Monday, March 16, 2020

XD-13

ACT 1

වර්ෂ 2019 යේ අප්‍රේල් මාසයේ වැසිබර දිනයකි. බක්මහ අකුණු කොටන සැටි නැරබීමට තරු හෝටලයේ උඩම මහලට එකක් යටින් පිහිටි භෝජනාගාරය කදිම ස්ථානයකි. ඩෙනිමක් සහ ලස්සන කමිසයකින් සැරසුණු වසර 40ක් පමණ වන දේශීය තරුණයෙකුත් , එපමණම වයසතැයි කිව හැකි කොට කලිසමක් සහ ටී ෂර්ටයකින් සැරසුණු සුදු හමැති විදේශිකයෙක් නැතිනම් සුද්දෙකුත් එක මේසයක දෙපැත්තේ වාඩි වී සිටිති. දේශීය තරුණයා තමන්ගේ ජංගම දුරකතනයේ එහෙ මෙහේ දුවමින් වැඩ ගොඩක සිරවී ඇති සෙයකි. සුද්දා නම් තම ජංගම දුරකතනයෙන් ඈතින් ඇතිවී නැතිවී යන බක් මහා අකුණු වලත් මේසය උඩ ඇති තම කෑම පිඟානේත් අතොරක් නැතුව ෆොටෝ ගසයි.

"අයිසේ.. තමුසෙලගෙ කෑම මාර ලස්සනයි නේ.." දිව උරුක් කරගනිමින් තම කෑම පිගානේ තවත් ෆොටෝ එකක් ගසන සුද්දා පවසයි..

"ඔකේ ෆොටෝ ගහන්නේ නැතුව කෑවා නම් රසත් බලාගන්න පුළුවන් වෙයි" සිය ජංගම දුරකතනයෙන් ඇස ඉවතට නොගෙනම දේශීය තරුණයා පවසයි.

එබස් ඇසූ සුද්දා  "හ්ම්ම් ඒකත් ඇත්ත තමයි" කියන්නාක් මෙන් උරහිස් දෙක අකුලා ගෑරුප්පුවක් ගෙන කෑම එකින් එක ඇන ඇන බලයි.

"දඩාස්!" දේශීය තරුණයා ඇති යන්තම් ජංගම දුරකතනයේ වැඩ අහවර කර එය මේසය මතින් තබයි මහ සද්දෙට.

"දැන්.." දේශීය තරුණයා සුද්දා වෙත සිය මුළු අවධානයම යොමු කර කතාව පටන් ගනී. "දැන් ඔහේ මට කියන්නේ මේක ලොක්කට ලැබෙන්න සලස්වන්න කියල නේ?". මේසය උඩ ඇති ෆයිල් කවරයක් ඔහු සුද්දාට ඇඟිල්ලෙන් පෙන්නයි..

"ඔව්" සිය කෑම පිඟානෙන් ඇස ඉවතට නොගෙනම සුද්දා පවසන්නේ තලු මර මර ඉස්සෙක් හපන ගමන්ය..

"ඊට කලින් කියනවා තමුසේ කොහොමද මාව දැනගත්තේ? මට ලොක්කා එක්ක සම්බන්දකම් තියෙනවා කියලා කොහොමද දැනගත්තේ??" තරුණයා අසන්නේ තරමක බය මුසු කුතුහලයක් සහිතවය.

සුද්දා හැඳි ගෑරුප්පු අමතක කොට දෑතින්ම ඉස්සෙක් හා ඔට්ටු වෙයි.. "හෙහ් හෙහ්.. ඔහෙට ලොක්කා එක්ක සම්බන්දකම් තියෙනවා කියලා කව්ද නොදන්නේ?? ලොක්කව 2015 චන්දෙන් ජනාධිපති කරවන කැම්පේන් එක තනිකරම මෙහෙයෙව්වේ ඔහේ CEO වෙලා ඉන්න ඇඩ්වර්ටයිසින් ඒජන්සිය.තව ලොක්කගේ පක්ෂයට නොනිල වශයෙන් උදව් කරන මේ රටේ තියෙන ඉහලම ව්‍යාපාරික එකමුතුවේ තමුසේ ප්‍රධානම සාමාජිකයෙක්.. ඕවා ඉතින් හැමෝම දන්න දේවල් නේ හෙහ් හෙහ්.. බයිදවේ තමුසෙලගෙ රටේ ඉස්සෝ මාර රසයි අයිසේ..."

"චොක් චොක්.." සුද්දා තලු මරයි.. දේශීය CEO තරුණයා මොනවද කීමට පටන් ගත්තත් සුද්දා අත ඔසවා ඔහු නවත්වයි..

"දැන් මම ඔහේ ගැන වැඩිය කව්රුත් දන්නේ නැති දේකුත් කියන්නම්.. ඔහේගේ අනියම් බිරිඳ ඉන්නේ බැ-ල-පොව්-කූ-නහ් රෝඩ් එකේ රෝයල් හයිට්ස් රෙසිඩන්සීස් එකේ , 8 වෙනි තට්ටුවේ , 4 වෙනි ගෙදර. එයා මේ වෙලාවේ ඉන්නේ ජිම් එකේ. ඕවා ඉතින් එලියට ආරංචි වුනොත් හරි නෑ නේද..දැන් ඔහේ බැඳලත් අවුරුදු 15ක් විතර වෙනවා නේද ?"

"තමුසේ කොහොමද.."

"මම ඒවා දැනගත්ත විදිය තමුසෙට වැඩක් නෑ.. හැබැයි මේ මොහොතේ , මේ මේසේ වාඩි වෙලා මාත් එක්ක කතා කරන්න තමුසෙව මෙතනට ගෙන්න ගන්න තරම් දේවල් මම දන්නවා .. ඊට වඩා දේවලුත් පොඩ්ඩක් විතර දන්නවා" සුද්දා හිනා වෙමින් පවසයි..

"would you mind?" සුද්ද සිය ඉස්සෝ හොදි ගෑවුණු දෑත් තරුණයාට පෙන්වයි. ඔහුගේ ඉඟිය තේරුම් ගත් තරුණයා වේටර් වරයෙකුට සන් කර "ෆින්ගර් බෝල් එකක්" යයි සිංහලෙන් පවසයි.

"බයිදවේ එයා දැන් ඉන්නේ ජිම් එකේ නෙමෙයි , මම තමුසෙව බය කරන්න ඒක කිව්වේ.. එයා යන එන තැන් මම කොහොමද අයිසේ දන්නේ"  "හහහා!!" සුද්දා තරුණයා දෙස ඉස්සෝ ගෑවුණු ඇඟිල්ලක් දිගු කරමින් මහා හඩින් සිනාසේ..

තරුණයා යන්තම් සැනසුම් සුසුමක් හෙලනු පෙනේ.

"ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 2020 අව්රුද්දෙ තමුසෙලගෙ ජනාධිපතිවරණය එනවා.." සුද්දා ඇඟිලි ලෙවකමින් කතාව අරඹයි. "මම දන්නවා ලොක්කගේ කැම්පේන් එක ආණ්ඩුවේ පැත්තෙන් මෙහෙයවන්නේ කව්ද කියලා. ඒ තමයි දැන් ඉන්න කෘෂිකර්ම ඇමතිතුමා.නමට කෘෂිකර්ම ඇමතිකම කලාට මිනිහගේ සැබෑ හැකියාව තියෙන්නේ චන්ද දිනවන්න.. තමුසේ ඇඩ්වර්ටයිසින් සහ මාධ්‍ය පැත්තෙන් වැඩකරන නිසා තමුසේ මිනිහා එක්ක සමීපයි කියල මම දන්නවා. කෘෂිකර්ම ඇමතිතුමා තමුසෙලගෙ ලොක්කා ඒ කියන්නේ.. මේ රටේ ජනාධිපතිතුමාගේ ලඟම සහ විශ්වාසවන්තම යාලුවෙක් කියලත් මම දන්නවා.. "

තරුණයා හැගීම් විරහිත මුහුණෙන් අසාගෙන සිටී.

