Sunday, October 27, 2019

ඕමි

10
ඕමි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මගේ ජීවිතේට ගොඩක් ලඟින්ම සමීප වෙච්ච ක්‍රීඩාවක්. පොඩි කාලේ ඉඳන්ම අලසයෙක් සහ ක්‍රීඩාවට අදක්‍ෂයෙක් වුනු මම ටිකක් හරි ආස කරපු "ක්‍රීඩාවක්" තියෙනව නම් ඒ කාර්ඩ් ක්‍රීඩා විතරයි. මට කාර්ඩ් කුට්ටමේ අග මුල කියලා දුන්නේ දක්ෂ කාර්ඩ් ක්‍රීඩකයෙක් වෙච්ච මගේ තාත්තා. කාර්ඩ් ගහද්දි හොර කරන්න මට කියලා දුන්නෙත් අපේ තාත්තම තමයි. අපේ තාත්තා එහෙමයි , පොත් වල ඉන්න තාත්තලා වගේ සුභාශිතයයි ජාතක කතා පොතයි විතරක් නෙමෙයි අපිට කියලා දුන්නේ. අනූ ගණන් වල මතකද දිගටම තිබ්බ පවර්කට් සමයක් තිබ්බා ? ඒ දවස් වල කරන්ට් එක ගියාම මමයි අම්මයි තාත්තයි නංගියි හතර දෙනාම සෙට් වෙලා ඕමි ගහලා ලොකු සතුටක් ලැබුවා. තාත්තා මට කියලා දීපු හොර ට්‍රික්ස් පාවිච්චි කරලා මමයි අපේ පහල ගෙදර මලින්ද්‍රයයි සෙට් වෙලා වටේ පිටේ පොඩි උන් පරද්දලා ඊටත් වඩා සතුටක් ලැබුවා. ඔය කියන කාලේ මගේ වයස 10 ක් විතර ඇති.

J
කාර්ඩ් කුට්ටමක් නිසා මම ජීවිතේ බූරුවෙක් වුණේ මම කැම්පස් ගියාට පස්සේ. ඒ ඕමි ගහන්න ගිහිං කෙල්ලෝ දෙන්නෙකුටත් පැරදිලා ! මම ඒ වෙනකොට හිතාගෙන හිටියේ මට හොඳට ඕමි ගහන්න පුළුවන් කියලා , ඒත් අපේ බැච් එකේ කෙල්ලෝ දෙන්නෙක් වන ජබ්බි සහ ගෝරි ඉදිරියේ ඒ වෙනකොට කාර්ඩ් පුළුවන් කියලා රගාගෙන හිටපු මමයි තව කොල්ලෙකුයි හැමෝම ඉස්සරහ පරාද වුණේ හූ හඬ සහ කින්ඩි බෝල මැද්දේ. එදා තමයි මට තේරුනේ මට හරියට ඕමි ගහන්න තේරෙන්නේ නෑ කියලා.

Q
ඕමි ඊළඟට මගේ ජීවිතේට සම්බන්ධ වුණේ මම අපේ බැච් එකේම කෙල්ලෙක් පස්සෙන් ගිහිං කැමතිද කියලා අහලා ඒකි බෑ කියලා , මම දේව්දාස් මෝඩ් එක ගහලා ඉන්න කාලේ. ඒ කාලේ හිතේ දුක නිවාගන්න මම කලේ රෑ එලි වෙනකන් ඕමි ගහපු එක. හැබැයි වෙන මිනිස්සු එක්ක නෙමෙයි , පරිඝනක ක්‍රීඩාවක් හම්බවුනා ලංකාවේ හදපු, ඒක. ඕමි ගහන ගමන් සින්දු අහන එක තමයි කලේ , මගේ එකල කබල් කොම්පියුටරයේ. ඒකෙ තිබ්බේ සින්දු හයයි. මට ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බෙත් නෑ. ඉතින් ඔය සින්දු හය තමයි හැමදාම , ඔන් රිපීට් , එළිවෙනකන් මම අහන්නේ ඕමි ගහ ගහ. ඒ සින්දු හයෙන් මතක ටිකක් තමයි The bleeding  - 5FDP , Shawna - getting some head ( sadly i wasn't at that time ) , සඳ මිතුරි සහ සඳ ඕනා - කසුන් කල්හාර සහ චන්ද්‍රයන් පිදු. අනිත් එක මතක නෑ. ඔය සින්දු සෙට් එකෙන් The bleeding එක විතරයි ටිකක් බූට් ලයින් එකේ යන සිංදුවකට තිබ්බේ. ඒක ඇහුවේ සමිත සිරිමාන්න වගේ හොටු පෙර පෙර . කොච්චරද කියනවනම් මම අදටත් ඕක අහන්නේ නෑ ඒ කාලේ අහලා අහලා එපා වෙච්ච එපා විල්ලට. හැබැයි කොහොමවෙතත් හැම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා , හැම මාළු බනිසකම නැනෝමීටරයක හරි මාළු කෑල්ලකුත් ඇති.  ඒ වගේම මගේ මේ අඳුරු කාලෙත් එක හොඳ දෙයක් මට සිද්ධ වුනා. ඒ තමයි මම ඒ කාලේ ඇත්තටම හොඳට ඕමි ගහන්න ඉගෙන ගත්තා.

K
ඔය අඳුරු කාලයෙන් පස්සේ මම ඕමි ක්‍රීඩාවේ කෙල පැමිණියා. ඊට පස්සේ මම වැඩිය ඕමි ක්‍රීඩාවෙන් පැරදුනේ නෑ. හැබැයි ආදරෙන් නම් ආයේ ආයෙත් අම්බානට පැරදුනා. කෙල්ලෝ සීයකගෙන් විතර ඇහුවා උන් ඔක්කොම බෑ කිව්වනේ. 

ඔන්න ඔහොම තමයි 10න් පටන් අරන් බූරුවා , පොරව , හේරා දක්වා මගේ ඕමි ජීවිතේ විකාශය වුණේ. ආසියා තාම ගහලා නෑ. ගහපු දාට ඒකත් කියන්නම් , දැනට අත අකුලන්නම් :).

Image result for omi card game

No comments:

Post a Comment