්නේ නෑ ඇයි ඉතින් ඒ ඔක්කොම අර රෙද්දේ බෝර්ඩ් එකේ යනකන් බලන් ඉන්න එපැයි

තාක්ශනේ හොඳයි හැබැයි තව පොඩ්ඩෙන් හිකෙයි කියන්නේ ඕකට තමයි


Thursday, September 19, 2019

ගෞතම මුනිදු මගෙ හිරු සඳු වන සේක

අද උදේ ඔෆිස් ආපු වීල් එකේ ඩ්‍රයිවරයා පාරේ යන යන එකාගේ ඇඟටම කපල වෙට්ටු දාල ඊට පස්සේ තව උන්ගෙන් ගේමත් ඉල්ලනවා ඌ වැරැද්ද කරලා.ලොකුවට ස්ටිකර් එකකුත් ගහන් ඉන්නවා ඒ මදිවට බුදු හාමුදුරුවෝ ගැන. ඒ වෙලාවේ මෙහෙම හිතුන මට..


ගෞතම මුනිදු මගෙ හිරු සඳු වන        සේක
ලොකුවට ගසාගෙන පොඩි ත්‍රීවිල්      එහෙක
මැද ඉර කපා ඇඟටම අල්ලා                        ඒක
"අම්මට හු*නවද" රියදුරු ඇසු                සේක



Saturday, September 14, 2019

ජනතා බාබර්

1985 වර්ෂයේ සති මැද දවසක දීප්තිමත් උදෑසනකි.

සමන්ත උදෑසනින්ම පැමිණ "ජනතා බාබර්ස්" සැලූනය වසා තිබුණු ලෑලි දොර පලු පසෙකට කොට , කොස්සක් රැගෙන අතු පතු ගෑමට පටන් ගත්තේය. සාමාන්‍යයෙන් සෑම සැලූනයකම වාගේ තිබුණු සාම්ප්‍රදායික "සැලූන් දොරවල්" ජනතා බාබර්ස් හි ද තිබුණු නමුත් රාත්‍රියට වසා තැබීමට එයට ඉදිරියෙන් තවත් ලෑලි දොරවල් පවුරක් තිබුනේය. වැඩි ආරක්ෂාව පිණිස සමන්ත රෑට නිදාගත්තේද සැලූනය තුලමය.

අවුරුදු 25ක පමණ වයසක් වූ සමන්ත ජනතා බාබර්ස් හි වැඩට ඇවිත් වැඩි කලක් නැත. දකුණු පළාතේ කොහෙදෝ මන්දා ගමක සිට පැමිණි ඔහු සැලූනයේ හිමිකරු වූ ස්ටැන්ලි අයියා පුවත්පතක දැමූ ඇබෑර්තුවක් දැක මෙහි වැඩට පැමිණියෙකි. අහිංසක ගති පැවැතුම් , සුහදශීලී කතාබහ සහ මහන්සි වී පිළිවෙලට වැඩ කරන තරුණයෙක් නිසා ඔහු ඉක්මනින්ම හිමිකරු ගේ හිත දිනාගත්තේය.

"සමන්ත උඹ ඔය බෝඩිම් වලට සල්ලි නාස්ති කරන්න ඕනේ නෑ. උඹට ඕනේ නං මෙහෙම නිදාගනින් රෑට.." හිමිකරු ස්ටැන්ලි අයියා එසේ පැවසුවේ නොමිලේම සමන්තට කියා රාත්‍රියට සැලූනය මුර කරගැනීමට වූවත් සමන්ත එයට කැමති වූයේ එය තමාටද ඉතුරුවක් වූ බැවිනි.

අහු මුළු වල තිබුණු වැලි කැට සහ කෙස් කොට කොස්සෙන් එකතු කොට එලියට අතුගා දමනවාත් සමගම ස්ටැන්ලි අයියාද සැලූනයට පැමිණියේ සුරුට්ටුවක් පත්තු කරගෙනය.

"උඹ කෑවද උදේට ?"

"ඔව් අයියේ මම උදෙන්ම කෑවා.." කොස්ස ගසා දමමින් සමන්ත පැවසුවේය.

සතියේ දිනක උදෑසනක් වූ නිසා අද සැලූනයට එතරම් සෙනගක් නැත. ජනතා බාබර්ස් සැලූනයේ කොණ්ඩය කැපීම කලේ සමන්ත සහ හිමිකරු ස්ටැන්ලි අයියා දෙදෙනා විසිණි. අවුරුදු ගණනක් තිස්සේ සැලූන් රස්සාව කල ස්ටැන්ලි අයියා කොණ්ඩා රැවුල් කැපීමේ ශිල්පයේ විශේෂඥයෙකි. සැලූනයට එන බොහෝ දෙනා ස්ටැන්ලි අයියාටම කියා කොන්ඩේ කපවාගැනීමට කැමැත්තක් දැක්වූයේ එබැවිනි. සමන්ත කොල්ලාගේ ශිල්පයද වරදක් නැත , නමුත් ඔහු තවම අලුත් නිසා ගොඩක් අය ඔහුගේ වැඩ ගැන තවම දැන සිටියේ නැත.

උදෑසන 9 පමණ වන විට දවසේ පලවෙනි පාරිභෝගිකයා සැලූනයට සේන්දු විය. ඒ හන්දියේම කඩයක් කල මෙන්ඩිස් අයියා යි.

"ආ ස්ටැන්ලි අයියා.. සමන්ත මල්ලි.. කොහොමද.. "

"ඉන්නවා මෙන්ඩිස් අයියේ.. " සමන්ත ඉඳ ගෙන සිටි අසුනෙන් නැගිට පැවසුවේ හිනාවක් ද දමමින් ය. ස්ටැන්ලි අයියා කියවමින් සිටි පත්තරය මදක් පහත් කොට මෙන්ඩිස්ට හිසෙන් ආචාර කළේය.

"ස්ටැන්ලි අයියේ.. කොන්ඩේ කපා ගන්න ඕනේ බං.. හෙට අර අපේ කඩේ වැඩකරන දෙමල කොල්ලා ශිවා.. උගේ මගුල් ගෙදර නේ.. බදුල්ලේ තියෙන්නේ බං යන්න ගියාමත් එපා වෙනවා , ඒත් ඉතින් නොයත් බෑ නේ.."  මෙන්ඩිස් පැවසුවේ සමන්තගේ පිටට තට්ටුවක් දමන ගමන්ය. සමන්තද හිස වනා "හ්ම්ම්" කියා එය අනුමත කළේය.

බාබර් පුටුවේ "දොහ්" ගා පතිත වූ මෙන්ඩිස් කන්නාඩියෙන් තමන්ගේ හැඩ බැලුවේය. "ස්ටැන්ලි අයියේ... කපනවකෝ හොඳ ඉස්ටයිල් එකක්.. රැවුලත් පොඩ්ඩක් කොට කරගන්න ඕනේ කතුරෙන්.." දිගට වැවුණු යටි රවුලද අත ගාමින් හේ පැවසුවේය.

"හරි" ස්ටැන්ලි අයියා සුදු රෙද්දක් ගෙන මෙන්ඩිස් ගේ කරවටා දමමින් වැඩේ පටන් ගත්තේය.

සමන්තද කරන්නට දෙයක් නැති කමට ස්ටැන්ලි අයියා කියවමින් සිටි පත්තරය අතට ගෙන පෙරලන්නට ගත්තේය.

"ජර බරාස් !!!"

සැලූන් දොර වැරෙන් විවෘත වන හඬ සමගම සමන්ත හිස ඔසවා බැලුවේය.

"දග් බග් දග් බග්" හඬින් දොර පලු දෙක තවමත් දෙපැත්තට වැනෙයි.

උදෑසන හිරු එලිය දොර අතරින් ඇස් පොට්ට කරවමින් සැලූනය ඇතුලට එල්ල වී ඇත.

ඒ එලිය අතරින් සුදු සරමක් සහ සුදු අත් කොට කමිසයකින් සැරසුණු උස මහත සද්ධන්ත මිනිසෙක් සැලූනය තුල පෙනී සිටියේය ! ගිණි පුපුරක් මෙන් දැල්වුණු දුම් වැටියක් යෝධ මිනිසා මුවේ රුවාගෙන සිටියේය. ගෙලේ නැව් කඹයක් මෙන් ඝනකම විශාල රිදී මාලයකි. අවට කිසිවෙක් තඹ සතයකට මායිම් නොකළ යෝධ මිනිසා තම දුම් වැටිය සැලුන් බිමට විසිකොට පයින් පෑගිය.

"ස්ටැන්ලි අයියේ.. කොන්ඩේ පොඩ්ඩක් කපාගන්න ආවේ"

යෝධ මිනිසා කතා කෙරුවේය.

"අප්පට සිරි මේ අපේ ගමනායක මහත්තය නේ.. එන්න එන්න ඇතුලට.."

ස්ටැන්ලි අයියා මෙන්ඩිස් ගේ කොන්ඩේ කැපීමද නවත්වා කතුරත් පනාවත් උස්සාගෙනම යෝධයා ලඟට පැමිණියේ යටහත් පහත් ලීලාවෙන්ය. කොණ්ඩයේ පැත්තක් පමණක් කපා ගෙන සිටි මෙන්ඩිස්ද "මේ මොන බම්බුවක් ද මගේ කොන්ඩේ කපලා ඉවරකරහන් මිනිහෝ" පන්නයේ බැල්මක් දාගෙන අමුත්තා දෙසත් ස්ටැන්ලි අයියා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.

"හම්මේ අවුරුදු කීයකින් ද මේ දැක්කේ... මොකෝ මේ පැත්තේ කාලෙකට පස්සේ ??" ස්ටැන්ලි අයියා තොරතුරු විමසුවේ කරමින් සිටි වැඩය සම්පූර්ණයෙන්ම අමතක වුනා මෙනි.

"ආවා මේ රජමහ විහාරේ පැත්තට යන්න.. පොඩි වැඩකට.. කොන්ඩේ පොඩ්ඩක් කපාගන්න කියලා ආවේ , පන්සලට යනකොට පිළිවෙලට යන්න එපැයි.. "

"ඒක හරි ඒක හරි හෙහ් හෙහ්.. හරි මහත්තයා කපමු.. එන්න.." ස්ටැන්ලි අයියා දෙවෙනි බාබර් පුටුව අතින් ගසා දමමින් පැවසුවේ කලබලයෙන්ය..

"එහෙම්... එහෙ එහෙම්.." කොණ්ඩයේ පැත්තක් පමණක් කපාගෙන මෑතින් වාඩි වී සිටි මෙන්ඩිස් උගුර පාදන ශබ්දය ඇසුණේය..

යෝධ අමුත්තා ඒ දෙස එක්වරම බැලුවේ කෝපාවිෂ්ට වූවෙකු මෙන්ය !

ඒ බැල්මට බයවුණු මෙන්ඩිස්ද ස්ටැන්ලි අයියා දෙස බැලුවේ අසරණ අන්දමටයි.

නමුත් එක ක්ෂණයෙන් අමුත්තාගේ කෝපාවිෂ්ට බැල්ම සන්සුන් එකකට වෙනස් විය..

"වැඩක් කරන ගමන්ද හිටියේ??" අමුත්තා ඇසුවේ මෙන්ඩිස්ව හිසෙන් පෙන්වන ගමන්ය.

"ඔව් ගමනායක මහත්තයා මේ එක වැඩක් කර කර හිටියේ මේ... මේ ... මේ  .. කමක් නෑ ..මේ.." ස්ටැන්ලි අයියා දෙගිඩියාවෙන් ගොත ගසන්නට විය..

සාමාන්‍යයෙන් සන්සුන් ගති පැවැතුම් ඇති ස්ටැන්ලි අයියා මෙලෙස කලබල වීම සමන්තද පසෙක සිට බලා සිටියේ පුදුමයෙන් ය.

"කමක් නෑ.." යෝධ අමුත්තා අත ඔසවමින් පැවසීය.

"මට පොඩ්ඩක් හදිස්සියි.. මම පන්සලේ ඉන්න ඕනේ තව පැය බාගයක් ඇතුලත.."

අමුත්තා සමන්තගේ හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලුවේය. "මේ ගෝලයද??" මහපට ඇඟිල්ලෙන් සමන්තව පෙන්වමින් අමුත්තා විමසීය.

"ඔව් ඔව් මහත්තයා.. මේ සමන්ත මගේ ගෝලයා.. හැබැයි හොඳ වැඩකාරයා.. හරි පිළිවෙලයි වැඩ.. ඔ.."

"හරි මම එහෙනම් මෙයාට කියලා කපා ගන්නම්.. මට කොහොමත් ඉක්මනටම යන්න ඕනේ.." අමුත්තා දෙවෙනි බාබර් පුටුවේ වාඩි වෙන ගමන් පැවසුවේය..

ස්ටැන්ලි අයියාද "ආ හරි සර්" කියන්නාක් මෙන් බයාදු ලෙස ඔලුව වනමින් ඉන්පසුව සමන්ත දෙස බලා වැඩේ පටන් ගන්නා ලෙසට වැරෙන් ඔලුවෙන් සන් කළේය !

