Friday, June 21, 2019

A Prayer Before Dawn : මා බැලූ චිත්‍රපට

මම කීප වතාවක්ම කියලා තියෙනවා මම එහෙම ලොකුවට චිත්‍රපට බලන මිනිහෙක් නෙමෙයි. අවුරුද්දටම ෆිලුම් පහක් බලයි ඕනේ නම්. ඒත් නිකන් ආතල් ඒකට වගේ මට හිතුනා මම බලන ෆිලුම් ගැන පොඩි සටහන් තියන්න. මේවා විචාර නම් නෙමෙයි. පොඩි සටහන් විතරයි , කැමති කෙනෙක්ට කියවලා ආස නම් ෆිලුම බලන්න පුළුවන් වෙන්න වගේ. ඒ නිසාම මේ සටහන මම 100% SPOILER FREE තියනවා.

හරි එහෙනම් දැන් මම කියන්න යන්නේ මම මෑත කාලෙක බලපු ෆිලුම් වලින් මට සුපිරියටම සෙට් වෙච්ච හොඳම එක ගැන , ඒ තමයි A Prayer Before Dawn,





මේ ෆිලුම මට සෙට් වුණේ යුටියුබ් සජෙෂන් එකකින්. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ සුප්‍රකට A24 නිෂ්පාදන සමාගමෙන් , A24 ගැන වෙනම සටහනකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. උනුත් කතා කරන්න වටින සමාගමක්. අදට ෆිලුම ගැන විතරක් කියන්නම්.

කතාවේ ප්‍රස්තුතය SPOILERS නැතුව කිව්වොත්, බිලී කියන්නේ තායිලන්තයේ ජීවත් වෙන එංගලන්ත ජාතිකයෙක්. ඔහු මත්ද්‍රව්‍ය විකුණලා ජීවත් වෙන අතර තමන්ගේ passion එක විදියට බොක්සින් ක්‍රීඩාවේ නියැලෙනවා. සටන් කිරීම තමයි ඔහුගේ passion එක. ඔහුට දරුණු මත්ද්‍රව්‍ය ඇබ්බැහියකුත් තියෙනවා , කොටින්ම සටනකට යන්න කලිනුත් ඔහු ක්‍රැක් පාරක් ගහලා යන්නේ. කොහොමහරි එක දවසක් බිලීගේ ගෙදරට පොලිසියෙන් පැනලා ඔහුව සිර බාරයට පත් වෙනවා මත්ද්‍රව්‍ය විකිණීමේ වරදට. ඔතනින් තමයි කතාව ඇත්තටම පටන් ගන්නේ. ඔහුව සිරකරන්නේ බැංකොක් වල කුප්‍රකට හිර ගෙදරක , කුප්‍රකටයි කිව්වේ ඒ හිරේ තියෙන දරුණු කම නිසා. හිරේ පුරෝලා ඉන්නේ ඇඟ පුරාම පච්ච කොටා ගත්තු දරුණු තායි අපරාධකාරයෝ. ඒ මදිවට බිලීට තායි භාෂාවත් බෑ. ඉතින් ඒක නිසා ඔහුගේ හිරගෙදර ජීවිතය ඉතාමත්ම අමාරු එකක් වෙනවා.කොටින්ම අපායක් වෙනවා. ඔහොම ඉන්න අතරේ බිලීට ආරංචි වෙනවා හිරගෙදර muay thai සටන් කණ්ඩායමක් තියෙන බව. මේකට ජොයින් වෙන හිරකාරයන්ට වෙනත් හිරගෙවල් එක්ක සටන් තරඟාවලි වලට සහභාගී වෙන්න වගේම සාමාන්‍ය හිරකාරයන්ට වඩා හොඳට කන්න බොන්න සහ ඉඩකඩ තියෙන සෙල් එකක් ලැබෙනවා. ඉතින් බිලී මේ muay thai කණ්ඩායමට එකතු වෙන්න දරණ මහන්සිය එක්ක තමයි කතාව ඉතැනින් එහාට යන්නේ. ඉතුරු ටික කතාව බලලම බලාගන්නකෝ නැත්තම් SPOIL වෙනවා.

මේ කතාව පදනම් වෙලා තියෙන්නේ ඇත්ත චරිතයක් මත , ඒ කියන්නේ සිරාවටම බිලි කෙනෙක් ඉඳලා තියෙනවා. මේ  පහලින් තියෙන්නේ මිනිහා එක්ක කරපු ඉන්ටර්වියුව් එකක්. අවවාදයයි ! ෆිලුම බලන්න හිතන් ඉන්නවනම් මේ ඉන්ටර්වියුව් එක කියවන්න එපා මොකෝ මේකේ ස්පොයිලර්ස් තියෙනවා.

http://www.historyvshollywood.com/reelfaces/a-prayer-before-dawn/


ඒ වගේම ඔය තායි හිර ගෙවල් වල සිරාවටම ඔය ෆිලුමේ පෙන්නන විදියට muay thai සටන් තරඟ තියෙනවා. මේ තියෙන්නේ කාලෙකට කලින් VICE චැනලය විසින් ඒ ගැන කරපු කෙටි වීඩියෝවක්.