"මේ වනකොට වත්මන් ජනාධිපතිතුමාගේ ජනප්‍රියත්වය එච්චර හොඳ නෑ. තමුසෙලගෙ රටේ ආර්ථිකය හොඳටම කඩා වැටිලා තියෙන්නේ. මිනිස්සු බහුතරයක් මේ වෙනකොට විපක්ෂනායකතුමා පැත්තට ආකර්ෂණය වෙලා තියෙන්නේ. දෙවෙනි පාරටත් ජනාධිපති වෙන එක ලබන අවුරුද්දේ තියෙන චන්දෙන් ඔහෙලගෙ ලොක්කට එච්චර ලේසි වෙන එකක් නෑ.."

"ඒත් අපි කැමතියි ඔහෙලට උදව් කරන්න" සුද්දා ඇගිලි ලෙවකා අවසන්ය. දැන් ඔහුගේ දෑස් තරුණයාගේ දෑස් දෙස කෙලින්ම එල්ලවී ඇත.

"අපි ඔහෙලට කිසිම අඩුවක් නැතුව ආධාර කරනවා ඔහෙලගෙ කැම්පේන් එක සාර්ථක කරගන්න. සල්ලි සහ ටැක්ටික්ස් දෙකෙන්ම. සල්ලි ආපසු ගෙවීමක් අපිට අවශය නෑ. අපි ඉල්ලන්නේ මේ ෆයිල් එකේ තියෙන දේවල් ජනාධිපතිතුමා කියවලා මේ ගිවිසුම ගැන පොඩ්ඩක් හිතලා බලන්න කියලා විතරයි"

සුද්දා තව දුරටත් ඔහුගේ දෑස් තරුණයාගේ මූණ තුල ගිල්වයි.

"මේ ෆයිල් එක ජනාධිපතිතුමාට දෙනවා. කෘෂිකර්ම ඇමතිතුමා අතේ. ඒක තමයි තමුසෙගෙ ජොබ් එක"

"හෙහ්.." පලවෙනි වරට තරුණයාගේ මුවට සමච්චලය මුසු හිනාවක් නැගෙයි.. "මට මොනවද මේකෙන් ලැබෙන්නේ??"

සුද්දා සිය අත් දෙකම ඔසවා ඇඟිලි වලින් ඉලක්කමක් පෙන්වයි.."මිලියන, USD වලින්"

"හෙහ් හෙහ්!!" එවර තරුණයාගේ මුවට පෙරටත් වඩා සමච්චල් හිනාවක් නැගේ..

"මට සල්ලි වැඩක් නෑ අයිසේ.. තමුසේ මං ගැන දන්නවා කිව්වට හරියටම මං ගැන දන්නේ නෑ වගේ.."

"මට අදහසක් තියෙනවා අපේ අසල්වැසි රටේ මගේ ඇඩ්වර්ටයිසින් ඒජන්සිය ලෝන්ච් කරන්න. ඒත් තමුසෙට තේරෙනවා ඇති නේ , මට ඒක අපේ රටේ ටැලන්ට් එක දාලා කරන්න බෑ මට එහෙන් සම්පත් ඕනේ , එහෙන් ලොකු ආයෝජනයකුත් ඕනේ.. තමුසෙට පුලුවන්ද මට ඒකට උදව් කරන්න ??"

"මට ඒ වැඩේට උදව් කලොත්.. මම තමුසෙට උදව් කරන්නම්.." තරුණයා වීදුරුවකින් වතුර බොමින් මේසය උඩ ඇති ෆයිල් කවරය දෙස බලමින් පවසයි..

"හ්ම්ම්" සුද්දා පලවෙනි වතාවට මදක් කල්පනාකාරී වෙයි..

"හරි !"

"තමුසෙගෙ වැඩේ මම කරලා දෙන්නම්.. අපිට යාළුවො ගොඩක් ඉන්නවා , හැම රටේම"

සුද්දා පුටුව ඇදගෙන නැගිටියි. "හෝව් හෝව් පොඩ්ඩක් ඉන්නවා. ඔහේ මම ගැන දන්නවා. ඒත් ඔහේ කව්ද කියලා මම දන්නේ නෑ නේ.. ඔහේ වැඩ කරන්නේ Asian Aid එකටද??"

සුද්දා සිනාමුසු වෙයි.

"මම හැමෝගෙම යාලුවෙක් විතරයි.."

"මම මේක යන ගමන් ටැප් එකෙන් හෝදාගන්නම්" ෆින්ගර් බෝල් එක ඔසවාගෙන එන වේටර්වරයාද නොතකා  සුද්දා පිටවී යයි.

************************************************

ACT 2 - සති දෙකකට පසු

තවත් තරු හෝටලයක බේස්මන්ට් බාර් එකක හමුවුණු පිරිමින් දෙදෙනෙකි. බාර් එකේ පිරුණු තරුණ තරුණියන් සහ කන් අඩි පැලෙන සංගීතය නිසා ඔවුන් කතා කරන දේවල් හරියට නෑසේ.

"මොකද වුණේ අපේ යෝජනාවට?? ලොක්කා ප්‍රතිචාරයක් දුන්නද???"

"ඔව්.. හැබැයි එච්චර හොඳ එකක් නෙමෙයි.." දෙවැන්නා මූණ ඇඹුල් කරගනිමින් පිළිතුරු දෙනු යාන්තමට ඇසේ..

"කැමති වුණේ නැහැ??" පළවෙනියා විමසයි.

"ඇමතිතුමා කිව්වේ ෆයිල් එක විසික් කළා කියලා ! " දෙවැන්නා පවසයි

"විසික් කරලා අයිසේ.. ඔය යෝජනාවට කීයටවත් ලොක්කා කැමති වෙන්නේ නෑ.." දෙවැන්නා බෙරිහන් දෙන්නේ බීමත්වය.

සංගීත නාදය එන්න එන්න තව තවත් උද්වේගකර වේ.

"FUCK!"

**************************************************

ACT  3

"සුභ උදෑසනක් ජනාධිපතිතුමනි!"

"උදෑසනක් ඩග්. කොහොමද ඔබට?"

"හොඳයි සර්"

"සර් , අපේ යාලුවන්ගෙන් පොඩි නරක ආරංචියක් තියෙනවා.. අර ආසියාතික ගිවිසුමට ඒ රටේ ජනාධිපතිතුමා කැමති වෙලා නෑ.. ඇත්තටම අපේ මිත්‍රයා කියපු විදියට නම් ජනාධිපතිතුමාව මේකට කොහෙත්ම කැමති කරගන්න බැරි පාටයි.."

"ඔහ්! මම හිතුවා.. මිනිහ එහෙම ලේසියෙන් නවන්න පුළුවන් ජාතියේ කෙනෙක් නෙමෙයි.. නමුත් උඹ දන්නවද ඩග් , දේශපාලඥයොත් ඇවිත් ගණිකාවෝ වගේ තමයි. නියම ගාන දුන්නොත් නවාගන්න පුළුවන් හහහා..."

"හහාහා... ඒක හොඳ විහිළුවක් සර්.."