සමන්තද පත්තරය පසෙක දමා හනි හනිකට දිව ගොස් අලුත්ම සුදු රෙද්දක් රැගෙන විත් අමුත්තාගේ කරවටා දැම්මේය.. මේ අත්බූත අමුත්තා කව්ද කියා සමන්ත දන්නේ නැත, ඔහුව දැක්කේද අදමයි, මෙන්ඩිස්ද ඔහුව හඳුනාගත් ස්වභාවයක් පෙන්නුවේ නැති නිසා මේ අමුත්තා ටවුටම පිටින් ආ කෙනෙක් විය හැකි බව සමන්ත සැක කළේය. නමුත් එක දෙයක් නම් සමන්තට සැක නැත , ඒ මේ අමුත්තා කව්රු වූවත් ඔහු බලගතු පුද්ගලයෙක් විය යුතු බවයි. නැතිනම් ස්ටැන්ලි  අයියා මොහුට මෙතරම් දෙකට නැවෙන්නේ නැත.

"මල්ලි.." අමුත්තා කණ්ණාඩියෙන්ම සමන්ත දිහා බලාගෙන කතා කළේය.

"ඔව් මහත්තයා.. කොහොමද කපන්න ඕනේ.." සමන්ත ප්‍රසන්න හිනාවක්ද සමග අසා සිටියේ කතුර චිස් චිස් ගා ඒකට අතුල්ලන ගමන්ය.

"මල්ලි.. කොන්ඩේ හොඳටම කොට කරන්න.. පුළුවන් තරම් කොටට. රැවුල...." රැවුල අතගාමින් කල්පනා කල අමුත්තා ".. රැවුල පස්සේ බලමු.. කොන්ඩේ කොටටම කපනවා.." යයි විධානය කළේය..

"හරි මහත්තයා.." යයි පැවසු සමන්ත ඉතාමත්ම උනන්දුවෙන් අමුත්තාගේ කොණ්ඩය කපන්නට ගත්තේය.. මෙන්ඩිස්ගේ කොණ්ඩය කපමින් සිටි ස්ටැන්ලි අයියාද සමන්ත දෙස වරින් වර බලමින් ඇස් දෙකෙන් ඔහුට මොනාවද කියන්න තනනවා මෙනි.

සමන්ත යුහුසුළුව අමුත්තාගේ කොණ්ඩය කොට කිරීමට පටන් ගත්තේය..

"ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී.........." බාබර් සාප්පුවේ පරණ රේඩියෝවෙන් හෙමිහිට ගීතයක් වාදනය වේ.

සාමාන්‍යයෙන් තමා කොණ්ඩය කපන පාරිභෝගිකයන් සමග සතුටු සාමිච්චියේ යෙදීම ඕනෑම බාබර්වරයෙකුගේ සිරිතයි. බොහෝ බාබර්වරු පාරිභෝගිකයන් අල්ලා ගන්නේද තමාගේ මේ කතාවෙනි. සමන්තද ඒ පෞරාණික සිරිත නොඅඩුව අනුගමනය කල බාබර්වරයෙකි. ස්වාභාවයෙන්ම ඔහුට ලැබී තිබුනේ කුලුපගු කතා විලාසයකි.

"මහත්තයා මේ පැත්තෙද ?? මීට කලින් දැකලා නෑ... " සමන්ත අමුත්තාගෙන් ඇසුවේ ඔහුව කතාවට අල්ලාගැනීමේ අදහසින්. සමන්තගේ ප්‍රශ්නය කනවැකුණු විගස එහා පැත්තේ සිටි ස්ටැන්ලි අයියා ඔහු දෙස හැරී බැලුවේ කනට ඇසිඩ් බින්දුවක් වැටුණු කලක මෙනි ! නැවතත් ස්ටැන්ලි අයියා සමන්තට ඇස් දෙකෙන් මොනාවද කියන්නට තැත් කළේය.

"හ්ම්ම්..." අමුත්තාගේ උත්තරය එපමණකි..

"මහත්තයා පන්සලට යන්නේ.. මොකක් හරි පින්කමක් ද ??"

"හ්ම්ම්.. ඔව්"

චටස් චටස් චටස් හඬින් සමන්තගේ කතුර යුහුසුළුව අමුත්තාගේ කොණ්ඩය පුරා දිව යයි.

"දැන්නම් වැස්ස පොඩ්ඩක් අඩු කළා.. පහුගිය ටිකේ මාර වැස්සක් නේ තිබ්බේ මහත්තයා.."  දැන්නම් ස්ටැන්ලි අයියාගේ ඇස් දෙක ඔහුගේ හිස්කබලෙන් එලියට පනින්නාක් මෙනි ! ස්ටැන්ලි අයියා දෑසින් කියන්නට තනන දේ නොතේරෙන සමන්ත දිගටම කොණ්ඩය කපමින් කතා කරයි.

"හ්ම්ම්'.." අමුත්තාගේ පිළිතුර එපමණකි.

චට චටස් චට චටස් .. ටස් ටස් ටස් ! තමාගේ කතුරු හරඹය අහවර කල සමන්ත තමාගේ වැඩය දෙස මදක් බලා සිටියේ ප්‍රතිමාවක් අහවර කල මූර්ති ශිල්පියෙක් මෙනි. තරමක් දිගට වැවී තිබුණු අමුත්තාගේ කොණ්ඩය සමන්ත කොට කර තිබුනේ පිටුපසින් මදක් කොණ්ඩය ඉතුරු වෙන ලෙසිනි. මේ කොන්ඩ විලාසිතාව එකල බොහෝ ජනප්‍රිය එකක් වූ නිසා අමුත්තා එයට කැමති වේ යයි ඔහු සිතුවේය. අනික මේ විලාසිතාව ඔහුට කදිමට ගැලපේ.

"මහත්තයා කොන්ඩේ මේ ගානට හොඳයි නේද..." සමන්ත විමසුවේ අමුත්තාගේ ගෙල වටා දැමූ සුදු රෙද්ද ඉවත් කරමින් එය ගසන ගමන්ය.. එලියට ගොස් රෙද්ද හොඳින් ගසා දැමූ සමන්ත නැවතත් ඇතුලට පැමිණියේය. කන්නාඩියෙන් තමාගේ කොණ්ඩය දෙස බැලු අමුත්තාගේ මුහුණට නොරිස්සුම්සහගත බැල්මක් ආරුඩ විය.

"මේ මදි අයිසේ.. මම තමුසෙට කිව්වේ හොඳටම කොට කරන්න කියලනේ.. මේක බින්දුවටම කොට කරනවා පිටිපස්සෙන්.." අමුත්තා ගුගුලේය.

"මහත්තයා හැබැයි මේ ගානට ගැලපෙනවා මහත්තයට.. අපි පොඩ්ඩක් මෙහෙම තියලා බලමුද.. අලුත් පෙනුමක් නේ මහත්තයා.." සුදු රෙද්ද දෙකට නවමින් සමන්ත පැවසුවේ ප්‍රසන්න හිනාවකින් මුව සරසා ගන්නා ගමන්ය..

ස්ටැන්ලි අයියා තමා දෙස මොනවාදෝ කියමින් ඇවිදගෙන එනවා සමන්ත ඇහේ කොනකින් දැක්කේය. ඒ දෙස හැරී බලනවාත් සමගම..

"චටාස්!!!!!!!!"

හෙන ගහන්නක් මෙන් තමාගේ කම්මුල මත පතිතවූ අතුල් පහරින් සමන්ත විසිවී ගොස් ඇද වැටුනේ බංකුවක් ද පෙරලාගෙනය!

වියරු වැටුණු අමුත්තා සමන්තගේ කමිස කොලරයෙන් අල්ලාගෙන ඔහු ඔසවා ගත්තේය !!!

"මේ හුත්තෝ.. තෝ පණ්ඩිතකම් නැතුව මම කියන විදියට කපහන්!" නැවතත් වතාවක් ඔහුට පහරක් දීමට අමුත්තා මිට මොලවා ගත් නමුත් ස්ටැන්ලි අයියා ඒ වනවිට දුවගෙන විත් ඔහුගේ අතේ එල්ලුණේය..

"හරි හරි ගමනායක මහත්තයා.. අනේ පොඩ්ඩක් ඉන්නකෝ.. එයා දන්නේ නෑ නේ මහත්තයා ගැන.. "

මෙන්ඩිස් ද සුදු රෙද්දත් කරවටා ඔතාගෙනම එතැනට පැමිණ අමුත්තාට ඇවිටිලි කරන්නට පටන් ගත්තේය. "මහත්තයා අත ඇරලා දාන්න මහත්තයා.."

ස්ටැන්ලි අයියාගේ අත වරෙන් ගසා දැමූ අමුත්තා ගැඹුරෙන් හුස්ම කීපයක් පිට කළේය..

ඉන් පසු ටික වේලාවක් බිම බලාගෙන ඉඳ සාක්කුවෙන් දුම් වැටියක් ගෙන් එය පත්තු කරගත්තේය..

ඔහු සන්සුන්වීමට උත්සහ දරණා ආකාරයක් සමන්තට පෙනුනි.

"ස්ටැන්ලි.. "

"මුට කියලා දියන් මම කව්ද කියලා.. අපි මේ පාඩුවේ පැත්තකට වෙලා ජීවත් වෙලා ඉන්න හදනකොට ආයෙත් යකා අවුස්සගන්න එන්න එපා !!! "

"හරි හරි මහත්තයා.. පොඩ්ඩක් ඉන්නකෝ සර්..... මම මෙයාට කියන්නම්.. මම කපන්නම් සර්ගේ කොන්ඩේ.. මෙන්ඩිස් උඹ පොඩ්ඩක් හිටහන්.." ස්ටැන්ලි අයියා සමන්තව අහකට කරමින් කීවේය.

"නෑ කමක් නෑ මූ කපපු දෙන්.. හැබැයි මුට කියපන් මම කියපු විදියට කපන්න කියලා.." ගමනායක දුම් වැටිය දල්වාගෙනම පුටුවේ වාඩිවෙමින් පැවසුවේය..

ස්ටැන්ලි අයියා සමන්තව පසෙකට ඇදගෙන හිමින් හඬින් නමුත් අවධාරනාත්මකව ඔහුව ඇමතුවේය.

"මේ බූරුවෝ!"

"මේ අහපන්"

"මේ මහත්තයා ලේසි පාසු පුතයෙක් නෙමෙයි"

"උඹ පණ්ඩිතයෙක් වෙන්නේ නැතුව කියපු විදියට කොන්ඩේ කපහන්!"

සමන්ත තවමත් පුපුරු ගහන සිය කම්මුල අතගාමින් නැවතත් සුදු රෙද්ද ගෙන ගමනායකගේ ගෙල වටා දැවටුවේය.. කතා නැතුවම හේ ගමනායකගේ කොණ්ඩය පිටිපසින් කොට කිරීමට පටන් ගත්තේය..

ගමනායකගේ හුස්ම ගැනීමේ සීග්‍රතාවය ක්‍රමයෙන් අඩුවී ඔහු සන්සුන් වූ බවක් පෙන්වූයේය..

"මල්ලි.." පෙරට වඩා සන්සුන් ස්වරයෙන් ඔහු සමන්ත ඇමතුවේය..

"මහත්තයා.."

"මල්ලි කොහෙද ගම ?"  ඔහු සමන්තව කතාවට අල්ලාගන්නා ස්වරූපයෙන් ඇසුවේය..

"මම කළුතර කිට්ටුව මහත්තයා.."

"ආ එහෙමද.. මමත් කාලයක් කළුතර පැත්තේ හිටියා.. පොඩි වැඩ වගයකට.. "

ගමනායකට සැබවින්ම තමා කලින් කෝප ගැනීම ගැන දුකක් පසුතැවීමක් ඇති වී තිබුණි. ඒ නිසයි ඔහු බලෙන්ම සමන්ත සමග සතුටු සාමිච්චියේ යෙදෙන්නට උත්සහ කලේ..

"මල්ලි ගණන් ගන්න එපා බං.. මටත් තද වුණා ඉතින්.. උඹ පණ්ඩිතකම් කියවන්න ආවා නේ මෙතන.." ගමනායක පැවසුවේ අවංකව සමාව ඉල්ලන ස්වරයෙන්ය..

ගමනායක මෙලෙස සමාව ඉල්ලනවා පසෙක සිටි ස්ටැන්ලි අයියා බලන් හිටියේ පුදුමයෙන් කට ඇරගෙනය !!

"මට සමාවෙන්න මහත්තයා කට කියෝගෙන ආවට.." තමාද පොඩ්ඩක් පණ්ඩිත වූ බව පිළිගත් සමන්තද පැවසුවේය..

ප්‍රථම වතාවට ගමනායක ඔහු වෙත සිනහවක් පෑවේය..

ගමනායක හිනා වෙනවා දුටු ස්ටැන්ලි අයියාට කලන්තේ නොදැම්මා පමණි !!!

ස්ටැන්ලි අයියා හිටියේ මෙන්ඩිස්ගේ කොණ්ඩය කපා අහවර කොට ඔහුට තෙල් මසාජ් එකක් දමමින්ය.. මෙන්ඩිස් හිටියේ තෙල් මසාජයේ ආශ්වාදය උපරිමටම විඳිමින් ස්ටැන්ලි අයියාගේ අත් ඔහුව ගෙන යන දිසාවට ඔලුව කරකවමිනි.