මම පටන් ගන්නකොට කිව්වා වගේ මම මේ ගැන ලොකුවට කතා කරන්නේ නෑ. ඉතාමත්ම කෙටි සටහනක් ෆිලුම ගැන තිබ්බොත් , මේ චිත්‍රපටය හෙනම realistic එකක් කිව්වොත් හරි. විදේශිකයෙක් තමන්ගේ රටෙන් ගව් ගානක් ඈත නොදන්නා රටක තනි වෙලා , යාළුවො එකෙක්වත් නැතුව , භාෂාව දන්නෙවත් නැතුව , හිර ගෙදරක කොටු වෙලා විඳින දුක ගැන මේකේ හොඳටම පෙන්නලා තියෙනවා. මේකේ ට්‍රේලර් එක බැලුවම මේක මාර්ෂල් ආට්ස් චිත්‍රපටියක් නැත්තම් ගමේ බාසාවෙන් කියන විදියට කරාටි ෆිල්ම් එකක් කියලා හිතුනට මේක ඇත්තටම කරාටි ක්‍රියාදාම චිත්‍රපටයක් නොවේ ! මේක ඇවිත් drama එකක්. මේක ටිකක් බලන් ඉන්න අමාරු drama එකක් කියලා ගොඩක් අය කියලා තියෙනව මම දැක්කා ඒත් මට නම් මේක ඉතාමත්ම රසවත් වුනා.

මේකේ මට ආස හිතුන දේවල් කිව්වොත්, මේ චිත්‍රපටයේ දෙබස් භාවිතය අපූරුයි. අපූරුයි කිව්වේ දෙබස් තේරෙන්නේ නැති නිසා ! දැන් ඔබ බලයි මොන රෙද්දක් ද මේ කියන්නේ කියලා. මම අදහස් කලේ මේකයි, මේ චිත්‍රපටයේ දෙබස් වැඩිමනක් යන්නේ තායි බාසාවෙන්. නමුත් සබ්ටයිටල් තියෙන්නේ එයින් කොටසකට පමණයි. නමුත් එහෙම කරලා තියෙන එකෙන් තායි බාසාව බැරුව බිලී විඳින දුක ප්‍රේක්ෂක අපිටත් දැනවීමට මෙහි අධ්‍යක්ෂකතුමා  සමත් වෙලා තියෙනවා. ඒ වගේම දෙබස් නැති තැන වෙන වෙන techniques යොදාගෙන චිත්‍රපයට ලස්සන කරලා තියෙන විදියත් මෙහි අපට බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම රූප රාමු. මේකේ cinematography නම් සිරා මට හිතෙන විදියට. විශේෂයෙන්ම මේ පල්ලෙහා මම දාලා තියෙන සීන් එක එහෙම ඉතාමත්ම ලස්සනයි. මම මේ සීන් එක විස්තර කරන්නේ නෑ ඔබ චිත්‍රපටය බැලුවොත් මේ සීන් එක රස විඳින්න පුළුවන් වෙයි.




මේ චිත්‍රපටයේ ප්‍රධානම තේමාව ඇත්තටම බිලී තමන් එක්කම කරන සටන තමයි , මොකෝ හැම මිනිහටම වගේ අමාරුම සටන තියෙන්නේ පිට උන් එක්ක නෙමෙයි තමන් එක්කමයි.  චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ඔයිට වඩා දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මම මොකෝ මම කලින් කිව්වා වගේ මේක විචාරයක් නොවන නිසා.

මේ චිත්‍රපටය මට ඇත්තටම බලන්න හිතුනේ හේතු දෙකක් නිසා

1. මම හිරේ කතා වලට ආසයි
2. මම muay thai වලට ආසයි

මේ චිත්‍රපටයේ ඔය දෙකම තිබ්බට ඇත්තටම ඔය දෙකම මේකේ නෑත් වගේ , බලලම decide කරන්නකෝ.

මේ චිත්‍රපයට ගැන එක ඉන්ටරස්ටින් දෙයක් කියලා මගේ සටහන මම අවසාන කරන්නම් , ඒ තමයි මේ චිත්‍රපටයේ ඉන්න තායි හිරකරුවෝ නළුවෝ නෙමෙයි ඇත්තම හිරකරුවෝ ( ලු ). හැබැයි එක ඇත්ත වෙන්න පුළුවන් , මොකෝ මම ඔය උඩින් දාපු VICE වීඩියෝවේ thumbnail එකේ ඉන්න එකා තමයි මට හිතෙන්නේ මේ පහලින් ඉන්නේ.




ආහ් මේ යන්න කලින් අන්තිම ෆයිනල් දෙයක් , ඒ තමයි මේකේ ට්‍රේලර් එකේ තියෙන සංගීතය මට පට්ටෙටම හිතට වැදුනා. ඒ සංගීතය හදලා තියෙන්නේ සාම්ප්‍රදායික muay thai සටන් පටන් ගන්න කලින් සටන්කරුවෝ විසින් සිදු කරන චාරිත්‍රයක් ඇසුරෙන්. ඒ සාම්ප්‍රදායික සංගීතයට ට්‍රැප් බීට් එකක් දාලා තමයි අරන් තියෙන්නේ , ඒක සුපිරි ! ඒ චාරිත්‍රයේ වීඩියෝ එකකුත් ඔන්න පහලින් දැම්මා කැමති අයට බලන්න. හරි එහෙනම් , ඔන්න ඔහොමයි විස්තරේ , එහෙනම් කැමති අය බලන්නකෝ ! ගැබා out !





No comments:

Post a Comment