"හම්මේ හම්මෝ අහහහ...ඩග්, මේ ගැන අපි කතා කරමු. දැන් නැති වුණත් අපිට මේක තල්ලු කරගන්න කාලයක් එයි. ඒ රටේ තත්වය අධ්‍යනය කරලා මට මේක කරගන්න විදියක් ගැන සැලසුමක් දෙන්න. ලබන සතියේ බදාදා මට නිදහස් වෙලාවක් බලලා දැන්ම වෙලාවක් දාගන්න , මම එදාට ඔයාගෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා. පැහැදිලි ද?"

"ඔව් සර්!"

**************************************************

ACT 4 - ලබන සතියේ බදාදා

"ඔව් ඩග්?"

"සර්, මේකයි දැන් සැලසුම. ලබන අවුරුද්දේ එයාලාගේ ජනාධිපතිවරණය එනවා..."

**************************************************

ACT 5

වර්ෂ 2020 ජනවාරි මාසයේ රස්නේ දිනයකි. ජනාධිපතිවරණයට තව ඇත්තේ මාස අටක පමණ කාලයකි. අගනුවර කෝපිහලක හමුවූ දේශීය තරුණයා සහ සුද්දා නැවතත් බරපතල කතාවක නිග්ම ගෙන ඇති සෙයකි. තරුණයා අතේ දැල්වෙන සිගරෙට්ටුවක් ඇත , සුද්දා අත දුම් දමන කෝපි කෝප්පයකි. දෙදෙනාම නිශ්ශබ්දය.

"එහෙනම් ඔබේ ලොක්කා දෙවෙනි පාරටත් බෑ කිව්වා?" සුද්දා නිහඩතාවය බිඳ දමමින් විමසයි.

"ඔව්.. ජනාධිපතිතුමා මේකට කැමති නෑ.. මම කලින්ම කිව්වේ.. තමුසේ කියපු නිසා ආයෙත් ඇහුවා මිසක්.." තරුණයා අහක බලාගෙන දුම් උගුරක් පිටකරයි.

"හරි" සුද්දා ටකස්! හඬින් කෝප්පය පීරිසිය මත තබමින් නැගිටියි.

"ලොක්කට කියනවා අපි කිව්වයි කියලා.. මේ පාර එයාට මේ තීරණය ගැන පසුතැවෙන්න වෙයි.."

"පසුතැවෙන්න වෙයි.. අනිවාර්යෙන් කියනවා.." සුද්දා කෝපිහලෙන් පිටවී යන ගමන් පවසයි..


**************************************************

ACT 6  - ජනාධිපතිවරණයට මාස 5යි

"ආයුබෝවන් , මේ ඔබ එක්ව සිටින්නේ රාත්‍රී 9.30 ඉංග්‍රීසි ප්‍රවෘත්ති ප්‍රකාශය සමඟයි. රට පුරාම බිහිසුණු වසංගතයක් වී පැතිරී ඇති XD-13 වයිරසය ගැන නවතම තත්වය මෙන්න.."

"මේ වන විට අපේ රට තුලින් වාර්තා වී ඇති XD-13 රෝගීන් ගණන එක්ලක්ෂ පනස් එක් දහස් දෙසිය හැට හතරක් දක්වා ඉහල ගොස් ඇත. ඒ අද හමුවූ රෝගීන් විසිඑක් දෙනාද සමගයි..  XD-13 නිසා ඇතිවූ මරණ සංඛ්‍යාව මේ වනවිට අටදහස් දෙසිය හතලිස් පහ දක්වා ඉහල ගොස් ඇත.රටේ ඉතිහාසය තුල මෙතරම් ඉහල මරණ අනුපාතයක් සහිත වයිරසයක් පැතිරී ගිය පළමු වතාව මෙයයි.."

"මේ අතර මේ වනවිට දිවයිනේ සියලුම රජයේ රෝහල් XD-13 රෝගීන්ගෙන් පිරී යාම නිසා අලුතෙන් හමුවන රෝගීන්හට නිවසේ සිටම ප්‍රතිකාර කරගන්නා ලෙසට රජයෙන් ඉල්ලා සිටී. අද උදෑසනද රෝහල් වලට රැගෙන ආ රෝගීන් රෝහල් වලින් බාර නොගැනීම නිසා දිවයිනේ කීප තැනකම ගැටුම්කාරී තත්ත්ව ඇති විය. අපි දැන් එහි වීඩියෝ දර්ශන වෙතට යොමු වෙමු.."

"අයියෝ මොකද්ද මේ කලේ... අනේ මගේ පුතා... ඇයි මේ බාරගන්න බෑ කියන්නේ.."

"අපේ සල්ලි වලින් යකෝ මෙව්වා නඩත්තු කරන්නේ.. ඇයි අපේ කොල්ලන්ව ගන්න බැරි..මුන්ගේ අම්මලට *ටීක්*!"

"XD-13 සෑදී මරණාසන්න වුනු කොල්ලව රෝහලෙන් පැන්නුවේ මෙහෙමයි [video]"

"ආණ්ඩුවේ ජඩයන් වෙත ලියන වග නම් , අපි චන්දය දී තොප පත් කලේ මෙවැනි...." 1.5k shares


"මේ අතර මේ වසංගත තත්වය පාලනය කරගැනීමෙහි ලා ආණ්ඩුව දක්වන අසමත්කම විපක්ෂයේ ද විවේචනයට ලක්විය.. මේ ගැන අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා මේසේ පැවසීය"

"මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා මේ තත්වේ පාලනය කරගන්න.. ඒ වගේම 12 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට දැන් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැතුව බෑ චන්ද දිනය පස්සට දමන්න.. ඒක නිසා අපි යෝජනා කරනවා මහජනතාවට , මේ අමාරු කාලේ වුණත් , අපි චන්දයක් තියලා.. මේ වයිරසය පරද්දන්න..මේ රට ආයෙත් ගොඩනගන්න... මේ ආණ්ඩුව ගෙදර යවලා මාව ඔබේ ජනපති කරගන්නා ලෙසට....."

**************************************************

ACT 7

"සින්ඩි.."

"සර්.."

"ඩග්ව ඇතුලට එවන්න.."

"ඕකේ සර්"

"ඩග්, අපේ පුංචි සැලසුම හරියටම වැඩ කරනවා වගේ නේද... හහ් හහ්.. නියමයි ආ ඔයාගේ සැලසුම.."

"බොහොම ඉස්තුතියි සර්.. මේක ඉතින් මගේ විතරක් නෙමෙයි අපේ කණ්ඩායමේම මහන්සිය තමයි.. අනික අවුරුදු ගාණක් පර්යේෂණ කරලානේ මේ වයි..."

"හරි හරි ඒක වැඩක් නෑ.. මට පොඩි අදහක් ආවා අපේ වැඩේ ඉක්මන් කරගන්න.. ඒක කියන්නයි මම උඹට ඇතුලට එන්න කිව්වේ..මේක අපේ ඔරිජිනල් සැලසුමට පොඩි අලුතෙන් එකතු කිරීමක්.."

"ඒ මොකද්ද සර්???"

"අයිසේ ඩග් මට අද උදේ ටොයිලට් එකේ ඉන්නකොට හිතුනේ මේක.. දැන් අරගොල්ලන්ගේ රටේ ඔක්කොම ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා නේද?"

"ඔව් සර් , එයාලගේ ලෝකල් ඉංග්‍රීසි පුවත් මම මේ ටිකේම චෙක් කළා.. මිනිස්සු මරාගන්නවා ඉස්පිරිතාල වලට ඇතුල් වෙන්න බැරුව.."