මේ අතර සමන්ත හනි හනිකට ගමනායකගේ කොණ්ඩය බින්දුවටම කොටකරමින් සිටියේය. ගමනායකගේ කොණ්ඩය කොටවනවත් සමගම ඔහුගේ හිසේ ගෙල පිටුපස කෙටූ පච්චයක් ටිකෙන් ටික මතුවීමට පටන් ගත්තේය.. පච්චයේ හැටියට නම් එය කාලයකට කලින් කෙටූවක් බව සමන්තට සිතුණි.

පච්චය උඩින් වැවී තිබුණු කොණ්ඩය කොට කරමින් සමන්තට නැවතත් තමන්ගේ පුරුදු කතා බහ පටන් ගැනුනේ ඉබේටම වගේය. සමන්ත ස්වාභාවයෙන්ම කුලුපගු ලෙස කතාබහ කරන තරුණයෙකි.

"ලස්සන පච්චයක් තියෙන්නේ මහත්තයා.. දැන් ගහලා ගොඩක් කල්ද..."

මේ වනවිට ගමනායක හිටියේ සන්සුන් ලීලාවෙන් නිසා ඔහු ඊට පිළිතුරු බැන්දේය.

"දන්නේ නැද්ද මල්ලී.. තරුණ කාලේ කරපු ගොන් වැඩ තමයි.. හෙහ් හෙහ් හෙහ්.. "


ගමනායකගේ පච්චය උඩින් වැවී තිබුණු කොණ්ඩය සමන්තගේ කතුරු පහරවල්වලට හසුව කෙමෙන් කෙමෙන් මැකී ගොස් පච්චය ඉතා පැහැදිලිව සමන්තට පෙනෙන්නට විය.. එය දකිනාවත් සමගම සමන්ත එක් වරම හොල්මනක් දුටුවාක් මෙන් ගල් ගැසී ගියේය.. හොඳ වෙලාවට ගමනායක ඒ වනවිට සිටියේ බෙල්ල පිටුපස කොණ්ඩය කැපීමට පහසු වන ලෙස ඔලුව බිමට හරවාගෙනය ! නැති නම් සමන්තගේ ගල් ගැසුණු මුහුණ ඔහුට පෙනෙන්නට තිබුණි.

ගමනායකගේ  පච්චය අතින් ඇල්ලු සමන්තගේ ඇඟ පුරා එකවරම විදුලියක් දිවගියේය ! 1985 වසරේ ගාල්ල ජනතා බාබර්ස් හි කොණ්ඩය කපමින් සිටි සමන්ත , ඒ විදුලිය දිගේ තමන්ගේ ළමා කාලයට , එනම් 1972 වසරේ බුලත්සිංහල ගම්මානයට මනසින් ඇදී ගියේය..

.....................................................................


1972 වර්ෂයේ සති අන්තයේ දිනයක දීප්තිමත් උදෑසනකි.

සමන්ත සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු සුනිල් ඔවුන්ගේ වත්තේ කොනකට වී සිටියේ බෝල ගසමින්ය. ඔට්ටපාළු බෝලයකුත් , ලෑලි කෑල්ලකින් කපාගත් පිත්තකුත් ඔවුන්ගේ ආම්පන්න විය.

අවුරුදු 12ක් වයසැති වූ සමන්ත සහ අවුරුදු 20ක් වයසැති වූ සුනිල් අතර වයස පරතරය තරමක් වැඩි වූවත් , සුනිල් ඉලංදාරී වයසක පසු වූවත් ඔහු නිතරම තමන්ගේ මල්ලි සමන්ත සමගම පන්දු කෙළියට බෑ නොකියා එකතු විය. මෙය කෙළිලොල් සමන්තට මහත් අස්වැසිල්ලකි ! බහුතරයක් සහෝදරයන් අතර තිබෙන්නාක් මෙන් සමන්ත සහ සුනිල් අතරද පැවතියේ ඉතාමත්ම සමීප සබදතාවයකි. සමන්තගේ ලෝකයේ වීරයා ඔහුගේ අයියා විය.

ඊට එක හේතුවක් වූයේ අහිංසක සන්සුන් සමන්තට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ ඔහුගේ අයියා සුනිල් , නාහෙට අහන්නේ නැති කුකුල් කේන්තිකාරයෙක් වීමයි ! සුළු බහින් බස් වීමකදී පවා අතපය ඔසවා තමන්ගේ සතුරන්ට පහර දීමට සුනිල් පසුබට නොවීය. මේ හේතුව නිසා සුනිල්ට ගමේ කොලු ගැටවුන් අතර යම් පිළිගැනීමක් තිබුණු අතර සුනිල්ගේ මල්ලි වීම නිසා සමන්තටද ඒ පිළිගැනීමෙන් කොටසක් නිතැතින්ම හිමි විය.

නමුත් ගොවියෙක් මෙන්ම ගමේ වැදගත් මිනිහෙක්ද වූ සුනිල් ගේ සහ සමන්තගේ තාත්තා නම්  තම පුතාගේ මේ කුකුල් කේන්ති ගතියට එතරම කැමැත්තක් දැක්වූයේ නැත..

"උඹ කවදා හරි හොඳ හෝටලේකින් කනවා ඔය හොස්ස ලගින් මැස්සා යන්න බැරි කම නිසා.. "

තාත්තා මෙලෙස සුනිල්ට දෙස් දෙවුල් තිබ්බේ ඔහු කළුතර නගරයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති කරගත් ගැටුමක් ගැන ගෙදරට ආරංචි වීමෙන් පසුවයි. සංගීතයට ප්‍රිය කල සුනිල් තම මිතුරන් සමග සංගීත සංදර්ශන නැරබීමට යාම පුරුද්දක් කරගෙන තිබ්බේය. එකල දැන් මෙන් සංගීත සංදර්ශන සුලභ නොවූවත් 70 දශකය යනු ලංකාවේ කණ්ඩායම් සංගීතයේ පිබිදීමක් ඇතිවූ කාල වකවානුවක් විය. කළුතර නගරයේ සිංහල අලුත් අවුරුද්ද සමරමින් පැවතුනු සංගීත සංදර්ශනය නරඹන්නට සුනිල් සිය මිතුරන් සමග ගියේ මේ නිසායි.

එහිදී බීමත්ව හැසිරුණු තවත් තරුණ කණ්ඩායමක් සමග සුනිල්ගේ මිතුරු කණ්ඩායම ගැටුමක් ඇති කරගත් බවත් , සුනිල් අතින් එක් තරුණයෙක් හොඳටම ගුටි කෑ බවත් ගම පුරා ප්‍රචලිත වීමට වැඩි කලක් ගත නොවීය. කෙතරම් ද යත් සුනිල් එම තරුණයාට ඔහුගේ කටේ දතක් ගැලවෙන්නට පයින් පහරක් ද දී ඇත !

මේ බව සැලවූ විගසම තාත්තා සුනිල්ට හොඳටම බැන වැදුනේ ඔහුගේ කලහකාරී ගති ගුණ ගැන විවේචනය කරමින්ය.

නමුත් සුනිල් නොවේ එය කනකට ගත්තේ !

සමන්ත දිවවිත් දැමූ පන්දුවට සුනිල් වැරෙන් පහරක් එල්ල කළේය...

"ලොකු පුතේ.."

"මෙහෙ එනවා..."

ඒ අම්මා ගෙදර සිට සුනිල් අමතන ශබ්දයයි.

"ඇයි අම්මේ..." සුනිල් පිත්තත් රැගෙන කුස්සිය දෙසට ගියේය . සමන්ත ද ඔහු පසු පසින්මයි.

"පුතේ හන්දියේ කඩේට ගිහිං ආරියදාස මුදලාලිගෙන් සල්ලි වගයක් තියෙනවා.. ඉල්ලගෙන වරෙන්.. අපි කඩේට දාපු බඩු වගේකට මට එන්න තියෙන සල්ලි.. මුදලාලිට කියනවා මම කිව්වා කියලා , එයා දන්නවා.."

"හරි.."

කෙතරම් නාහෙට අහන්නේ නැති එකා වුණත් සුනිල් අම්මාට කීකරුය. පිත්ත විසිකොට කමිසයක් ඇඟලා ගත් ඔහු යාමට පිටත් විය. සමන්තද ඔහු පසු පස්සෙන් වැටුණේය.

"මේ.. උඹ සතයක් වත් යටි මඩි ගහගන්නවා එහෙම නෙමෙයි.. මම ගණන් හිලව් ඔක්කොම කතා කරගෙන ඉන්නේ මුදලාලි එක්ක.. " සුනිල් කවදාවත් හොර බොරු කරනා ළමයෙක් නොවන බව දන්නා මුත් අම්මා එසේ පැවසුවේ විහිලුවට මෙන්ය.

"යටි මඩි ගහන්නේ නෑ , සිකරට් ටින් එකක් විතර ගන්නවා මම... " සුනිල් නිවස දිහා බලාගෙන අම්මාට බෙරිහන් දුන්නේ හිනා වෙන ගමන්ය..

"ආ.. වරෙන්කො උඹ අද ගෙදර.." අම්මා සුනිල්ට තරවටු කලේ සුරතලයටය.

සුනිල් සහ සමන්ත හෙමින් ගමනින් හන්දිය වෙත ලඟා විය. සති අග දිනයක් නිසාත් පොළ පැවැත්වුණු නිසාත් විවිධ වැඩ කටයුතු සඳහා පැමිණි ජනයාගෙන් බුලත්සිංහල හන්දිය පිරි තිබුනි. කඩමණ්ඩියේ කොනේම තිබූ ආරියදාස මුදලාලිගේ කඩය වෙත අයියා මලෝ දෙන්නා පිය නැගුවේ හෙමින් ගමනින් ය..

එක්වරම වීදියේ මිනිසුන් අතරින් මතුවුණු කණ්ඩායමක් සුනිල් සහ සමන්ත ඉදිරියට පැමිණියහ !

"මූ නේද මිනිහා??" සුනිල්ගේ කමිසයෙන් අල්ලාගත් එකෙක් තවෙකෙක්ගෙන් විමසීය.. දෙවැන්නා තට්ටය ගාගත් අවුරුදු 30ක පමණ මිනිසෙකි..

"ඔව් ඔව්... මූ තමයි.." තට්ටයා පැවසුයේ කෝපයෙන් රතුවෙමින්මය..

සුනිල් හනිකට සමන්තව අතින් පැත්තකට තල්ලු කොට දැම්මේය..

සුනිල්ගේ කමිසයෙන් අල්ලාගත් එකාත් , තට්ටයාත් හැරුනුකොට තවත් තිදෙනෙක් සුනිල් වට කරගත්තෝය..

සුනිල් තමාගේ කමිසයෙන් අල්ලාගත් එකාට මුෂ්ටි ප්‍රහාරයක් එල්ලකළේය.. නමුත් පිටුපසින් පැමිණි දෙදෙනෙක් ඔහු හිරකොට අල්ලාගත්තේය.. ඉදිරියෙන් පැමිණි තට්ටයා සුනිල්ට පහර පිට පහර දෙන්නට පටන් ගත්තේය..

"කෝ චන්ඩියා කෝ උඹේ සද්දේ දැන්??????"

"එදා සන්ගීතේදී දාපු පාර්ට් කෝ???"

සුනිල්ට පහරදෙන ගමන් තට්ටයා කෝපයෙන් ගිගුරුවේය!

සමන්ත අයියා බේරාගැනීමට මැද්දට පැනීමට උත්සහකල නමුත් අවුරුදු 12ක කොලු ගැටයෙකුට වැඩුණු මිනිසුන් පස් දෙනෙක් සමග පොර බැදීමට නොහැක. එකෙක්ගේ පා පහරින් කුඩා සමන්ත පැත්තකට විසි විය.

"ආ.. ඉඳා.. කැරි වේසිගෙ පුතා.." තට්ටයා සුනිල්ට පහර පිට පහර දුන්නේය.  සුනිල්ගේ ඇඟේ එල්ලීගෙන සිටි අනිත් දෙදෙනා නිසා ඔහුට හෙළවීමට වත් අමාරු විය.

මුළු නගරයම මේ වන විය මේ ගැටුම බලාගෙන හිටියත් ඒ අතරින් කිසිකෙනෙකු සුනිල්ගේ සහයට ඉදිරිපත් නොවීය.

"මේ කළුතර ගුණවර්ධන ඇමතිතුමාගේ ගාර්ඩ් ලා.. පැත්තකට වෙලා හිටහල්ලා.."

හන්දියේ සිටි තරමක චන්ඩියෙකු වූ මාටින් අයියා රණ්ඩුව බේරීමට මැද්දට පැනීමට සැරසුණු කීප දෙනෙකුට මුමුණනු ඇසුනි..

කුඩා සමන්ත නොනවත්වාම තමාගේ අයියා දෙසට දිව ගියත් ඒ සැම විටම එල්ල වුනු පා පහරවල් වලින් ඔහු එලියට විසිවී ගියේය...

වියරු තට්ටයා දිගටම සුනිල්ට අතින් පයින් පහර දෙමින් සිටී.. ඔහුගේ එක අතක මලකඩ පාට නකල් ඩස්ටරයක් ද විය.. මේ වන විට තවදුරටත් පහරකා කෙලින් සිටගත නොහැකි වූ සුනිල් බිමට ඇදගෙන වැටුණේය.. ඔහු අල්ලාගෙන සිටි දෙදෙනා ද ඔහු අත හැර සුනිල්ට පයින් පහර දීමට පටන් ගත්හ..

