Wednesday, January 1, 2020

බාල අපචාර

මගේ බිරිඳයි මමයි එකට ඉන්නවා දැක්කම ගොඩක් අය ඉස්මතු කරන කාරණාවක් තමයි මගේ බිරිඳගේ ලාබාල පෙනුම. සැබවින්ම ඇයට දුරින් වැම්පයර් නෑදෑකමක් වත් ඇති දැයි සැක හිතෙන්නේ ඇයගේ වයස පෙනුමෙන් නොපෙනෙනා බැවිනි. ඈත් සමග පාරේ යන සැම විටම මට බය සිතෙන්නේ කාන්තා හා ළමා ආරක්ෂකෙන් ඇවිත් මාව බාල අපචාර වලට කුදලාගෙන යාවිද කියාය. ඈ එතරම් ලාබාල පෙනුමැති ය. නමුත් ඇත්ත සිද්ධිය නම් පෙනුමෙන් ලොලිටාවක් වූවද ඈ වයසින් ලලිතා වැනි වනිතාවක් වීමයි. අප දෙදෙනාටම දැන් වයස 31ක් වන අතර ඇය මට වඩා ඇත්තටම මාසයක් වැඩිමල් ය. නමුත් ඈ පමණට වඩා ලාබාල පෙනුමැති අතර මම එහෙම්.. පමණට වඩා නාකි පාට බව කිව යුතු නොවේ ඉතින් 😟

මේ වයස් දෘෂ්ටි මායාව නිසා නොයෙකුත් විසිළු සහගත සිදුවීම් අප හට සිදු වී ඇත , ඉන් එකක් අද දින ඔබ හමුවේ ලිවීමට සිතුනේ අද උදයේත් මගේ යාලුවෙක් "ගෑණි උඹට වඩා අවුරුදු පහ හයක් බාලයි වගේ" කියා කිවීමෙන් ඇති වුණු ලැජ්ජා සහගත හැගීම සිත දරාගෙනයි.

මා කලකට පෙර වැඩ කල කාර්යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයක් පැවැත්වුනි. ක්‍රීඩා උත්සවය පැවැත්වීමට පෙර දිනයේ මා බිරිඳ ( එකල වෙන්ට - වයිෆ් ) කාර්යාලයට පැමිණියේ මා සමගම හවස ගෙදර යාමටයි. ක්‍රීඩා උත්සවය සඳහා ලහි ලහියේ සූදානම් වෙමින් සිටි කාර්යාල සගයන්ගෙන් සමුගෙන මා බිරිඳගේ අතින් අල්ලාගෙන පාරට බැස්සේ ඈත් සමග බසයකට නැගීමටයි. බස් හෝල්ට් එකට යාමට තිබුනේ ත්‍රී වීල් පාර්ක් එක මැදින්ය. අපේ කාර්යාලය අවුරුදු ගණනාවක්ම එතන තිබුණු නිසා බහුතරයක් ත්‍රී වීල් අයියලා අපිව හොඳින් අඳුරන අය වූහ. කාර්යාලයේ පැවැත්වෙන උත්සව ආදිය ගැනද ඔවුන් ඒ නිසා හොඳින් දැන සිටියහ.

ඉතින් මා බිරිඳගේ අතින් අල්ලාගෙන වීල් පාර්ක් එක මැද්දෙන් යන විට ඔන්න දන්නා කියන වීල් අයියා කෙනෙක් මූණටම හමු විය. පුරාණ සිංහල චාරිත්‍රානුකූලව අපි දෙදෙනා එකිනෙකා සමග සිනහ වී පොඩි ස්මෝල් ටෝක් එකක නියැලුනේ කුළුපඟ කම නිසායි.

"කොහොමද සර්.."

"කොහොමද අයියේ මොකෝ වෙන්නේ"

"ඉන්නවා සර්.. හෙට සර් ලගේ ක්‍රීඩා උත්සවේ නේද..??"

ඔන්න අයියා අහනවා..

"ඔව් අයියේ හෙට නේ.."

"ආ.. කට්ටිය හරි හරියට වැඩ නේද සර් ??"

"ඔව් අපිත් මේ වැඩ කරලා දැන් ගෙදර යන ගමන්.." මම හිනාවකුත් දාන ගමන් කීවෙමි.

මට පොළොව පලාගෙන යෑමට සලස්වමින් වීල් අයියා අපට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල කලේ ඉන් පසුවයි..

අර පොඩි ළමයි දැක්කම නිකන් මූනිච්චාවට අපි උන්ගේ ඔලු අත ගාන්නේ ?? නිකන් නිල වශයෙන් "කොහොමද බබා.." කියන්න වගේ ?

ආන්න ඒ වගේ බිරිඳගේ ඔලුවට තට්ටුවක් දැමූ වීල් අයියා මගේ දිහා බලමින් මේසේ ඇසීය..

"මේ පාර බබාලට ක්‍රීඩා මුකුත් නැද්ද සර් ???"

"*#$*#$&$*)(@*@)($#"

ඒ දුක්බර කතාව අවසාන වූයේ එසේය.. 😭



7 comments:

  1. ඕක නං මොකද්ද? මයිකල් ඩග්ලස් බැන්දෙ කැත්රීන් සෙටා ජෝන්ස්...!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ ඌ දිවිනසාගත්තෙ...

      Delete
  2. ඔන්න බලපං මේ කියන දේ බොරුද කියලා පිරිමි වයස අවුරුදු 45-50න් පස්සේ වයසට යාම අඩුවෙනවා. ගෑනු ඩබල් එකේ වයසට යනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනම් ලොකු දෙයක් :D

      Delete
  3. බලාගෙනයි නිකමටවත් නෑන්දම්මා එක්ක යන්න එපා.. මල ජූලියයි.. නෝනයි මහත්තයයි කොහෙද යන්නෙ කියල අහවි..

    ReplyDelete
    Replies
    1. හාහා ඒකත් වෙන්න පුළුවන් මේ යන විදියට :P

      Delete