"හරි , මේ වගේ වෙලාවක.. මේ ලෙඩේ බෝවෙන්න හොඳම.. සොරි නරකම තැන මොකද්ද දන්නවද??"

"නෑ සර්.. ඒ මොකද්ද??"

"හිර ගෙදර ඩග් හිර ගෙදර !"

"දැන් බලනවා හිර ගෙදරට මේ ලෙඩේ බෝ වුණොත් , හිරේ ඉන්න අයව එලියට ගන්නත් බෑ මෙයාලගේ ආණ්ඩුවට. මොකෝ හිරකාරයෝ එලියට අරගෙන බෙහෙත් දෙන්න ගියොත් සාමාන්‍ය මිනිස්සු ඒකට විරුද්ධව කෑගහනවා. හිර කාරයෝ නිසා සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයක් එල්ල වෙනවා කියලා.. "

"අසනීප වුනු හිරකාරයන්ට හිරේ ඇතුලේ තියාගෙන වෙනම බෙහෙත් දෙන්න තරම් එයාලගේ බන්ධනාගාර පද්ධතියට සම්පත් නෑ. අනික මේ දවස් වල සෞඛ්‍ය සේවකයෝ හොඳටම කාර්යබහුල වෙලා ඉන්න නිසා ඕක තවත් අමාරුයි.."

"අනික හිරේ ඉන්න හිරකාරයන්ට ඕක හැදුනොත් මේ ජරමර අස්සේ ආණ්ඩුව හිරකාරයන්ව නොසලකා අරින්නත් ඉඩක් තියෙනවා.. එහෙම වුනොත් හිරකාරයන් අතර මරණ අනුපාතය වැඩි වෙන්නත් ඉඩක් තියෙනවා.. ඒකට කෝපාවිෂ්ට වෙන අනිත් හිරකාරයෝ ඒ ගැන කැරලි ගහන්න සෑහෙන්න ඉඩක් තියෙනවා..."

"අනික මම ඔය තුන්වෙනි ලෝකයේ රටවල් වල හිර ගෙවල් දැකලා තියෙනවා. ඒවා නිකන් කුකුල් කූඩු වගේ අයිසේ. ඕකේ එක හිරකාරයෙක්ට වයිරසය හැදුනා කියන්නේ ඉතින් පැතිරෙන එක ආයේ අහන්න දෙයක් නෑ.."

"එහෙම බලන් ගියාම අයිසේ හිරගෙදරට මේක යැව්වා කියන්නේ all hell breaks loose !"

"ඒක නම් ඇත්ත තමයි සර් ! හරි සර් , එයාලගේ ප්‍රධානම හිරගෙදරට ලෙඩේ යවන වැඩේ මම කරන්නම්. ඒ රටේ ඉන්න අපේ යාළුවො දම්මලා අපිට ඕක කරගන්න පුළුවන්. හිරගෙදර සර් හිතන මට්ටමට මේක පැතිරුණා කියමුකෝ.. ඊට පස්සේ මොකද්ද සර් ගේ සැලසුම??"

"මේක හිර ගෙදර ඇතුලේ පැතිරෙන්න ඕනේ.. තව සති තුනක් ඇතුලත හිරකාරයෝ මේ ලෙඩේ නිසා හිරගෙදර ඇතුලේ යක්ෂ නැටුම් නටන තත්වයට ගේන්න ඕනේ.. ඒ වැඩේ ඔයාට බාරයි ඩග්..

"හිරගෙදර තත්වය ලඟින්ම නිරීක්ෂණය කරන්න කෙනෙක්ව දාන්න..ඊට පස්සේ කරන්න ඕනේ ටික මම අද රෑට ඔයාට කියන්නම්.. මට දැන් උප ජනාධිපතිතුමා එක්ක මීටින් එකක් තියෙනවා.."

"හොඳයි සර් , මම ඒ විදියට කරන්නම්.. සර් , පොඩි නරක ආරංචියකුත් තියෙනවා හැබැයි..."

"ඒ මොකද්ද ඩග්??"

"සර් අපි හිතපු විදියටම මේ ලෙඩේ දැන් එයාලගෙන් ලෝකේ අනිත් රටවල් වලටත් පැතිරිලා.. මොකද සර් එයාලගේ ප්‍රධානම අදායම් මාර්ගයක් නේ සංචාරක කර්මාන්තය. සංචාරයට එහෙ ආපු විදේශිකයන්ගෙන් මේක දැන් අනිත් රටවල් වලටත් පැතිරිලා.."

"අපි සර් මේ වයිසරය හැදුවේ ගොඩක්ම ඝර්ම කලාපීය රටවල් වල විතරක් පැතිරෙන විදියටනේ..සීතල දේශගුණයට ඔරොත්තු නොදෙන විදියට.. ඉතින් ගොඩක් බටහිර රටවල් වල තාමත් සීතකාලය පොඩ්ඩක් තියෙන නිසා අපි හිතපු විදියටම තාම මේක ගොඩක් පැතිරිලා නෑ.. නමුත් දැන් පොඩ්ඩ පොඩ්ඩ පැතිරීගෙන එන බවක් පේන්න තියෙනවා.."

"සර් අපේ රටෙත් රෝගියෝ කීප දෙනෙක් වාර්තා වෙ.."

"අයිසේ ඩග් , ඔම්ලට් හදන්න බෑ බිත්තර දෙක තුනක් කඩන්නේ නැතුව.. අනික මේක අපි කලිනුත් අපේක්ෂා කළා නේ.. කොහොමත් අපි ගාව මේකට වැක්සින් එක තියෙන නිසා භයවෙන්න දෙයක් නෑ නේ.. බලමු එන විදියකට.."

"ඔව් සර්.."

"ආ වැක්සින් කිවම මතක් වුණේ.. අපි එදා කතා කරපු විදිය මතකයි නේ ?"

"ඔව් සර් , එක පාරටම වැක්සින් එක එලියට දාන එක සැක සහිත වෙන නිසා අපි සැලසුම් කරපු විදියටම මම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් ලැස්ති කළා අනිද්දා.. එකේදී සර්ට නිවේදනයක් දෙන්න පුළුවන් අපේ ආසියාතික මිත්‍රයන්ට අත දීමක් විදියට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හොඳම වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම මේ වයිරසයට වැක්සින් එකක් හොයාගන්න යොදවලා තියෙන්නේ කියලා.. ඒකෙන් අපිට ආසියාතික රටවල ජනතා ප්‍රසාදය ටිකක් දිනාගන්නත් පුළුවන් සර්"

"නියමයි, පර්යේෂණ කණ්ඩායම ලෑස්තිද?"

"ඔව් සර්, ඩොක්ටර් රොජර් වෝටර්ස් කණ්ඩායම මෙහෙයවනවා. ඩොක්ටර් වෝටර්ස්ව හරි දිශාවට මෙහෙයවන්නත් මම විදි විධාන යොදවලයි තියෙන්නේ.. ප්‍රතිපාදන සහ තාක්ෂණික උපදෙස් වලින් පරේක්ෂණ කණ්ඩායම එයාලාවත් නොදැනුවත්වම අපිට ඕනේ විදියට දක්කාගෙන යන්න පුළුවන් .. කිසිදේක අපි කෙලින්ම ගෑවිලා නෑ සර්.. මේ දම්වැලේ කොච්චර පුරුක් තියෙනවද කිව්වොත් කාටවත් මේකේ අගක් මුලක් හොයන්න බෑ !"