මද වෙලාවක් මේසේ පහර දුන් පිරිස තට්ටයාගේ විධානයත් සමග පසෙකට විය.

"කෝ අහක් වෙයල්ලා.. පොඩ්ඩක් නවත්තහල්ලා.."

සිය සගයන් පසෙකට කරමින් තට්ටයා කෑගැසුවේය..

සුනිල් ලේ වැකුණු ශරීරයෙන් යුතුව පිරිස මැද වැටී සිටියේය.. තට්ටයාගේ නකල් ඩස්ටර ප්‍රහාර වලින් ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන් පාහේ විනාශ වී තිබුණි..

සමන්ත නැවත වතාවක් සිය අයියා ලඟට දිව ආවේය.. මෙවර ඔහුට පා පහර දෙනවා වෙනුවට එකෙක් සමන්තව සිය දෑතට සිර කොට ගත්තේය..

තට්ටයා තමන්ගේ අතේ තිබුණු නකල් ඩස්ටරය සගයෙකු දෙසට විසිකොට.. සිය ඉණේ ගසා සිටි පිස්තෝලය එලියට ඇද ගත්තේය!

වටවී බලාසිටි මිනිසුන් සියල්ලෝම බයෙන් තැති ගැන්වී බලාගෙන සිටියහ..

"මේ අහගනිල්ලා..."

තට්ටයා පිස්තෝලය සැමටම පෙනෙන්නට ඉහලට ඔසවමින් පැවසුවේය..

"තොපි එකෙක් හරි මේ ගැන පොලිසියට ගිහිං තිබුනොත්.. උඹලට වෙන්නෙත් මෙන්න මුට වෙච්ච දේ තමයි.."

පිස්තෝලය බිම වැටී සිටි සුනිල් දෙස මෑනු තට්ටයා

"ඩෝo"

"ඩෝo"

"ඩෝo"

උණ්ඩ තුනක් සුනිල්ගේ හිස හරහා යැවීය..

වටවී මෙය බලාසිටි මිනිසුන් ගැහැණුන් සියල්ලම මරහඬ දෙමින් සමහරු කෑගසා අඩමින් හිස් ලූ ලූ අත දිව යාමට පටන් ගත්හ!!!!

තට්ටයාගේ සගයන් සිව් දෙනාම මෙය අපේක්ෂා නොකළ සෙයකි ! සමන්ත හිර කරගෙන සිටි එකා ඔහුව පසකට තල්ලු කොට තට්ටයා වෙතට දිව ගියේය !

"ඒ ගමයා.. උඹට පිස්සුද මිනිහෝ.." ඔහු තට්ටයා අතින් පිස්තෝලය උදුරාගනිමින් පැවසීය..

"යකෝ මූට සද්දයක් දානවා කියලා විතරනේ ආවේ.. මොකද්ද මේ කලේ???????"

"වරෙන් මෙතනින් මාරු වෙමු විගහට.. ඇන්ටා ජීප් එක ගනින් !!!! "


තට්ටයාගේ පිරිස එතනින් ඉවත් වීමට පටන් ගත්හ.. පසෙකින් බිම වැටී සිටි පුංචි සමන්ත ඉකි ගසමින් තම සහෝදරයාගේ ලේ වැකුණු මල සිරුර දෙස බලාගෙන සිටියේය..

තම පිරිස එතනින් ඉවතට දිව යාමට පටන් ගත් නමුත් තට්ටයා පුංචි සමන්ත දෙස බලාගෙනම සිටියේය. සමන්ත දෙසට හෙමින් හෙමින් ඇවිදගෙන ආ ඔහු , සුනිල්ගේ මල සිරුර උඩින් පැන , සමන්ත ළඟටම විත් බිම ඇන තියාගත්තේය.

එක මොහොතකට ඔවුන්ගේ ඇස් එකිනෙකා වෙත යොමු විය. තට්ටයාගේ කෝපයෙන් වියරු වූ ඇස් පුංචි සමන්තගේ කඳුළු පිරුණු ඇස් දෙස බලාගෙන සිටියේය.. සුනිල්ගේ ලේ තැවරුණු සිය දකුණු අතින් ඔහු සමන්තගේ ඔලුව අතගා කටකොනකින් වියරු සිනාවක් පෑවේය..

ඔහුගේ කටේ එක දතක් හිස් විය..

අනිත් පැත්ත හැරුණු තට්ටයා තම සගයන් දෙසට ඇවිද යන්නට විය..

ඔහුගේ හිස පිටුපස බෙල්ල දෙසට වන්නට තිබුනේ පච්චයකි.

තමාට පිටුපස හරවාගෙන ඇවිදගෙන යන තට්ටයා දෙස සමන්ත බලාගෙන සිටියේය.

"මම කවදාවත් පච්චයක් ගහන්නේ නෑ.. උඹ දන්නවද ඇයි කියලා??" දිනක් සුනිල් සමන්තට පැවසු ආකාරය ඔහුගේ දෙසවන රැව් දුනි.

"ඒ ඇයි අයියේ..??"

"ඇයි බන් වලියකට ගියාම ඒකෙන් අපිව ලේසියෙන් මතක තියාගන්න පුළුවන් නේ....."

" ........මතක තියාගන්න පුළුවන් නේ....."

" ........මතක තියාගන්න පුළුවන් නේ....."

" ........මතක තියාගන්න පුළුවන් නේ....."


තට්ටයාගේ හිස පිටුපස පැහැදිලිව කොටා තිබුණු පච්චය පුංචි සමන්ත හොඳින්ම මතක තබා ගැනීමට උත්සහ කළේය..

ඒ කොටා තිබුනේ කාර්ඩ් කුට්ටමේ ඉස්කෝප්ප ආසියාගේ රූපයකි..


.....................................................................


ගමනායකගේ බෙල්ලේ පිටුපස කොටා තිබුනේ කාර්ඩ් කුට්ටමේ ඉස්කෝප්ප ආසියාගේ රූපයකි...

සමන්තගේ ස්ථාවර දෑත් උණ හැදුනාක් මෙන් වෙවුලන්නට විය. ඔලුව කැරකෙන ගතිය කෙතරම් වී ද යත් ඔහුට වමනය යාමට මෙන් ආවේය. කටහඬ ද වෙවුලන්නට විය.. නමුත් ඔහු ඒ බවක් නොපෙන්වා කොණ්ඩය කැපීම අවසන් කළේය..

"මහත්තයා හරි.. මේ ගාන හොඳයි ද.." තමා සතුව තිබූ සියලුම ශක්තිය එකතු කොටගත් සමන්ත එසේ විමසුවේ ගමනායකට වෙනසක් නොපෙන්වීමට පුළුවන්තරම් උත්සහයක් දරමිනුයි.

ගමනායක කන්නාඩියෙන් සිය හැඩ බැලුවේය.

"මේ ගාන හොඳයි.. මල්ලි.. මගේ රැවුලත් කපාගන්න ඕනේ.. ෆුල් ෂේව්.. "

"විගහට කරමු මට පන්සලට යන්නත් තියෙනවා.."

"හරි මහත්තයා.. පොඩ්ඩක් ඉන්න මම බඩු ටික අරන් එන්නම් ටක් ගාලා.."

වෙවුලන දෙපයින් සමන්ත සැලූනය පිටිපස ඇති ගබඩා කාමරයට ගියේ දැලි පිහිය ඇතුළු සිය බඩු බාහිරාදිය රැගෙන එන මුවාවෙන්ය.

කාමරයට ගිය විගසම සමන්ත දිග සුසුමක් පිටු කොට හයියෙන් හුස්ම ගැනීමට පටන් ගත්තේය !  මේ ඉන්නේ අවුරුදු දහතුනකට පෙර තමන්ගේ එකම අයියා මරා දැමූ නමක් ගමක් නොදත් තට්ටයා ද??? ඔහුගේ පච්චය නම් එමමයි.. එය සමන්තට විශ්වාසය.. නමුත් එකම පච්චය තියෙන මිනිස්සු ගොඩක් ඉන්න බැරිද ?? තව මොනවද විස්තර තියෙන්නේ ?? බොහෝවිට තම සහෝදරයාගේ පහරදීමෙන් කළුතර සංගීත සංදර්ශනයේදී ඔහුට අහිමි වූවා යයි සිතිය හැකි දතක් තට්ටයාගේ කට කොනේ හිස්ව තිබු බව සමන්තට මතකය.. නමුත් ගමනායකගේ කට ගැන විශේෂ අවාධනයක් යොමු කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුනේ නැත. අනික දත් නම් පුරවන්නටත් පුළුවන් නේ... අනෙක් අතට ගතහොත් මේ ඉන්නේ සුනිල් මරාදැමූ පාපතර මිනීමරුවාම නම් , මොහුව මේ ලෙස අල්ලාගැනීමට සමන්තට ආයේ නම් මේ කපේට අවස්ථාවක් නොලැබෙනු ඇත!

කරන්නේ කුමක්ද යයි සිතාගැනීමට නොහැකි වූ සමන්ත ගබඩා කාමරය තුල වේගයෙන් ඉහල පහල ඇවිදීමට පටන් ගත්තේය..

ඈතින් ස්ටැන්ලි අයියාගේ කටහඬ ඇසුනි..

"ඉන්න ගමනායක මහත්තයා මම බලන්නම්..."

".. ඕයි සමන්ත මොකද්ද යකෝ කරන්නේ.. අර මිනිහව ආයෙත් මල පන්න ගන්න ද හදන්නේ ?? විගහට ඔය බඩු ටික අරන් ගිහිං උගේ රැවුල කපහන් !!! " ස්ටැන්ලි අයියා සමන්තට ගෙරෙව්වේ කෝපයටත් වඩා බයෙන් වාගේය.

මේ අත්බූත මිනිහා ගැන දෙයක් දැනගැනීමට අවසන් අවස්ථාව මෙයයි , සමන්ත ස්ටැන්ලි අයියා දෙස බලන ගමන් සිතුවේය.

"ස්ටැන්ලි අයියේ.."

"කව්ද අයියේ ඒ මිනිහා ??"

"මිනිහා තදයෙක් ද??"

"තදයෙක් නෙමෙයි යකෝ තදබදයක් තනිකර !"

"මිනිහට තමයි ගමනායක කියන්නේ.."

"ඉස්සරම කළුතර ගුණවර්ධන ඇමතිතුමා ගාව වැඩ කලේ.."

"කතාවේ හැටියට නම් මිනිහා කීප දෙනෙක්වම එලොව යවලා තියෙනවා.."

"හැබැයි ඇමතිතුමාගේ  පවර් නිසා මිනිහට කවුරුත් මුකුත් කලේ නෑ ලු.."

"ඉස්සර යකෙක් වගේ මිනිහෙක් ඕකා.. දැන් ඔය පොඩ්ඩක් හොඳ වෙලා.."

"ඉස්සර එහෙම උඹ ඔය වගේ කොන්ඩේ බාගෙට කැපුවා නම් ඌ උඹේ ලේ බොනවා.."

"ඌ උඹත් එක්ක හිනා වුනාම මට ඇස් දෙක අදහගන්න බැරි වුනා යකෝ!!!!"


ස්ටැන්ලි අයියාගේ පිළිතුරු සමන්ත අසාගෙන සිටියේ සිය හොඳම දැලි පිහිය අරගෙන එය හම් පටියේ අතුල්ලන ගමන්..

"කරස් බරස්"

"කරස් බරස්"

"ස්ටැන්ලි අයියේ.."

"මහත්තයට පොඩ්ඩක් ඉන්න කියහන්.."

"මම මේ දැලි පිහිය මුවහත් කරන් එන්නම්..."

හරි හරි කියන්නාක් මෙන් ඔලුව වැනු ස්ටැන්ලි අයියා ගබඩා කාමරෙන් එලියට ගියේ "මහත්තයා විනාඩියක් ඉන්න ගෝලයා දැලි පිහිය මුවහත් කරනවා" කියමිනි.

නොබෝ වෙලාවකින් සමන්ත ගබඩා කාමරෙන් එලියට ආවේ දැලි පිහියත් , සබන් සහ බුරුසුවත් රැගෙනය.

දැලි පිහිය දිග ඇරගත් සමන්ත ගමනායකගේ පිටුපසට විත් සිට ගත්තේය. කන්නාඩියෙන් තමන්ගේ හැඩ බලමින් සිටි ගමනායක සිටියේ වෙනම ලෝකයකය..

"මල්ලි.. ෆුල් ෂේව් කරලා දාන්න.."

දැලි පිහිය අතට ගෙන තමන්ගේ පිටුපසින් සිටිනා සමන්තට ගමනායක පැවසුවේය..

"හරි මහත්තයා.. මුලින් කතුරෙන් කපලා.. පස්සේ පිහියෙන් ගාමු.." දැලි පිහිය ඉණේ ගසාගත් සමන්ත කතුර ගෙන ගමනායක ගේ දිගට වැවී තිබුන රැවුල කොට කිරීමට පටන් ගත්තේය..

"චිස්.."

"චිස්.."

"චිස්.."

හඬින් රැවුල් රොද කැපී ගමනායක ගේ කර වටා තිබුණු රෙද්ද උඩට වැටුනේය.

