Friday, September 25, 2015

දෙමල ෆිල්ම් බලනවද?

ලඟම මිතුරෙක්ගේ වෙඩිමට ඊයේ සහභාගි වුනෙමි.

පිනට දෙන අරක්කු නිසා ලෝස් නැතුව බර පන්තියෙන්ම දෙක තුනක් නවාගෙන , පැත්තකට වී දුම්වැටියක් ඉරීමට පටන් ගතිමි.

පින් අරක්කු වල බලයෙන් එලියට ආ සැඟවුණු මුර්ගයන් පෙරටු කරගත් වයසක අන්කල් ලා , flower girls ලාට හිටපු පොඩි දුවලා පවා අත නොහැර dance floor එකේ ඩෙඟා නටනවා පෙනේ. මෙවන් අසහනකාරී එවුන් ඉන්න රටක , ළමා අපචාර වැඩිවීම අහන්නත් දෙයක්ද යයි මා මටම කියාගතිමි. උදේ පාන්දර සැලූන් එකට ගොසින් අමාරුවෙන් දමා ගත් මේකප් බදාම දියවී , මේ දැන් මොහොතකට පෙර පට්ට කෑලි මෙන් දිස්වූ නංගිලා , ඇන්ටිලා , ආච්චිලාගේ සැබෑ රූප කෙමෙන් කෙමෙන් මතු වීමට පටන් ගනී. ළඟදී බැඳපු කොල්ලෝ මගුල් මුදු කුලියට ගත් කෝට් බෑයවල් වල සාක්කු වලට ඔබාගෙන , MBA mode එක on කරගෙන නැටුමට බහිති.

( MBA = Married But Available )

මේ විගඩම් බැලීමට වඩා John Player සමඟ තනිවීම සැප නිසා මම මදක් එලියට බැස , ගසක් යටට වී දුම් රස වින්දෙමි.

දුම් වැටියේ බාගයක් පමණ බී අහවර වන විට , ලස්සනට ඇඳ පැළඳගත් පොඩි පුතෙක් , අවුරුදු 7,8 ක් විතර ඇති , මා සිටින ඉසව්වට ආවේ පොඩි උන් කොහොමත් එක තැනක ඉන්න අකමැති නිසා වෙන්න ඇති. පොඩි දරුවන් ඉස්සරහ පිට දුම් බීම හරි නැති නිසා , මම ද ටර්බෝ on කොට උගුරට දෙකට දුම් වැටිය උරා , ප්‍රාණ නිරුද්ධ ෆිල්ටර් කොටය අහකට විසි කෙරුවෙමි.

පොඩි එකා මා දිහා බලාගෙන ලොකු කල්පනාවකි..

මම ඔහු දිහා බලා සිනාවක් පෑවෙමි. සාමානයෙන් කොයි කව්රුත් පොඩි ළමයින්ට සැහෙන්න ආසය. නමුත් මට නම් ඔය දරුවන් handle කිරීමේ සාත්තරේ තේරෙන්නෙම නැත. මම වැඩිම වුනොත් කරන්නේ උන් සමඟ සිනාසීම පමණි.

පොඩි එකා තවත් ටිකක් කල්පනා කොට මා ළඟටම ආවේය..

"මාමේ , මාමා දෙමල ෆිල්ම් බලනවද???"

පුංචි පුතා මගෙන් ඇසුවේ සැහෙන්න ලොකු වැදගත් කඩයිම් ප්‍රශ්ණයක් අහන්නා වගේය. මා පිළිතුරු දෙන තුරු බලා සිටින ඔහුගේ අව්‍යාජ දෑස , ඊළඟ අකුර ඔබන තුරු උපේක්ෂාවෙන් බලන් ඉන්නා පරිගණක තිරයේ cursor එක මෙන් උනන්දුවෙන් නිවී නිවී දැල්වෙයි.

බැංකුවට ආ විට බෝංචි 500ක මිල ඇහුවා වාගේ අපි සිටින තැනට කිසි සේත් අදාල නැති ප්‍රශ්ණයක් නිසා , පුතා ගේ ප්‍රශ්නයෙන් මම ටිකක් පුදුමයට පත් වීමි.

"ඇයි පුතා එහෙම ඇහුවේ???"

මම පෙරලා ප්‍රශ්න කෙරුවෙමි.