"විශිෂ්ටයි මා මිත්‍ර වොට්සන්, මම එහෙනම් යනවා උප ජනාධිපතිතුමා හම්බ වෙන්න. දිගටම ඇහැ ගහගෙන ඉන්න මේක ගැන.."

"එහෙමයි සර් !"

**************************************************

ACT 8

"හෙලෝ ඔබ CNN නිව්ස් වෙත සාධරයෙන් පිලිගන්නවා. මම කේට්"

"මම බිල්"

"මෙන්න ලොව පුරා මේ දින වල සීග්‍රයෙන් පැතිර යන XD-13 වයිරසය ගැන නවතම විස්තර. දකුණු ආසියානු කලාපයෙන් ආරම්භ වුනු XD-13 වෛරසය මේ වන විට යුරෝපය , දකුණු සහ උතුරු ඇමරිකාව දක්වා පැතිර ගොස් තිබෙනවා.."

"අපේ රටේ තත්වය කොහොමද කේට් මේ වනවිට??"

"ඔව් බිල් ඇත්තටම අපේ රට මේ භයානක වෛරසයෙන් මාස කීපයක්ම ආරක්ෂා වී තිබුනත් මේ වන විට රටේ උෂ්ණ පළාත් වල XD-13 වේගයෙන් ව්‍යාප්ත වන ස්වභාවයක් අපට දක්නට ලැබෙනවා.. ඝර්ම කලාපීය රටකින් ආරම්භ වුනු නිසා අපේ රටට මෙයින් එතරම් බලපෑමක් නැතැයි සමහර විශේෂඥයින් අනාවැකි පල කර සිටියත් මේ වන විට අපට විද්‍යාඥයින් පවසන්නේ මූලික වයිරසයෙන් විපර්යාසයට පත්වුණු වයිරස ප්‍රභේද අපේ රට පුරා පැතිර යන බවයි.."

"ඔව් කේට් ඒ වගේම තවත් දුක්මුසු ආරංචියක් තමයි කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් දේශපාලනයට පිවිසුණු අපේ උප ජනාධිපතිතුමාගේ බිරිඳ , ඇයත් මෙම වෛරසටය ගොදුරු වී ඇති බවට වාර්තා වීම.."

"ඔව් බිල් , ඒ වගේම රට පුරා පැතිර යන XD-13 රැල්ලත් සමගම ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට දැඩි විවේචන එල්ලවෙනවා රටේ ජනතාවගෙන්.. "

"කේට් ඇත්තටම මටත් ඒ ගැන ලොකු විමතියක් තියෙනවා මොකද අපේ ජනාධිපතිතුමා XD-13 වයිරසයට වැක්සින් එකක් සෙවීමට පර්යේෂණ කණ්ඩායමක් පවා ප්‍රකාශයට පත් කළා අපේ රටට මේක හැදෙන්නත් කලින්. ඉතින් එතරම් සූදානමක් තිබුණු ජනාධිපතිතුමාට ඇයි බැරිවුනේ තමන්ගේ උප ජනාධිපති සගයාගේ බිරිඳ මේකට ගොදුරු වෙන්න කලින් මේ ගැන පූර්ව ආරක්ෂක විධි විදාන යොදන්න???? රටේ ජනතාව ආරක්ෂාව ගැන විශ්වාසයක් තියාගන්නේ කොහොමද මෙවන් නායකයෙක් යටතේ????? මම මේ එතුමාට අපහාස කරන්න කියනවා නෙමෙයි නමුත්...."

**************************************************

ACT 9

ජනාධිපති කාර්යාලේ මේසය උඩ වාඩි වී බර කල්පනාවක නියැලී සිටින ජනාධිපතිවරයෙකි. ඔහුට පසෙකින් හිටගෙන ඩග් සිටී.

"ඩග්, මොකද්ද දැන් අර රටේ තත්වේ??"

ඩග් ජංගම දුරකථනය ගෙන ජනාධිපතිවරයාට වීඩියෝවක් පෙන්වයි. ඒ අදාළ රටේ රාත්‍රී පුවත් විකාශයකි. බන්ධනාගාර පුරා XD-13 වයිරසය පැතිර යාම ගැන පුවතක් එහි පෙන්වයි.

"සර්, මම සර් කිව්වා වගේ ලෙඩේ හිරගෙදර ඇතුලට යැව්වා. එහෙ ඉන්න අපේ යාළුවො ලවා සිවිල් ක්‍රියාකාරිකයෝ මේ ගැන කතා කරන්න කුලප්පු කෙරෙව්වා. මේ බලන්න සර්.."

සිවිල් ක්‍රියාකාරියක් සිරකරුවන් වෙනුවෙන් හඬ නගමින් නිකුත් කල ප්‍රකාශ කීපයක් වාදනය වේ.

"අපි කියනවා ආණ්ඩුවට.. මේ අහිංසක හිරකරුවන්ගේ ජීවිත..."

"හ්ම්ම්.." ජනාධිපතිවරයා උගුර පෑදීය

"සර්..." ඩග් කතාව අරඹයි

"දැන් නම් සර් එහෙ ජනාධිපතිතුමාට සැහෙන්න විරෝධයක් එල්ල වෙලා තියෙන්නේ මිනිස්සුන්ගෙන්.."

"අපි දැන් එතුමාට අපේ යෝජනාව ඉදිරිපත් කලොත් මොකෝ..?"

"ඩග් , දැන්ම බෑ.. තව ටිකක් ඉන්න ඕනේ.. මම කිව්වා නේ.. හිරකාරයෙක් තමන්ගේ ෆෝන් එකෙන් ලයිව් වීඩ්යෝ එකක් දාලා මම කියපු දේ කරන්න ඕනේ.. ඒ වැඩේ තාම වුණේ නෑ නේ.. ඒක වුනාම තමයි අපිට පුළුවන් ඒ පැත්තට අපේ ප්‍රහාරය එල්ල කරන්න.. මොකෝ අපි දැන් මේ මිනිහට දෙපාරක්ම මේක ඔෆර් කරලා , ඌ දෙපාරක්ම ඒකට බෑ කියලා තියෙන්නේ. අපිට බෑ තව දුර්වල ප්‍රහාරයක් දීලා මේ වැඩේ නැත්තටම නැති කරගන්න.. අපි දෙන පාර දෙන්න ඕනේ , කාලය බලලා , වැටෙන්නම.. තේරුණාද?"

"සර් මේ වයිරසය නිසා අපිට ඕනේ විදියට ප්‍රකාශයක් දෙන හිර කාරයට ෆෝන් එකක් යවාගන්න පොඩ්ඩක් පරක්කු වුණා. මොකෝ ලෙඩේ හැදෙයි කියල බයට මේ ගැන කතාකරගන්න ජේලර් කෙනෙක් යවාගන්න බැරුව හිටියේ ඒ හිරකරු ලඟට. අද රෑ වෙනකොට සර් අනිවාර්යෙන් අපි තෝරගත්ත හිරකරුවෙක් අතට ෆෝන් එකක් දීලා , එයාව ලෝකෙටම පේන්න ලයිව් ගේනවා සර්.."

"මේක තවත් පරක්කු කරන්න ඕනේ නෑ ඩග් මටත්.. ඔය මිනිහා ලයිව් එන්න පැයකට කලින් මට එහෙ ජනාධිපතිතුමාට අපේ පණිවිඩය යවාගන්න ඕනේ. එහෙ ඉන්න අපේ යාලුවට කියන්න ඒ වැඩේ කරන්න කියලා.."

"එහෙමයි සර්..."