"දැන් පිහියෙන් කපමු මහත්තයා"

සමන්ත බුරුසුව ගෙන ගමනායකගේ ගෙලේ සහ මුහුණේ සබන් ගෑමට පටන් ගත්තේය.

"ඉක්මන් කරහන් මල්ලි මට තව විනාඩි දහයෙන් පන්සලේ ඉන්න තියෙනවා"

"මම මේ අහන්නමයි හිටියේ , මහත්තයා මොකෝ මේ තකහනියක් පන්සලට යන්නේ ???" එහෙම ඇහුවේ මෙන්ඩිස් ගේ මසාජ් එකේ අවසාන හරිය කරමින් සිටි ස්ටැන්ලි අයියා..

සමන්ත සබන් ගෑම අවසන් කොට දැලි පිහිය අතට ගත්තේය. වම් අත ගමනායකගේ උරහිස උඩින් තැබූ සමන්ත සිය දකුණු අතින් දැලි පිහිය ගෙන එය තිරස් අතට අල්ලාගෙන ගමනායකගේ උගුරු දණ්ඩ දෙසට සෙමින් ගෙන ගියේය...


"ආ මේ අපේ පුතා ලබන මාසේ විභාගයක් ලියනවනේ.. ඒකට බෝධි පූජාවක් තියන්න.. ලොකු හාමුදුරුවෝ ඉන්නවා කිව්වේ උදේ වරුවේ විතරයි ඒක නිසා විගහට යන්න ඕනේ.. නැත්තම් හරි අමාරුයි නේ අල්ලගන්න.."

ගමනායක පිළිතුරු දුන්නේ ස්ටැන්ලි අයියා දෙස බලන ගමන්ය..

ඔහුගේ ගෙල දිගේ ඉහලට මාන බලමින් සිටි සමන්තගේ පිහිය ඒ ඇසෙනවාත් සමගම මදකට නතර විය....


"අනේ වාසනාවන්!! දැන් කීයද මහත්තයෝ පුතාට වයස .. ? ගොඩක් පොඩිද ?"

"හෙහ් හෙහ්.. දැන් අවුරුදු දහයක් වෙනවනේ.. පොඩිමත් නෑ.."

සිය දරුවා ගැන විමසත්ම ගමනායකට මද සිනහවක් පහල විය. ඒත් සමගම ඔහුගේ කට කොනකින් දිලිසෙන රත්තරන් දත සමන්ත දුටුවේය.

"නෝනයි ලමයයි දෙන්නා එළියේ කාර් එකේ.. මම කොන්ඩේ කපන් එනකන් ඉන්නවා..."

"නෝනයි ලමයයි"

"නෝනයි ලමයයි"

"...පොඩිමත් නෑ..."

"...පොඩිමත් නෑ..."

"ඔන්න එහෙනම් කැපුවා මහත්තයා..."

සමන්ත විමසුවේ මද සිනහවක් සමගය..

"කපන්න මල්ලි..."

"චස්!"



සුදු රෙද්ද හරහා රතු ලේ පහරක් ඇදී ගියේය !


.....................................................................


"ජර බරාස්" හඬින් ජනතා බාබර්හි සැලුන් දොරපලු දෙක දෙපසට විවෘත වුණේය. එතුලින් එලියට ආවේ අත් දෙකේ උණුසුම් රුධිරය පෙරාගත් සමන්තයි. සැලූනය ඇතුලෙන් ස්ටැන්ලි අයියා සහ මෙන්ඩිස් විලාප දෙන ශබ්දය ඇසුනි..

සන්සුන් ගමනින් එලියට බට සමන්ත විමර්ශනශීලී දෑසින් වටපිට බැලුවේය. නුදුරෙන් නවතා තිබුණු බොක්ස් ලාන්සර් රථය ඔහුගේ නෙත ගැටුණි..

සන්සුන් ගමනින් ඒ දෙස ඇවිදගෙන ගිය ඔහුට දක්නට ලැබුනේ එතුල වාඩි වී සිටි ගැහැණියකුත් අවුරුදු දහයක පමණ පිරිමි දරුවෙකුත්ය.ගමනායකගේ ඉණේ ගසා තිබී උදුරාගත් යතුරු කැරැල්ල නැවතත් සිය සාක්කුවෙන් ගෙන පරීක්ෂා කල සමන්ත එහි තිබුණු මිට්සුබිශී ලකුණු සැක හැර තහවුරු කරගෙන යතුරු කැරැල්ල අහකට විසි කළේය..

එදා රස්නේ දවසක් බැවින් කාර් එකේ සිටි වුන් හිටියේ ජනෙල් සහ දොරවල් ඇරගෙනයි.

හෙමින් ගමනින් කාරය වෙත එන තරුණයා දෙස කාරය සිටි තුල ගැහැණිය බලාගෙන සිටියේ සැක සහගත බැල්මකිනි. ඔහු ලංවත්ම ඔහුගේ දෑත් තුල වූ රුධියරය දුටු ඈ මරහඩින් බෙරිහන් දුන්නාය ! බෙරිහන් දී සෑම දයාබර අම්මා කෙනෙක්ම කරන්නාක් මෙන් ඈ විගහට දොර ඇරගෙන කාරයෙන් බැස සිය දරුවා තුරුලට ගත්තේ සමන්තගෙන් ඔහු ආරක්ෂා කරගැනීමටයි.

නමුත් ඒ වෙනකොට කාරය වෙත ළඟාවී සිටි සමන්ත අම්මා ඉවතට තල්ලු කොට දමා, දරුවා තම දෑතට ගත්තේය.

බයවී සිටි දරුවා කිසිත් නොකියා බයෙන් ගැහෙමින් සිටියේය.

දරුවා ඔසවාගත් සමන්ත ඔහුව කාරයේ බොනට් එක මත වාඩි කෙරෙව්වේය.


"කව්රුත් නැද්දෝ.. කව්රුත් නැද්දෝ..." මේ වනවිට දරුවාගේ අම්මා වටේ පිටේ මිනිසුන්ගේ උදව් ඉල්ලා කෑගැසීමට පටන් ගෙන තිබුණි.

ඒ කිසිත් ගැන අවධානය යොමු නොකළ සමන්ත දරුවාගේ කම්මුල් මත සිය රුධිරයෙන් වැකුණු අත් දෙක තැබුවේය.

ඉන්පසු බියෙන් ගැහෙන දරුවාගේ මුහුණ දෙසට ලංවූ ඔහු..

දරුවාගේ නළල මත හාදුවක් තැබුවේය...

ඉන්පසු අනිත් පැත්ත හැරුණු සමන්ත හෙමින් ඇවිදගෙන ගියේ තමා දෙසට පොලු මුගුරු ඔසාවාගෙන එන ජන ප්‍රවාහය බිඳක්වත් මායිම් නොකරය...


- රකිත චන්දුල ධර්මසේන -







Tuesday, September 10, 2019

එකටම ගියත් දෙපලක

ඉපදී හැදී වැඩුණේ එකට
දෙපොලක තනිවෙලා නමුත් ගෑවී නොගෑවී එකිනෙකාට
බාෙහෝ දුර ගමන් ගියාට
දෙදෙනා වෙන් නොවී..

ගෙදර ආ සැනින්
නුඹලා නුඹලාටම
නැති වේ යැයි බයට!
අල්ලා ගැට ගැසුවෙමි එකට.
.
.
.
.
මගේ මේස් දෙක




Monday, September 9, 2019

වැසි දිනක්

උදේ සිට චුරැ චුරැව
නොනැවතී ඇදහැලෙයි
සිවිලිමෙන් බේරිලා
වැහි බිංදු ගේ තෙමයි
ගුලි වෙලා ඇඳට වී
ගත සිත ම මූසලයි
ෂික්! අද අපිට බොන්න තිබ්බෙ බං..

අද හරිම සීතලයි




Thursday, August 29, 2019

මගියා

බස් නැවතුමට පැමිණි මගියෙකි. අසල ඇති සිල්ලර කඩයකින් ඔහු දුම්වැටියක් මිලට ගත්තේය. ගින්දර ඉල්ලා නොලැබුණු නිසා ගිනි පෙට්ටියක් ද මිලට ගනී.

බස් නැවතුමේ බසයක් එනතුරු බලාසිටින ගැහැණු - පිරිමි පට්ටියෙන් ඈතට ගිය මගියා දුම්වැටිය මුවේ රුවාගෙන ගිනි පෙට්ටිය අතට ගත්තේය. ගිණි කූර ගිනිපෙට්ටියේ පටිය දිගේ ඔහු ඇතිල්ලුවේ බොහෝ අය කරනා පරිදි ඉස්සරහ අතට නොවේ , පිටුපසටයි. ඕනෑම සැඩ සුලඟක පවා ගිණිකූර නිවා ගන්නේ නැතුව දුම්වැටියක් පත්තු කිරීමට උපකාරී වන මේ විධික්‍රමය ඔහු පුරුදු වූයේ අත්දැකීමෙන්මයි.

දුම්වැටිය කෙමෙන් ඇවිලෙත්ම ඔහු උගුරක් ඇද දුම් රොදක් එලියට පිට කරයි. සිගරැට් ගඳ දැනුණු ගැහැණුන් කීප දෙනෙක් නාසා අකුලවා ගනිති. උපේක්ෂාවෙන් වට පිට සිරි නරඹන මගියා ගැඹුරු දුම් උගුරු කීපයක් සිය පපුවට පුරවා ගනී. දුම් රළ එලියට පිට කරන්නේ තනි කෙලින් දුම් කදම්බයක් යන ආකාරයටයි. පිටවන දුම් රටා වෙත නෙත යොමු කරමින් ඔහු මදකට කල්පනාවක සිරවේ.

"කොට්ටාව කොට්ටාව කොට්ටාව ඔට්ටාව නගින්න නගින්න නගින්න!!"

කඩාගෙන බිඳගෙන පැමිණි බස් රථය ඔහුගේ දැහැන බිඳ දැම්මේය.

"කෝ නගින්න නගින්න ඉක්මන් කරන්න " කොන්දොස්තර ගේ අවසන් නිවේදනය සමගම මගියාගේ හිත කලබලයකින් පිරී යයි. පුළුවන් උපරිම වෙර යොදා අවසාන දුම් උගුරක් අදින ඔහු දුම්වැටිය මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ලෙන් අල්ලා , දබර ඇඟිල්ලෙන් පහරක් දී එය වීසි කිරීමට සැරසේ. මේ ආකාරයට දුම්වැටි වීසි කිරීමට ඔහු හුරුවූයේ එය "cool" යයි ඔහු සිතූ බැවිනි! දුම්වැටිය වීසි කිරීමට පෙර මොහොතක් කල්පනා කල ඔහු අදහස වෙනස් කරගත්තාක් මෙන් ඔලුව වනා බාගයක් වත් බී නැති දුම්වැටියේ තවමත් දැල්වෙන ගිනි ගත් කොණ විගහට තම රබර් සෙරප්පුවේ අඩියේ අතුල්ලා එය නිවා දැමුවේය. මේ වනවිටත් ඔහු ගැන බලාපොරොත්තු අතහැර බස් නැවතුමෙන් අද්දමින් තිබූ බස් රථයේ දිව ගොස් එල්ලෙන ගමන් ඔහු නිවුණු දුම්වැටිය සිය කලිසමේ පිටුපස සාක්කුවට දමා ගනී . අකාලයේ නිවුණු දුම්වැටියෙන් නැගෙන කාලකන්ණි දුම් ගඳක් මගියාගේ නැහැයට ද ලාවට දැනේ. 

සෑම දෙයක්ම සිදුවූයේ ඉතා කලබලයට ය.

"මහත්තයා කොහෙට ද ??" කොන්දොස්තරවරයා මගියා දෙසට අත පාගෙන සිටී..

'පොඩ්ඩක් ඉන්න' යයි ඔලුවෙන් සන් කල මගියා කලිසමේ ඉදිරිපස සාක්කුව අත පත ගා සල්ලි නෝට්ටු සෙව්වේය. "ආ මල්ලි, පන්නිපිටිය එකයි" ඔහු කොන්දොස්තර වෙතට අත දිගු කරමින් පැවසුවේය. "රුපියල් විස්සයි " කියමින් කොන්දොස්තර මගියා විසින් ලබා දුන් දේ සිය අතට ගෙන ටිකට් මැෂිමට පාරක් දෙකක් කෙටුවේය. ඉන්පසුව එක වරම සිහි එලවා ගත්තාක් මෙන් ඇස් ගෙඩි ලොකු කර ඔහු මගියා දෙස බැලුවේය , මගියා විසින් තම අත මත තැබූ මුදල දෙස බැලුවේය.

"මේ මොකද්ද අයියේ මේ දීල තියෙන්නේ???" හහා , මගියා කොන්දොස්තර මහතාට මුදල් යයි සිතාගෙන දී ඇත්තේ ඔහු සිල්ලර කඩයෙන් මිලට ගත් ගිනි පෙට්ටියයි!

මගියා ගේ මුවගට සිනාවක් නැගුණි. බස් එකේ තෙරපෙමින් සිරවී සිටි මිනිසුන් ද මදකට සිය දුක්බර ගමන අමතක කර "හැක හැක" ගාමින් සිනාවීමට පටන් ගත්හ! මුළු බසයම සිනා හඬින් පිරී ගියේය. අයෙක් මගියාගේ පිටට තට්ටුවක් ද දමා සිනාසෙයි!! හහා !