"නෑ මාමේ දෙමල ෆිල්ම් යනකොට , ඒවායේ පහලින් දානවා දුම් බීම පිළිකා ඇති කරයි කියලා ! "

පුතාගේ උත්තරයෙන් මම මොහොතකට නිරුත්තර වුනෙමි.

මගේ වයසෙන් සහ ප්‍රමාණයෙන් කාලක් වත් නැති මේ පුංචි බට්ටා , මා හට සොඳුරු කණේ පාරක් දුන් සෙයකි.

මුකුත් නොකී මම බිම බලාගත් වනම සිටියෙමි.

"ඇයි මාමා දැකල නැද්ද?" ඔහු නැවතත් ඇසුවේය.

"නෑ පුතේ මම දැකල නෑ" මම හෙමින් කීවෙමි.

"හෙට ගෙදර ගිහිල්ලා බලන්නකෝ , හරිද ? " මගේ දුම් ගඳ ගසන දකුණු අත සිය පුංචි ඇඟිලි වලින් අල්ලා සොලවා මට එලෙස order එකක් ද දුන් ඔහු , නැවතත් වෙන දිසාවක් බලා දුවගෙන ගියේය...

මම තව ටිකක් වෙලා එතනම කල්පනා කරමින් සිටියෙමි. මාගේ මිතුරෙක් මා සොයමින් ආවේය. 

"ගැබා , කොහෙද බන් අතුරුදන් වුනේ . වරෙන් යන්න ඇතුලට dance කරන්න" ඒ මා මිතුරු ලයියා.

"හරි යමන් " මම කීවෙමි "ඇතුලට යන්න කලින් දුමක් දාල යමු බන් , ගනින්කෝ ලයියා සිගරට් එකක්!"



ප.ලි : මෙම සිදුවීම ඇත්තටම සිදුවූයේ මාගේ මිතුරෙකුටය , එම දෙබස යන විට මාද අසල සිටි නිසා , මෙය first person විදියට ලියන්නට සිතුවෙමි.

8 comments:

  1. පොඩි එකෙක් උනත් උපදේසයක් දුන්නාම පිළීගන්න ඕනි.......... ඒ කියන්නෙ දෙමළ ෆිල්ම් බලන්න ඕනි...... පිළිකා පැත්තකට දැම්මත් ඕවා බීපුවාම ලිංගික අප්‍රිණිකත්වය ඇතිවෙනවලුනේ......... හම්මෝ........

    ReplyDelete
    Replies
    1. හහා අප්‍රාණික වෙනකොට 50ක් වත් වෙයි නේ කියල හිත හදාගෙන ඉන්නේ ;)

      Delete
  2. ඒත් හැදෙයිද බං...? මොනා උනත් ඒ පොඩි එකා කියපු දේ නම් තදටම දැනෙන්න ඇති. පොඩි උන්ට අපිට පේන්නෙ නැති ගොඩක් දේවල් පේනවා බං.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් උන් මූනටම කියනවනේ කියන්න තියෙන දේ

      Delete
  3. මෝඩ ජෝක් නැත්නම් දෙමළ ෆිල්ම් පට්ට, මාර ස්ටෝරි නේ තියෙන්නේ. ඔය පොඩි එකා කිව්ව තැන ඉඳලා ඉවර වෙනකල් ගන්න බොහොම දේවල් තියනවා දෙමල ෆිල්ම් වල.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් හින්දි ෆිල්ම් වලට වඩා දෙමල ඒවා හොඳයි , හොඳ දෙමල ෆිල්ම් තියෙනවා ඇඩ්රස් නැති ඒවා :)

      Delete
  4. අඩෝ මට මැවිලා පේනව බන් උබ පොඩි එකාට බයේ ලමයා එක්ක හිනා වෙල විතරක් ඉන්න හැටි.....සිරාවට ඔය පොඩිඋන් මුකුත් කියන්නෙ නැතුව මූන දිහා බලන් ඉන්න එකනම් මහ එපා කරපු වැඩක්

    ReplyDelete
    Replies
    1. හහ ඔව් බන් මගේ ළමයි හැසිරවීමේ හැකියාව නම් 0 , මට තේරෙන්නේ නෑ බන් උන් එක්ක සෙට් වෙන හැටි :(

      Delete