"සර් තව එකක්.."

"කියන්න ඩග්.."

"සර් උප ජනාධිපතිතුමාගේ බිරිඳ.. අපිට එයාට විතරක් වැක්සින් එක දෙන්න බැරිද???"

"ඩග් , මට තේරෙනවා ඔයා හිතන දේ. නමුත් අපි දැන් මේ වැක්සින් එක එලියට දැම්මා කියන්නේ අපිට අර ජනාධිපතිය ප්‍රෙෂර් කරන්න බැරි වෙනවා. ඌ අපිව ප්‍රෙෂර් කරයි ඊට පස්සේ ඇයි මේගොල්ලෝ මේකට ප්‍රතිකාරයක් තියාගෙනත් ලෝකෙට ඒක බෙදාගන්නේ නැත්තේ කියලා.. මොකද අපි මේ පර්යේෂණ කණ්ඩායම පටන් ගත්තෙම ආසියානුවන්ට උදව් කරන්න කියල නේ. අපි මේක කලින්ම එලියට දැම්මොත් මේකෙන් ලැජ්ජා වෙන්නේ අපිමයි.. ලැජ්ජාව කෙසේ වෙතත් අපි මෙච්චර කල් වැඩ කරපු දේ අපිට කරගන්න බැරි වෙනවා. අපේ සැලසුම් ඔක්කොම වතුරේ යනවා ඩග් උඹට තේරෙන්නේ නැද්ද???" ජනාධිපතිතුමා තමා හේත්තු වී සිටි මේසයට වේගයෙන් පාරක් ගැසුවේය.

"සමාවෙන්න සර්.. මම අද රෑට මේක ඉවරයක් කරනවා සර්.. මම දැන් අපේ යාලුවට කියන්නම් ජනාධිපතිතුමාට අපේ පණිවිඩේ ලැබෙන්න සලස්වන්න කියලා.."

"ස්තුතියි ඩග්.. ආ ඩග් අනිත් එක.."

"ඔව් සර්.."

"මේ දවස් වල මගේ ජනප්‍රියතාව සැහෙන්න බැහැල තියෙන එකේ.. අර පර්යේෂණ කණ්ඩායම ඉන්නේ.. ඒකට පොඩ්ඩක් ඔය මෙක්සිකන් හරි මොකක් හරි සුළුතර ජනවර්ගයක සම්බන්දයක් තියෙන ළමයෙක් දෙන්නෙක්වත් අනුයුක්ත කරලා දාන්න.. අඩු ගානේ ඒකෙන් හරි අපිට ලකුණු කීපයක් දාගන්න පුලුවන්ද බලන්න..."


**************************************************

ACT 10

අගනුවරට ඈතින් පිහිටි සුපිරි වෙළඳ සැලක කාර් පාර්ක් එකේ නවත්වාගෙන සිටින කළු පැහැති මොන්ටෙරෝ රථයකි. එහි රියදුරු වීදුරුව ඇරගෙන අතක් එලියට දමාගෙන දුම් පානයේ යෙදී සිටියි. මද වේලාවකින් සුදු පැහැති ප්රියස් රථයක් මොන්ටෙරෝ රථයට යාබදව අනිත් අතට නවත්වයි. සතියේ දිනයක දවාලක් වූ නිසා කාර් පාර්ක් එකේ වාහන දෙක තුනකට වඩා නොවීය. එතරම් ඉඩ තිබිලත් ප්රියස් රියදුරු වාහනය නැවැත්වූයේ මොන්ටෙරෝව අසලමය.

"මොකද වෙන්නේ?" මොන්ටෙරෝ රියදුරු දුම් උගුරක් එලියට විදිමින් අසයි.

ප්රියස් රථයේ රියදුරු ජනේලය පහතට දැමීය. ඔහු සුද්දෙකි. කාරය අනිත් අතට නැවැත්වූ නිසා දෙදෙනා දැන් සිටින්නේ මූණට මූණය.

"වෙන්නේ මෙච්චරයි.. මේක මම ආයේ කියන්නේ නෑ එක නිසා හොඳට අහගන්නවා!"

"තමුසේගේ කෘෂිකර්ම ඇමතිතුමාට කියනවා තව පැය 3කින් Fox news බලන්න කියලා. ඒ නැතත් තමුසෙලගෙ රටේ ඕනේම චැනල් එකක් , ෆේස්බුක් , යූටියුබ් බලන්න කියනවා.. බලලා ඉවර වුණාම මට මිනිහා එක්ක මීටින්ග් එකක් සෙට් කරලා ඕනේ, මම කියන තැනක..මිනිහට ඕනේ තැනක නෙමෙයි මම කියන තැනක.. මිනිහට ඒ වෙලාවේ වෙන මීටිමක් තියෙනවද , ජනාධිපතිතුමා හම්බවෙන්න යන්න තියෙනවද , උගේ ගෑනිත් එක්ක හුකන්න තියෙනවද ! මට ඒවා අදාළ නෑ ! තව පැය 3යි විනාඩි පහකින් මම කෘෂිකර්ම ඇමතිතුමා එක්ක වාඩි වෙලා ඉන්න ඕනේ ! මේ දේ තමුසෙට කරගන්න බැරි වුනොත් , තමුසෙගෙ බල-පොකුනාහ් රෝඩ් එකේ ඉන්න කෙල්ල තමුසෙගෙ එළිවෙන රහස් වල ආරම්භය විතරයි. තේරුණාද??"

"තමුසේ මට තර්ජනය කරනවද???" මොන්ටෙරෝ රියදුරා අපේ CEO තරුණයා දුම් වැටිය කෝපයෙන් විසික් කරමින් ගුගුලයි!

"තර්ජනයක් නෙමෙයි මිත්‍රයා.." සුද්දා වාහනය පණගන්වමින් පවසයි "ඇත්තටම කරන දේ කිව්වේ.."

"ගුඩ් ලක්!"


**************************************************

ACT 11

BREAKING NEWS

"හෙලෝ මෙන්න Fox news වෙත දැන් ලැබුණු වීඩියෝවක්.."

"ආසියාතික කලාපයේ පැතිර ගිය දැඩි XD-13 රැල්ලත් සමගම බන්ධනාගාරයක ඇතිවූ උණුසුම් තත්වයක් අප හට දැන් වාර්තා වී තිබෙනවා. මෙම තරුණයා සිංහල භාෂාවෙන් කතා කරන නිසා අප විසින් ඉංග්‍රීසි උපසිරසි යොදා ඇති බව කරුණාවෙන් සලකන්න.."

"ආයුබෝවන් හැමෝටම.. මගේ නම ශාන්ත.. මම බන්ධනාගාරයේ ඉඳලා මේ කතා කරන්නේ.. ඕගොල්ලන්ට පේනවා.."

"ඇත්තටම කියන්න ඕනේ මේ බන්ධනාගාරයේ අපිට කිසිම පහසුමක් දෙන්නේ නෑ.. අපිට සත්තුන්ට වගේ සලකන්නේ.. අපි මේ වයිරසයෙන් බේරෙන්න බෙහෙත් ඉල්ලුවමත් අපිට ගහනවා.. මේ බලන්න පාරවල්..."

"අපිත් එක්ක හිටපු රැඳවියෝ ගොඩක් මේ ලෙඩේට ගොදුරු වුනා.. එයාලට හරි හමන් පහසුමක් නෑ.. මේවා මේ ආණ්ඩුවේ වැරදි.. අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න..."

"බීප්...බීප්..බීප්..." වීඩියෝව විසන්ධි වේ..