"කෝ දෙන්න මල්ලි , සොරි " සිනා මුහුණෙන් යුතුව පැවසූ මගියා කොන්දොස්තරවරයාගෙන් නැවතත් ගිනි පෙට්ටිය ඉල්ලගෙන සිය කලිසම් සාක්කුවට දමාගත්තේය.

"මේක පාවිච්චි කරපු එකක් නේ මල්ලි , එක ගිනිකූරක් අඩුයි , මල්ලිට පාඩුයි. රුපියල් විස්සයි නේ ගාණ ? ආ මෙන්න මේ ගිනිපෙට්ටි හතර තියාගන්නකෝ අලුත්ම ඒවා.." මගියා සිය කලිසම් සාක්කුවෙන් අලුත්ම ගිනිපෙට්ටි හතරක් ගෙන කොන්දොස්තරවරයාට දුන්නේය!

මුළු බස් රථයම ව්‍යාකූල බැල්මවල් වලින් පිරී ගියේය. සිනා හඬ කෙමෙන් මැකී ගියේය. මේ සිදුවන්නේ කුමක් ද යයි සිතා ගැනීමට නොහැකිව සැවොම අන්ද මන්ද වූවා වැනියි.

ගිනිපෙට්ටි හතර අතට ගත කොන්දොස්තරවරයා ගිනි පෙට්ටි හතරම සාක්කුවට දමාගෙන අනෙක් අතට හැරී , තවමත් පුදුමයෙන් මේ සිදුවීම දෙස බලා සිටිනා බස් මගී කුට්ටිය අතරින් රිංගා අතුරුදහන් විය. නමුත් ඔහු මගීන් අතරින් ගිය අඩිපාර වත් මැකීයාමට පෙර ඔහු නැවතත් ගිය පාර දිගේම මගියා වෙත කලබලයෙන් ආපසු පැමිණියේ යමක් අමතක වූවා මෙනි..

"මහත්තයා.." ඔහු මගියා ඇමතුවේය..

"ඉතුරු දෙන්න අමතක වුණා නේ.." කොන්දොස්තොරවරයා මගියාට ගිණිකූරු තිහක් දික් කළේය !

බස් රථය නිහඩ විය.




Tuesday, August 27, 2019

Heavy Metal අම්මා \m/

අද යාලුවෙක් එක්ක කරපු කමෙන්ට් සංවාදයක් නිසා පරණ සිද්දියක් මතක් වුනා.

මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මෙටල් සංගීතයට ටිකක් ප්‍රිය කළා. ඉතින් මගේ කාමරේ තිබ්බ CD සහ කම්පියුටරේ තිබ්බ mp3 බහුතරයක් මෙටල් සින්දු තමයි තිබුනේ. කාමරේ අලවන් හිටියෙත් ඒ කාලේ සන්ඩේ ටයිම්ස් එකේ ( හෝ ඔබ්සර්වර් එකේ ) සංගීත අතිරේකෙන් කපාගත්ත රොක් බෑන්ඩ් වල චායාරූප. ඇත්තටම 2000 ගණන් වල මුල හරියේ ලංකාවේ රොක් සීන් එකේ ලොකු පිබිදීමක් තිබුණා මගේ ටිකිරි මොලේට දැනිච්ච විදියට නම් , ඒ ගැන පස්සේ කියන්නම්කො. කොහොමහරි ඔහොම තමයි ඉතින් මගේ තරුණ ජීවිතේ සංගීත රුචිකත්වය තිබුනේ.

කරුණු කාරණා ඔහොම තියෙද්දී මම එක දවසක් කැම්පස් ඇරිලා ගෙදර ආවා , මම හිතන්නේ 2009 හෝ 2010 අවුරුද්දේ දවසක්. මම කාමරේ ඇරගෙන ඇතුලට එනකොටම මෙන්න බොලේ අපේ අම්මා , මගේ ක්‍රියේටිව් 2.0 සබ් එකේ , කන පැලෙන්න සද්දේ දාගෙන මෙටල් සින්දුවක් අහනවා ! ඒකත් මේ ලයිට් රොක් එකකුත් නෙමෙයි ටිකක් විතර හෙවී සද්දයක් තිබ්බ Black Label Society ලගේ සින්දුවක් තමයි අම්මා ෆුල් බ්ලාස්ට් දාගෙන හිටියේ ! අම්ම මොන ලෝකෙන්ද මෙටල් ෆෑන් කෙනෙක් වුණේ කියලා මම බයෙන් බිරාන්ත වෙලා බලන් හිටියා ! මම හිතන්නේ මම කාමරේ දොර අරිනකකොට සාතන් කාමරේ ඇතුලේ වාඩි වෙලා හිටියත් මට ඒ තරම් ශොක් එකක් එන එකක් නෑ

“අම්ම කොහොමද Black Label Society ලගේ සින්දු අහන්නේ??” මම ඇහුවා ඉතින් තක්බීර් වෙලා..

එතකොට තමයි අම්මා කිව්වේ “ආහ්.. ඒ කවුද කියල නම් මම දන්නේ නෑ. හැබැයි මේක පරණ සින්දුවක් නේ , නීල් යන්ග් ගේ" කියලා...

බලන් ගියාම අම්මා ඒ අහපු සින්දුව , මේ පහලින් දාල තියෙන එක , ඒක නීල් යන්ග් ගේ පරණ සින්දුවක් අම්මලාගේ කාලේ ආපු !



.............................
ඇත්තටම නීල් යන්ග් කියන්නේ කව්ද කියලවත් මම ඒ කාලේ දනන් හිටියේ නෑ. අපි ඉස්සර හිතුවේ හෙවී වෙන තරමට තමයි බෑන්ඩ් එක ‘පොරක්’ වෙන්නේ කියලා. ඒත් දැන් දැන් නීල් යන්ග් ගේ සින්දු මම ටික ටික අහනවා. එතකොට මට හිතෙනවා පසු කාලීනව ආපු ගොඩක් හෙවී සංගීත ආර වලට නීල් යන්ග් වගේ අය ඒ කාලේ ගහපු සින්දු හේතු වෙන්න ඇති කියලා. මොකද උගේ සින්දු වල තියෙන්නේ අමුතුම වයිබ් එකක්.
ෆන් ෆැක්ට් - “It’s better to burn out than to fade away” – Kurt Cobain , මේ වැකිය මම දැකලා තියෙනවා ගොඩක් ඔන්ලයින් පෝස්ට් වල. ඔය වැකිය කර්ට් කෝබේන් උගේ අවසන් ලියුමේ ලියපු එකක් , ඒක නිසා ඒකෙ කතෘ අයිතිය උට තමයි ගිහිං තියෙන්නේ. හැබැයි බලන් ගියාම ඕකත් නීල් ගේ Hey Hey , My My කියන සින්දුවේ කැල්ලක්.


Tuesday, August 20, 2019

Hangover Part 2

බීමත්ව සිටිනා විට
ලොව සැනකෙලියකි
වෙරි හිඳුනාට පසු
එය මළකෙලියකි..



Wednesday, August 7, 2019

සික්කා

ලොවම නිදන පාලු රැයේ මදුරු තලන සික්කා
කොළඹ හතේ වස්තු රකින ගමෙන් ආපු සික්කා 
ලොක්කන්ගේ ගොන් වැඩටත් බැනුම් අහන සික්කා
හාල් කෑලි වලට පවා "සර්" කියන සික්කා

රට වෙනුවෙන් උතුරු කොරේ සටන් වැදුණු සික්කා
දරු මල්ලන් රකිනු පිණිස දැන් බැංකුවෙ සික්කා
ෆයිව් ස්ටාර් හෝටලයම මුර කෙරුවත් සික්කා
චූන් පාන් වීල් එකෙන් හවසට කයි සික්කා

විනාඩියක් ඇහැ පියවුණු නිසා බැනල ලොක්කා
වැසුණු නෙතින් කඳුළු සලයි කොනකට වී සික්කා
හමුදා ලේ ඇඟ දිව්වත් ඉවසනවා සික්කා
"පීප් පීප්" හෝන් හඬට උඹ දුවපන් සික්කා


Thursday, August 1, 2019

ගල්

අපි පව්කාරයන්-ට-ගල් නොගැසුවෙමු
අපි පවුකාරයෝ වෙමු 
එමනිසා
අපි ගල් ගැසුවෙමු



Thursday, July 18, 2019

ගුත්තිල මූසිල සටන නව වර්ෂන් එක


ගුත්තිල සහ මූසිල කියන්නේ ඩීජේ ල දෙන්නෙක්. ගුත්තිල තමයි පළාතේ ඉන්න ලොකුම සහ ප්රවීනම ඩීජේ.

ඕනේම බීච් පාර්ටි එකක නැගලම යන සෙට් එක ගහන්නේ ගුත්තිල. පිටරටින් ඩීජේලා එන පාර්ටි වල ඕපනින් සෙට් එක ගහන්නේ ගුත්තිල. ඒ විතරක් නෙමෙයි පළාතේ තිබ්බ ලොකුම නයිට් ක්ලබ් එක වෙච්ච "හැපී බ්රහ්මදත්ත" එකේ රෙසිඩන්ට් ඩීජේ විදියට සෙල්ලම් කලේ ගුත්තිල. ගුත්තිලට ගහන්න ඩීජේ කෙනෙක් හිටියේ නෑ අහල ගම් හතක.

මූසිල ඒ අතින් බැලුවම තාම ආධුනිකයා , පොර තාම ඔය පොඩි පොඩි වැඩ තමයි කරන්නේ. ඒ කිව්වේ වෙඩින් , කඩ විවෘත කිරීම් , බිග් ගර්ල් පාටි වගේ පොඩි පොඩි උත්සව. දවසක් පොර වෙඩිමකට ගිහිල්ල දන්න සෙල්ලම් ඔක්කොම දාලා සින්දු ගහනවා , හැබැයි වෙඩිමට ආපු එකෙක්වත් නටන්නේ වත් නෑ. උන් ඔහේ බිබී , කන් කස කස ඉන්නවලු. ඕක දැකලා මූසිලයට හෙන අවුල. ඌ අහනවා වෙඩිමට ආපු මිනිස්සුන්ගෙන් "ඇයි අයියා මම ගහනවා හරි නැද්ද" කියලා ?

මිනිස්සු කියනවා "අප්පට සිරි මල්ලි සින්දු ගැහුවද ?? අපි හිතුවේ ඩීජේ සැට් එක මීයෝ කනවා කියල හැක හැක"

දැන් මුට තවත් අවුල , අඬන්න ඔන්න මෙන්න..

එතකොටම එක මිනිහෙක් කියනවා "මල්ලි අර හැපී බ්රහ්මදත්ත එකේ ඉන්නවා කෙරී වැඩකරුවෙක්.. ඩීජේ ගුත්තිල කියලා.. අන්න බුවා ඈ.. මිනිහා ගහනකොට ගෑණු බඩ වෙලා ළමයි හම්බවෙලා ලොකු වෙලා උන් ඇකයෙන් වැටෙනවා එච්චරට ස්මූත් මික්ස් කරනවා.."

ඔය වෙලාවේ තමයි මූසිල තීරණය කරන්නේ එයා ඩීජේ ගුත්තිලගේ ගෝලයෙක් වෙලා සියලු ශිල්ප ඔහුගෙන් ඉගෙන ගන්න ඕනේ කියලා..

ඊට පස්සේ කතාවේ මැද හරිය ඉතින් දනන්වනේ.. මූසිලයා ගිහිං ගුත්තිල බැහැදැකලා තමන්ට ඩීජේ ශිල්ප සතර කියලා දෙන්න කියලා බැගෑපත් වෙනවා. ගුත්තිලයා හැබැයි කැරි මුඩුමයා ඌ කැමති නැහැ එහෙම ලේසියට කාටවත් සාස්තරේ කියලා දෙන්න. ඒක නිසා මුලින් පොර සැහෙන්න අදි මදි කරනවා. ඒත් මූසිලයා දිගින් දිගටම ගුත්තිලයට වද කරනවා. ඊට අමතරව ගුත්තිලයගේ හිත දිනාගන්න උගේ අම්ම තාත්තට එහෙම හොඳට සලකනවා මූසිලයා. ( ගුත්තිලයා අච්චර ප්රසිද්ධ ඩීජේ වෙලත් තාම කසාද බැඳලා නෑ හතර වටේ බඩු ගගහා හිටියා මිසක් , අම්ම තාත්තා එක්ක තමයි පොර හිටියේ )

ඕකෙන් මේකෙන් ඉතින් ගුත්තිලයගේ හිතත් උණු වෙලා පොර කැමති වෙනවා මූසිලයට ශිල්ප සතර කියලා දෙන්න. මුලින් මුලින් පොඩි පොඩි දේවල් කියලා දීලා අන්තිමට දෙන්නා හොඳටම ෆිට් වෙලා ගුත්තිලයා දන්න සියල්ලම කියලා දෙනවා. ගල් කබ්බෙක් වගේ හිටපු මූසිලයා දවසෙන් දවස ශිල්පෙ අල්ලගෙන අන්තිමට පට්ටම වැඩකාරයෙක් වෙනවා. ඉස්සර පොඩි පොඩි වැඩ කර කර හිටපු මිනිහට දැන් ටික ටික පාර්ටි එක දෙක ගහන්න සෙට් වෙනවා. මූසිලගේ නමත් කටින් කට පැතිරෙනවා. කාලයාගේ ඇවෑමෙන් මූසිලයා පළාතේ හොඳ නමක් දිනාගත්ත ඩීජේ කෙනෙක් වෙනවා.

කොල්ලොත් තැන තැන කතා වෙනවා දැන් මූසිලය ගැන..

ඉස්සර නම් ගුත්තිලයට ගහන්න එකෙක් හිටියේ නෑ මේ ප්‍රාන්තේ.. දැන් හැබැයි අර අලුත් එකෙක් ඉන්නවා මූසිල කියලා පට්ට ගැහිල්ලක් ගහන්නේ ආ.. පෙරේදා පාර්ටියක ගැහුවා සෙට් එකක් අම්මා... “

ඔය අල්ල පනල්ලේ මූසිලයගෙත් ඔලුව ඉදිමෙනවා.. දැන් උට ඕනේ ගුත්තිල අවුරුදු ගානක් ගහපු “හැපී බ්‍රහ්මදත්ත” ක්ලබ් එකේ රෙසිඩන්ට් ඩීජේ කම ගන්න.

මූසිලයා යනවා හැපී බ්‍රහ්මදත්ත එකේ අයිතිකාරයා වන බ්‍රහ්මදත්ත අයියා හම්බවෙන්න. බ්‍රහ්මදත්ත අයියට හැමෝම කිව්වේ “රාජා” කියලා.

රාජා අයියේ..”

ආ මූසිල මල්ලි..මොකෝ මේ පැත්තේ ආ.. කාලෙකින් සෙට් වුණේ ඉතින්... උඹ ගැන ආරංචියි අපිටත් ... සිරාවට සෙල්ලම් කරනවා කියලා කොල්ලෝ කතා වෙනවා.. සතුටුයි ආ.. එකෙන්ම..”

ඒක තමයි රාජා අයියේ මම මේ ඔයාට කතා කරන්න ආවේ.. අයියා දන්නවනේ දැන් මම තමයි මේ පළාතේ ඉන්න හොඳම වැඩකරු.. ඒක නිසා අයියටත් හොඳ නැද්ද ක්ලබ් එකේ ඩීජේ ජොබ් එක මට දුන්න නම්.. ලොකුම ක්ලබ් එකේ ගහන්න ඕනේ හොඳම ඩීජේනේ අයියේ නැද්ද..??”

රාජා අයියා ටිකක් කල්පනා කරනවා..

මල්ලි ඒක හරි.. ඒත් මල්ලි දන්නවනේ ගුත්තිලයා මගේ හොඳ යාලුවා කියලා.. මේ ක්ලබ් එක දාපු කාලේ ඉඳන්ම ඌ තමයි මේකේ ගැහුවේ.. ඌ මේකේ සෙල්ලම් කරන්නේ ඌ අර “G Daddy” කියලා ගොබ්බ නමකුත් දාගෙන හිටපු කාලේ ඉඳන් හික් හික් ...”

අයියේ..”
දැන් ගුත්තිලගේ කාලේ ඉවරයි “
දැන් තියෙන්නේ මගේ කාලේ”
කව්ද වැඩකරු කියලා ඔයාට බලාගන්න ඕනේ නම් , ඔයා අපි දෙන්නම හෙඩ් ටු හෙඩ් සෙල්ලම් කරනවා අහන් ඉන්න”
අහලා දක්ෂයා ඔයාම තෝරාගන්න!”
මම උට චැලේන්ජ් කරනවා !! “
ඌ ඔය කියන තරම් වැඩ්ඩේක් නම් ඌ මගේ චැලේන්ජ් එක බාරගනියි..”
තැනයි වෙලාවයි මට ටෙක්ස්ට් කරන්න , මම යනවා..”
දඩස්!!!!”

දොරත් වහගෙන මූසිලයා යනවා.
ටිකක් කල්පනා කරන රාජා අයියා ගුත්තිලයට කෝල් එකක් ගන්නවා....
.............................................................

රාජා අයියා ෆෝන් එකෙන් කියපු ටික ගුත්තිලට ඇහුනේ හීනෙන් වගේ...

මචන්... “
චැලේන්ජ් කරනවා බං....”
හෙට උදේ 10ට ක්ලබ් එකට වරෙන්... කව්රුත් නෑ උඹයි මායි ඌයි විතරයි..”
සොරි බං මුකුත් හිතන්න එපා...”
දක්ෂයට තැන දෙන්න එපැයි බං....”
හෙට වරෙන් එහෙනම්............”
අපි තිබ්බා..”

කැරි මූසිලයා ! මූ ගොට්ට අල්ලගෙන එනකොටම මම දැනගත්තා ! අපරාදේ මේ වගේ සර්පයෙකුට මම කිරි පෙව්වේ.. මූ මගෙන් ඉගෙන ගත්ත සාස්තරෙන් මටම කෙලින්න එනවා නේ..

මට දැන් මූ එක්ක කොහොමත් හැප්පෙන්න බෑ.. මට මහලු වයසේ.. බැරිය ඩීජේ කරනු පෙරසේ..

මුගෙන් හෙට පැරදෙනවට වඩා මට නම්බුයි මැරෙන එක..
ඔව් මම යනවා මැරෙන්න..

එහෙම හිතපු ගුත්තිලයා අම්මටයි තාත්තටයි වැඳලා කැප් එකත් දාගෙන ( පිණි බාන නිසා , උට පීනසේ ) යනවා එලියට..

අම්මේ මම බීච් එක පැත්තේ යනවා.. මට රෑට කෑම තියන්න එපා...”

ගුත්තිලයා හීමීට බීච් එක දිගේ මුහුද දිහාට ඇවිදගෙන යනවා.. රෑ වෙලා නිසා රැල්ලත් සැරට ගහනවා මුහුද පැත්තට..

මම මෙහෙමම ඇවිදගෙන ගිහිං මුහුදට බිලි වෙනවා.. හෙට පැරදෙනවට වඩා මැරෙන එක සැපයි මට..”

මුහුදු රැල්ල ටිකෙන් ටික ගුත්තිලයට පෑගෙනවා..

බොසා.. ඒ බොසා..”

එක පාරටම කව්ද මන්දා කෑගහන සද්දේ ඇහෙනවා.. ගුත්තිල වට පිට බලනවා..

ඒ බොසා... බයිට් පැකට් එකක් වතුර බෝතලයක් ගන්නවද???”

බලනකොට බීච් එකේ පොඩි පොඩි අයිටම් උස්සගෙන විකුනන්න යන පොරක්.. ගුත්තිලයව දැකලා ලඟට දුවගෙන ඇවිත් බයිට් පැකට් වගේකුයි වතුර බෝතල් ටිකකුයි උස්සගෙන..

මේ මැරෙන්න යන අස්සේ මොන බයිට් ද..” ගුත්තිලයට එහෙම හිතුනත් මුකුත් නොකියා ඉන්නවා..

මොකද බොසා මේ අවුලෙන් වගේ ඉන්නේ... මේ.. බයිට් පැකට් එපා නම් කේජී කෑල්ලක් වගේ සෙට් කරන්නද.. ආ.. ? “ බයිට් බුවා අහන්නේ වටපිට බලන ගමන්..

ඒක ඇහුවා විතරයි එච්ච්චර වෙලා ඉවසන් හිටපු දුක ශෝකය දෝරේ ගිහිල්ලා ගුත්තිලයා අඬන්න පටන් ගන්නවා වලහෙක් වගේ !!

ඉහි ඉහි ඉහි ඉහි.... “

බොසා මොකෝ මේ.. මොකෝ සීන් එක ආ.. කියන්න බොසා.. “ බයිට් බොසා ගුත්තියලගෙන් අහන්නේ කරටත් අතක් දාන ගමන්.. කොහොමත් මිනිහෙක් කරදරේ වැටුනම උදව් වෙන්න එන්නේ පොඩි මිනිහෙක්ම තමයි ඉතින්..

ගුත්තිලයත් අඩ අඩ මුළු සිද්දියම බයිට් බොසාට කියනවා.. බලන් ගියාම බයිට් බොසත් ගුත්තිල අඳුරන එකෙක්.. ඉස්සර ගමේ පොල් ගස් නැග්ග චාමරයා... උට කොල්ලෝ කියන්නේ “දෙයියා” කියලා ඇයි ඉතින් ඌ හැමතිස්සෙම ඉන්නේ “උඩ” නේ ඒක නිසා හැක හැක..

ගුත්තිලයගේ කතාව ඇහුවම මොනා වුණත් දෙයියගේ හිතත් උණු වුනා.. ගහක් ගලක් වගේ හිටපු ගුත්තිලයනේ මේ වලහෙක් වගේ අඬන්නේ කියලා ..

දෙයියා ටිකක් කල්පනා කළා මොනවද මේකට කරන්න පුළුවන් කියලා.. ටිකක් වෙලා කල්පනා කරලා “හරි ! “ කියලා අත්පුඩියක් ගැහුවා !

ඒ බොසා මේ අඬන්න එපා.. මට ආවා සුපිරි අයිඩියා එකක්..”
මම දෙන්නම් ඔයාට විසඳුමක්..”

මෙන්න මේ බයිට් පැකට් වැලයි වතුර බෝතල් ටිකයි අල්ලගෙන අර බීච් එකේ වාඩි වෙලා ඉන්න බොසා විනාඩි පහක්.. මං එන්නම් විනාඩි පහෙන් ආ.. ආ ගන්න මේ සිගරට් එක.. මේකත් ගහගෙන ඉන්න, වතුරට පනින්න එපා හොඳේ !! මම ආයේ ඉන්නේ ඔයාට විසඳුමත් අරගෙන..”

එහෙම කියලා දෙයියා බයිට් පැකට් වැල ගුත්තිලගේ කරේ එල්ලලා වතුර බෝතල් ටිකත් උගේ ඇඟේ ගහලා සිගරට් එක කටේ ගහලා උඩ පැනගෙන දිව්වා පාර පැත්තට.. ගුත්තිලයත් අනේ ඉතින් “හා හොඳයි “ කියලා කඳුළු පිහදාගෙන හෙමින් සැරේ රැල්ලෙන් අහක් වෙලා බීච් එක පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා. එතකොටම මෙන්න එනවා දෙයියා ආයෙත් ගුත්තිල දිහාට දුවගෙන..

සිගරට් එකක් දුන්නට ලයිටර් එක අමතක වුනා නේ..” ඌ ආපහු ඇවිත් තියෙන්නේ ගුත්තිලට ලයිටර් එක දෙන්න!

මම විනාඩි පහෙන් එනෝ.... වතුරට පනින්නේ නැතුව ගොඩින් වාඩි වෙලා ඉන්න බොසා...”

දෙයියා ආයෙත් පාර දිහාට දුවන ගමන් සාක්කුවෙන් ෆෝන් එක අරන් කාටද කතා කරනවා ගුත්තිල දැක්කා..
.............................................................


පැය භාගයක් විතර ගියා. ගුත්තිල බීච් එකේ වාඩි වෙලා දෙයියා එනකන් බලන් ඉන්නවා.. කම්මැලිකමට දෙයියා විකුනන්න ගෙනාපු බයිට් පැකට් වලින් එකක් කඩාගෙන කන්නත් පටන් ගත්තා.

වීල් එකක් එන සද්දයක් ඇහුනා..

හරි බං එල ආ... මම ගාන සෙටල් කරන්නම් හෙට උදේට.. හරි බං ගිහිං වරෙන්.. “

ආ බොසා.. ඔන්න ගේනවා ඔයාගේ ප්‍රශ්නෙට විසදුම..” දෙයියා ආපහු ඇවිත් !

මෙන්න බොසා.. මේ තියෙන්නේ ඔයාට හෙට දිනුම ගෙනත් දෙන භාණ්ඩ ටික...”

මේ තමයි මහා බලසම්පන්න..”
නියත ජය ගෙනෙන”

ගුලි තුන!!!”

ගන්න බොසා..”

දෙයියා ගුත්තිලගේ අතේ මොනවද මන්දා ගුලි තුනක් මිට මොලවලා හිනා වුනා..

මේ මොනාද බං මේ??” ගුත්තිල ඇහුවේ තක්කු මුක්කු වෙලා..

ඉන්නකෝ බොසා එකෙන් එක කියන්න..” දෙයියා ගුත්තිලගේ අතින් සෙලෝෆේන් කොළ තුනක ඔතලා තිබ්බ ගුලි තුන අරගෙන එකින් එක දිග අරින්න ගත්තා..

මේ පලවෙනි ගුලියේ තියෙන්නේ බොසා ස්ටැම්ප් එකක්..ඒ කිව්වේ LSD.. බොසා හෙට සෙට් එක පටන් ගන්න පැය දෙකකට විතර කලින් මේක දාගන්න.. මේක දැම්මා විතරයි බොසාට හොඳට සින්දු මික්ස් වෙන්න පටන් ගන්නවා..”

මේ දෙවෙනි ගුලියේ තියෙන්නේ බොසා පිල් එකක්.. එක්ස්ටසි.. බොසා මේක සෙට් එක පටන් අරන් විනාඩි 5කින් විතර දාන්න.. ආයේ වටේ පිටේ ඉන්න ගෑණු ඔක්කොම නටන්න ගන්නවා මේකේ බලේට.. හරි ?”