"ඔව් ඔබ ඒ දුටුවේ නවතම වීඩියෝව , මේ වීඩියෝව නිකුත් වීමත් සමගම මේ රටට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් විශාල පීඩනයක් එල්ල වීමට පුළුවන්.. මොකද සිරකරුවන්ට මෙලෙස සැලකීම කව්රුත් අනුමත කරන්නේ නෑ..."

"මේ සිදුවීම් මාලාවත් සමග බන්ධනාගාරය තුල සිරකරුවන් එකතුවී ආණ්ඩු විරෝධී විරෝධතාවයක නියැලෙන ස්වභාවයක්ද අපට පෙනෙන්නට තියෙනවා... අපි දැන් එහි දර්ශන වෙත යොමු වෙමු..."

"අඩෝ... අපිට බෙහෙත් දීපල්ලා ඩො.. අපි සත්තුද...???"

"ආසියානු ජනාධිපතිගේ පහලයමින් තිබුණු ජනප්‍රියතාවය මේ සමගම තවත් පහලට යන බවයි අපට පේන්නට තිබෙන්නේ..."


**************************************************

ACT 12

අගනුවර තැනක් නොදන්නා ස්ථානයක කාමරයක මේස කොනේ වාඩිවී සිටින ඇමැතිතුමාය. අනිත් කොනේ සිටින්නේ හොඳින් ඇඳ පැළඳගත් සුද්දෙකි..

සුද්දා මද සිනාවක් සහිතව කතාව අරඹයි

"අපි එහෙනම් අන්තිමේදී හමුවුනා.. සතුටයි ඇමතිතුමනි.. ඔබතුමා ගැන ගොඩක් දේවල්.."

ඇමතිතුමා අත ඔසවා ඔහුට බාධා කරයි.. "කරුණාකරලා මට කියන්න තියෙන දේ කෙටියෙන් කියනවද.. මට වෙලාවක් නෑ නාස්ති කරන්න මිස්ටර්.... ම්ම් මොකද්ද ඔයාගේ නම කිව්වේ ??"

"හිහ් හිහ්.. මගේ නම වැඩක් නෑ.. මගේ නම දන්නේ නැති වුනාට මම මොනවද කරන්නේ මට මොනවද කරන්න පුළුවන් කියලා ඇමතිතුමාට දැන් තේරිලා ඇති..මමත් කියන්න තියෙන දෙය කෙටියෙන්ම කියන්නම්.."

"මීට අවුරුද්දකට විතර කලින් අපි ඔබතුමන්ලට ගිවිසුමක් අරගෙන ආවා.. ඉතාමත්ම නිර්ලෝභී හොඳ ප්‍රතිලාභ එක්ක.. ඒත් ඔබතුමන්ගේ ජනාධිපතිතුමා ඒකට විරුද්ධ වුණා.."

"හෝව් හෝව්.. ඒ වගේ ගිවිසුමකට අපි කොහො...."

"පොඩ්ඩක් ඉන්න ඇමතිතුමා !" සුද්දා සෘජුව පවසයි! "දැන් මම කතා කරන්නේ, ඇමතිතුමා අහන් ඉන්න"

"එහෙම්... ඒත් ඔබතුමන්ගේ ජනාධිපතිතුමා ඒකට විරුද්ධ වුණා.. ඊට පස්සේ මම අපි දෙන්නගෙම මිතුරා අතේ ඔබතුමාට නැවතත් වතාවක් ඒ යෝජනාව ඉදිරිපත්කලා.. ඒත් නැවතත් ඔබ ඒක ප්‍රතික්ෂේප කළා.. අන්න ඒ පාර මම ඔබට පණිවිඩයක් එව්වා ඒ ගැන ඔබට පසුතැවෙන්න වෙයි කියලා.. ඔබට ඒ පණිවිඩය දුන්නද ? අපේ ඇඩ්වර්ටයිසින් මිතුරා??"

"නෑ මට ඔහු මුකුත් කිව්වේ නෑ..."

"අයියෝ... ඒක නම් ඔබේ රටේ අවාසනාව.. මොකෝ කලින් ඔබට ඔහු ඒ දේ කිව්වා නම් ඔබේ රටට මෙච්චර විනාසයක් වෙන එක වලක්වගන්න තිබුණා.." සුද්දා දුක්වෙමින් පවසයි.

"හරි කමක් නෑ..දැන් කරන්න දෙයක් නෑ.. දැන් අපි කරන්න තියෙන දේ කරමු.."

"ඔබේ රට මේ වනවිට දරුණු වයිරසයකින් විනාස වෙලා තියෙන්නේ..මිනිස්සු මැරෙනවා බල්ලෝ බළල්ලු වගේ.."

"මේ ලෙඩේ නිසා ඔබේ රටේ ආර්ථිකය වැටිලා.."

"ඔබේ ආණ්ඩුවට මිනිස්සු බනිනවා. ජනතාවට ඔබ කෙරෙහි ප්‍රසාදයක් නැති වෙලා.. ඒ මදිවට අද උදේ සිරකරුවෙක් ඔබේ ආණ්ඩුවට බණින වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය දක්වාම ගිහිල්ලා..හිර ගෙදර හිරකරුවන් කලබල කරනවා.. හිර ගෙදර කැරැල්ලක් ඇති වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ..."

"ඇත්තටම මෙච්චර අවාසනාවන්ත සිදුවීම් ගොඩක් කොහොම මෙච්චර එක පෙලට වෙනවද කියලා මට නම් හිතාගන්න වත් බෑ හහහා අහහ හම්මේ..." සුද්දා මහා හඬින් සිනා සුනේය..

ඇමතිතුමා විමතියෙන් දෑස් දල්වාගෙන බලා සිටියි...

"ඇමතිතුමනි" සුද්දා තමන්ගේ තියුණු දෑස් ඇමතිතුමාගේ දෑස් වෙත කෙලින්ම එල්ල කළේය..

"අද උදේ ඔබ දැක්කේ අර සිරකරුවාගේ වීඩියෝවෙන් කොටසක් පමණයි.. ඒකෙ විකාශය නොවුණු තව කොටසක් අපිට ලැබිලා තියෙනවා.. ඉන්න මම ඔබට පෙන්වන්නම්.."

සුද්දා සිය සාක්කුවෙන් ජංගම දුරකතනයක් එලියට ඇද වීඩියෝවක් ප්ලේ කොට ඇමතිතුමාට පෙන්වයි.

"අපිත් එක්ක හිටපු රැඳවියෝ ගොඩක් මේ ලෙඩේට ගොදුරු වුනා.. එයාලට හරි හමන් පහසුකම් නෑ.. මේවා මේ ආණ්ඩුවේ වැරදි.. අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න..."

"ඒ විතරක් නෙමෙයි.. ලොකු හෙළිදරව්වක් තියෙනවා ඔයාලට කරන්න.. මේ ආණ්ඩුවෙන් වයිරසය මර්ධනය කරන්න කියලා.. අපේ රැඳවියෝ සැහෙන ප්‍රමාණයක් දැනට මරා දැම්මා!!!"

"ඔව් මරා දමලා තියෙන්නේ......"

සිරකරුවාගේ වීඩියෝව දිගටම ප්ලේ වුණත් සුද්දා එය නවත්වා දුරකථනය නැවතත් සාක්කුවට දමා ගනී.

"අයිසේ.. අයිසේ මේක බොරුවක් නේ?? අපි කොහෙවත් මිනිස්සු මරල නෑ!!!"