හ්ම්ම්.. හරි” ගුත්තිල ඔලුව වැනුවා..

මොනාද බොසා ඔයාලා අවුරුදු ගානක් ඩීජේ කරලත් මෙව්වා දන්නේ නෑ නේ..”

හරි.. ඔන්න තුන් වෙනි ගුලිය මෙන්න..”

මේ තුන්වෙනි ගුලිය බොසා හෑෂ් කාලක්.. හොර බොරු නෑ හරියටම කාල තියෙනවා.. මේකෙන් ජොයින්ට් එකක් ඔතලා ගැහුවා කියන්නේ බොසා මේකේ බලේට ආයේ රාජා අයියත් නටන්න ගන්නවා ඒකෙ දෙකක් නෑ !”

හරි නේ බොසා එහෙනම් ? ඔන්න දෙයියා ගුලි තුන දීලා තියෙන්නේ පැකේජ් එක , එල කිරි වගේ...බොසාට දැන් හරියට උඩ දාන්න විතරයි තියෙන්නේ..

ඕයි දෙයියා තමුසෙනම් සිරාවටම දෙයියෙක්ම තමයි.. මට මේ ඔක්කොම එපා වෙලා හිටපු වෙලාවේ මේ කරපු උදව්ව කොහොම අමතක කරන්නද..”

මම මේ ගුලි තුන පාවිච්චි කලොත් අනිවා මම දිනයි නේද? අම්මප මෙච්චර වස විස ගහලත් මට මේක මීටර් වුණේ නෑ නේ ඕයි..” ගුත්තිල ඇහුවා..

අනිවා බොසා මොනාද මේ කතා.. ජය අපටයි ලංකාවේ.. බොසා යන්න බය නැතුව.. මම කියපු විදියට ගුලි තුන ගහන්න. බඩු ෂුවර්..”

හරි බං.. උඹ නම් දෙයියෙක්ම තමයි !” දෙයියට හග් එකක් දීපු ගුත්තිල ආපහු ගෙදර යන්න ලැස්ති වුණේ හෙන මොරාල් එකෙන් !

මේ බොසා.. මේ....”
ඇයි බං කියහන්..”

නෑ බොසා මේ ඔය බඩු ටික හෙන අමාරුවෙන් හොයාගත්තේ.. දන්නේ නැද්ද මේ ටිකේ නඩුව නේ.. හතර වටේ ගිහිල්ලා තමයි බඩු ටික ගත්තේ.. මොකෝ මටත් ඩිරෙක්ට් කන්ටැක්ට් නෑ නේ.. කීප දෙනෙක් අතින් අත ගිහිං තමයි මට එන්නේ.. ඉතින් ගාන ටිකක් වැඩි..”

හරි උඹට කීයක් ඕනේද කියහන්කෝ..” ගුත්තිල කිව්වා

මම මේ මැරෙන්න ගිය එකේ උඹ මාව බේරගත්ත එකම මදැයි.. වරෙන් අපේ ගෙදර යන්න.. මම ගිහිං උඹට සල්ලි දෙන්නම්.. මැරෙන්න යද්දී පර්ස් අරන් යන එකක් යෑ බං , පර්ස් එක ගෙදර. යමං..”

හෙහ් හෙහ් බොසා ඉතින් සතුටින් දෙන එකේ...”
මුද්දරේට බොසා තුන්දාහක් ගියා.. පිල් එකට තුන්දාස් පන්සීයයි.. හෑෂ් කෑල්ලට නම් පන්දාහක් වගේ ගියා බොසා...”

අඩෝ හෑෂ් වලට වැඩී නේ බන් ගාන !!”
එහෙම තමයි බොසා ඉතින්.. මම ළඟටම ගෙනල්ලත් දුන්න නේ..”

හරි හරි ඩෝ මමත් ක්ලබ් එකක ඩීජේ තමයි කලේ මෙච්චර කල්.. මමත් ගණන් හිලව් දන්නවා.. කමක් නෑ උඹ මට හෙල්ප් එකක් නේ දුන්නේ.. වරෙන් යන්න අපේ ගෙදර .. මම සල්ලි දෙන්නම්....”

ගුත්තිල දෙයියගේ කරට අත දාගෙන ගෙවල් දිහාට ඇවිදගෙන යන්න පටන් ගත්තා.
මේ බොසා වීල් එකටත් පන්සීයක් විතර...”
.............................................................

කතාවේ අන්තිම ටික රස කර කර කියන්න ඕනේ නෑ නේ.. ඔයාලා හැමෝම දන්නවා ජාතකේ වෙන්නේ මොකද්ද කියලා..
ඔන්න තරගේ දවස උදා වුනා.. දෙයියා කියපු විදියට ගුත්තිල තමන්ගේ සෙට් එක පටන් ගන්න පැය දෙකකට කලින් පලවෙනි ගුලිය, ස්ටෑම්ප් එක දාගත්තා..

දාගෙන ක්ලබ් එකට යනකොට මූසිලයත් ඔන්න ඇවිත්.. ගුත්තිලව දැකපු මූසිල ලඟට ඇවිත් , උරහිසට අත තියලා කතා කළා..
ගුත්තිල අයියේ.. පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි අයියේ මේ...”

අඩෝ මේ අයියා පයියා ගාගෙන එන්න එපා... ගේම නම් ගේම.. පලයන් ගිහිං ලෑස්ති වෙයන්.. හු..” මුද්දරෙන් සූර් වෙලා හිටපු ගුත්තිල මූසිලයගේ අත ගසා දාන ගමන් කිව්වා.. මූසිලයත් ඔරවගෙන අහකට ගියා..

හරි”
දෙන්නම ඇවිත් ඉන්නේ”
එහෙනම් වැඩේ පටන් ගමු”
කව්ද මුලින් යන්නේ..”

මම මුලින් ගහන්නම්..” ගුත්තිල සිගරට් එකකුත් පත්තු කරගෙන ඩෙක් එක ලඟට ඇවිත් හරි බරි ගැහිලා ලෑස්ති වුනා..

ගුත්තිල හෙමිහිට සින්දු එක දෙක ප්ලේ කරන්න පටන් ගත්තා.. පලවෙනි ගුලියේ බලයෙන් මික්ස් කරන සින්දු ඔක්කොම බටර් වගේ මික්ස් වෙනවා ගුත්තිලට දැනෙන්න පටන් ගත්තා..

දෙයියා කිව්වත් වගේ දෙවෙනි ගුලිය , ඒ කිව්වේ පිල් එක ගුත්තිල හෙමින් සැරේ කටේ ඔබාගත්තා..

මෙන්න ටික වෙලාවක් යනකොට දෙයියා කිව්වා වගේ කොහෙන්ද මන්දා ගෑණු සෙට් එකක් බැහැලා ක්ලබ් එකේ නටනවා ! ගුත්තිලට දැන් ෆුල් කික්!

අඩෝ බලහන් කොහොමද මගේ වැඩ” කියන්න වගේ ලුක් එකකුත් දැම්මා පොර මූසිලයට..

හරි.. දැන් තුන්වෙනි ගුලියත් උඩ දාන්න වෙලාව ..

ගුත්තිල අලුත් සින්දුවක් පටන් අරගෙන සට සට ගාලා දෙයියා දීපු හෑෂ් කාලෙන් ජොයින්ට් එකක් ඔතා ගත්තා.. ඔතාගෙන බර පන්තියෙන් උගුරු දෙක තුනක් ඇදගත්තා.. ඊට පස්සේ මුළු ජොයින්ට් එකම එක හුස්මට ඇරලා දැම්මා..

මෙන්න බොලේ ටිකක් වෙලා ගියාම රාජා අයියත් නටාගෙන එනවා පේනවා !

අම්මට සිරි බඩු වැඩ ! යකෝ රාජා අයියත් නටනවා මගේ මික්ස් එකට!”

ගුත්තිල ෆුල් සතුටෙන් සෙට් එක ගහලා නිමා කළා..

ඔන්න රාජා ෆුල් රොක් කරලා තියෙන්නේ ආ..” ගුත්තිල රාජා අයියට කිව්වේ සිගරට් එකකුත් පත්තු කරගන්න ගමන්..

මේ හුජ්ජ කොල්ලන්ට බෑ බං අපි එක්ක හැරෙන්නවත්.. හහ්!” ඒක නම් කිව්වේ මූසිල දිහා බලාගෙන..

හරි හරි උඹ වාඩි වෙයන් දැන්..“
"මූසිල මල්ලී.."
දැන් උඹ ගහපන්..”

මූසිල තමන්ගේ සෙට් එක ගැහුවා.

දැන් ඔන්න ප්‍රතිපල දෙන වෙලාව..

හරි” රාජා අයියා කිව්වේ තීරණයක් ගත්ත ස්වරූපයක් මූනට ආරුඩ කරගෙන..

මම දැන් දෙන්නම සෙල්ලම් කරනවා දැක්ක නේ.. මම තීරණයක් අරන් ඉවරයි..”

හරි මම තමයි !” ගුත්තිල ගුලි තුනේ බලෙන් දිනපු එක ගැන හිතලා සතුටු වුනා.. නක්කියට මූසිලට පොඩි ටටා පාරකුත් දැම්මා.. කින්ඩි හිනාවකුත් එක්ක..

ගුත්තිල” රාජා අයියා කතා කළා

හෙහ් හෙහ් මම දැනගත්තා බං මම දැනගත්තා මේ පොඩි කැ...”
සොරි මචං..”

මොකා.. මොකා ???”

සොරි බං.. පොඩි එකාට චාන්ස් එක දෙන්න වෙනවා බං...”

ඌ සුපිරියට ගැහුවා බං.. උඹ හෙන ඕෆ් නේ බන් ගහන්නේ.. මික්ස් කරපුවා ඔක්කොම කොත්තු වගේ වැදුනේ කිසිම ස්මූත් ගතියක් නෑ නේ..”

ස්මූත් නැත්තේ කොහෙද යකෝ.. මම කොච්චර සුපිරියට ගැහුවද .. “

ඇයි උඹත් නටාගෙන ආවේ රාජා අන්තිම ටිකේ???”

මම?? මම කොහෙද බන් නැටුවේ.. උඹට පිස්සු ද ???”

මොකෝ බන් නැත්තේ.. ඇයි යකෝ මේ වටේ හිටපු කෙල්ලෝ ටිකත් නැටුවේ පුකවල් වන වන පිස්සුවෙන් වගේ.. උඹ දැක්කේ නැද්ද???”

කෙල්ලෝ?? මොන කෙල්ලෝ ද බං ! යකෝ දැන් දවල් දොළහයි වෙලාව උඹට මතක නැද්ද ?? මමයි උඹයි මූසිලයි විතරයි බං ඉන්නේ ක්ලබ් එක ඇතුලේ !”
පොඩ්ඩක් වට පිට බලහන්...”

ගුත්තිල වට පිට බැලුවා.. ඇත්තටම තමනුත් රාජා අයියත් මූසිලත් ඇරුණු කොට මුළු ක්ලබ් එකේම කව්රුත් නෑ..
...............................................................................

ඒ මචං නැවතියන් බං.. උඹට ඕනේ නම් සතියේ දවස් වල රෑට උඹ ගහපං සිකුරාදා සෙනසුරාදා මූසිල..”
ගුත්තිල අයියේ පොඩ්ඩක් හිටහන් බං....”
දඩස්!!”

දොර වහගෙන මූසිල ක්ලබ් එකෙන් එලියට ආවා.

කැරි දෙයියා”
ගුත්තිල සිගරට් එකක් පත්තු කරගත්තා.

අම්මේ..”
මට රෑ කෑම තියන්න එපා..”
ගුත්තිල බීච් එක දිහාට ඇවිදගෙන යන්න පටන් ගත්තා.. හෙමිහිට...

...............................................................................................

බීච් එකේ කොටයක් උඩ වාඩි වෙලා බියර් එකක් බොන ගමන් ගුත්තිල කල්පනා කලේ තමන් දෙයියා දීපු ස්ටැම්ප්, පිල්, ගංජා වල මතට නතු වෙලා තමන් හෙන සිරාවට සෙල්ලම් කළා කියලා හිතේ මවාගත්ත එක ගැන. මෙච්චර කල් තමන්ගේ සින්දු වලට නටපු මිනිස්සු ගැනත් දැන් ගුත්තිලට සැකයි..
කොහොමහරි , ඕවා අපිට වැඩක් නෑ.. අපි ගුත්තිලට පාඩුවේ කල්පනා කරන්න දීලා ටිකක් අහකට යමු.. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ දේවල් දෙකයි.

එක : කවදාවත් මත්වෙලා කරන කළා නිර්මාණ ගැන ඕනෑවට වැඩිය සතුටු වෙන්න එපා
දෙක : තමන්ගේ ගෝලයන්ගේ දියුණුවට ඉරිසියා කරන කැරියෙක් වෙන්න එපා !

ගුත්තිලත් අපි වගේම බීච් එකේ ඉඳගෙන ඕවා කල්පනා කර කර ඉන්නකොට ඈතින් සද්දයක් ඇහෙනවා..

බයිට් පැකට් එකක්... වතුර බෝතලයක්..”

අඩෝව්.................................. දෙයියා !”

හුකනවා දාලා !”

"බොසා මේ අහන්නකො පොඩ්ඩක්..."

- නිමි -