"ඒක හරි ඇමතිතුමා.. ඒත් එක දන්නේ ඔබ විතරයි.. නමුත් අවසානවට ඔබේ ආණ්ඩුවට මිනිස් අයිතිවාසිකම් පැත්තෙන් එච්චර හොඳ ප්‍රතිරූපයක් නෑ.. අනික අද උදේ හිරකරුවගේ වීඩියෝ එකත් සමගම දැන් ඔබලා කොහොමත් ජාත්‍යන්තර අවධානයට යොමු වෙලා තියෙන්නේ..."

"මේ කලබල අස්සේ.. මේ මිනිස්සු මරණ වීඩියෝ එකත් ජාත්‍යන්තර මාධ්‍යට නිකුත් වුනොත්.. අනේ මන්දා, ඔබලා කැමතිද එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් කමිටුව පැත්තෙනුත් තව පරීක්ෂණයක් මේ මොහොතේ ඔලුව උඩට කඩා පාත් වෙනවට??? හහ් හහ්.."

"ඔබලාගේ චන්දෙටත් තව මාස කීපයයි නේද තියෙන්නේ...හ්ම්ම්???" සුද්දා පවසයි.. 

කෘෂිකර්ම ඇමතිතුමා ලොකු සුසුමක් හෙලයි...

"දැන් තමුසේ මොකද්ද කියන්නේ අපිට??"

"අපි කියන්නේ මෙච්චරයි.. අපිට පුළුවන් මේ ඔක්කොම ප්‍රශ්න ටික ඔබට විසඳලා දෙන්න.. "

"ඔබ දන්නවා මේ වන විටත් අපේ විද්‍යාඥයින් මේ ලෙඩේට වැක්සින් එකක් ගැන හොයමින් ඉන්නේ.. කව්ද දන්නේ. සමහර විට ඒක හෙට අනිද්දා වෙනකොට හොයාගන්නත් පුළුවන්... හෙහ් හෙහ්.." සුද්දා කපටි හිනාවක් දමයි..

"අයිසේ තමුසෙලා..."

"අපි හිතමුකෝ ඇමතිතුමා අපේ විද්‍යාඥයෝ මේකට වැක්සින් එක හොයාගත්තා කියලා.. එහෙම වුනොත් ඒ සඳහා යන සියලුම වියදම් අපි විසින් දරලා ඔබට ආධාරයක් වශයෙන් අපි ඒ වැඩ ටික ඔක්කොම කරලා දෙනවා.. අපේ මෙඩික්ස්ලා දාලා ඔබේ රටේ සියලුම රෝගීන්ට වැක්සින් එක ලබාදෙන වැඩේ අපි කරලා බලාගන්නම්.."

"ඒ විතරක් නෙමෙයි.. දැන් වැටිලා තියෙන ඔබේ ජනාධිපතිගේ කැම්පේන් එක නගා සිටුවන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සියල්ල අපි ලබා දෙන්නම්.. අපේ කෙලින් සම්බන්දයක් නැතුව , ලෝකේ පුරා තියෙන සල්ලි කිසිම සටහනක් නැතුව ඔබලාට ලැබෙයි.. අපි ඒවා ආපහු බලාපොරොත්තු වෙන්නේ නෑ.."

"එතනින් එහාට ගිහිං සල්ලි විතරක් නෙමෙයි , අපි ඔබට අපේ රටේ තියෙන ඉහලම විශ්ලේෂණ ඒජන්සි වල සහය ලබාදෙනවා මේ වැටිච්ච ජනප්‍රසාදය ඔබේ පැත්තට කරකවාගන්න උදව් වෙන්න.. කොහොමත් අපි ඔබේ රටේ දත්ත කාලයක් ඉඳන් විශේලේෂණය කරලා තියෙන්න. ඒ නිසා ඒවායේ නිරවද්‍ය තාවය ගැන බය වෙන්න එපා.."

"මේ ඔක්කොම දීලා ඔබේ ලොක්කව , ඒ කිව්වේ වත්මන් ජනාධිපතිතුමාව දෙවෙනි වරටත් දිනවන වගකීම මම පෞද්ගලිකව භාර ගන්නවා.." ප්‍රසන්න සිනාවකින් සුද්දා කතාව අවසන් කරයි...

ඇමතිතුමා නැවතත් දිග සුසුමක් හෙලයි...

"ඒ වෙනුවෙන් අපි ඔබෙන් බලාපොරොත්තු වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ..." සුද්දා අසුනෙන් නැගිටමින් පවසයි..

"කලින් ෆයිල් එක විසික් කරපු නිසා ඔන්න මම අලුත් එකක් ප්‍රින්ට් කරගෙන ආවා..." ෆයිල් කවරයක් ඇමතිතුමා වෙත තල්ලු කරමින් සුද්දා කාමරයෙන් පිටව යයි...

**************************************************

Final Act

"සර්.. අපි හිතපු විදියට ඔක්කොම වුනා... අපේ යාළුවා පණිවිඩය හරියටම දීලා.. එයාලාගේ ජනාධිපතිතුමා අන්තිමට එකඟ වෙලා ගිවිසුම අත්සන් කරන්න.. සුභ පැතුම් සර්!"

"හ්ම්ම්.. ඉස්තුති ඩග්... මේක අපිට ලේසි වැඩක් වුණේ නෑ.. ඒත් අන්තිමට අපි ජයගත්තා , නේද..?"

"ඔව් සර්.."

"ඩග් කොහොමද අපේ රටේ තත්වේ ? වැක්සින් එක අපේ මිනිස්සු අතර හොඳින් යනවද ?"

"ඔව් සර්.. මේ වනවිට අපි සෞඛ්‍ය රක්ෂණයක් නැති අයට පවා හදිසි අරමුදලෙන් වියදම් කරලා වැක්සින් එක ලබා දෙමින් යන්නේ.. තත්වය අන්ඩර් කන්ට්‍රෝල් සර්... නමුත් සර්... උප ජනාධිපතිතුමාගේ..."

ජනාධිපතිතුමා අත ඔසවමින් ඩග් නවත්වයි. "ඔයාට දැන් යන්න පුළුවන් ඩග්.."

"හොඳමයි සර්.."

"සින්ඩි.. මට උප ජනාධිපතිතුමාව අරන් දෙන්න ලයින් එකට.."

"හොඳමයි සර්..."

"බීප් බීප්.. බීප් බීප්..."

"හෙ..හෙලෝ..."

"ජෝන්... මට හරිම කණගාටුයි ලීසා ගැන....."

**THE END**

- රකිත චන්දුල ගැබදාස-

Inspired by House of Cards , Corona and my own sick mind.


2 comments:

  1. කාලෙකින් ගැබයිය හොඳ කතාවක් ලියල. යටත් විජිත නෑ කිව්වට තාමත්,
    ස්වභාවික සම්පත් කොල්ලකෑම්, අත්හදා බැලීම් සඳහා මහ ඉහලින් වක්‍රාකාර ක්‍රම වලින් ඉහළ බලවතුන් යැය් සම්මත සෙට් එකක ඇල්ම බැල්ම අඩුවක් නැතුව වැටෙන රටවල් තාම තියෙනවා. ඉතින් අපේ ආදරණීය ගැබයිය ඒ වගේ ගේමක් දෙන විදිය සරලව විස්තර කරල ලස්සන කතාවක් ලියල තියෙනව. වැඩේ හොඳයි. හැබැයි දැන් දැන් පෝස්ට් දාන්න කම්මැලි වෙලා වගේ...

    ReplyDelete
  2. Gebatat coronada? kisi saddayak ne

    ReplyDelete