Wednesday, September 23, 2015

මයිලාගේ තැනට සුදුසු නුවණ

පහුගිය ටිකේම ලොකු talk දීපු නිසා , අද පොඩි සරල කතාවක් කියන්න හිතුනා. මේක මගේ යාලුවෙක්ට සිදු වුනු සත්‍ය සිදුවීමක්. ආරක්ෂක හේතුන් මත මට මේ යාළුවගේ සැබෑ නාමය හෙළි කල නොහැක , හැබැයි ඉතින් කතාව කියන්න මූට  නමකුත් එපැයි!. මම මීට කලින් මගේ යාලුවෙක් කරපු වීරක්‍රියාවක් ලියපු නිසා "මයිලා" කියන code name එක භාවිතා කරලා , මම හිතුව මම මින් මත්තට ලියන සත්‍ය කතා ඔක්කොගෙම ප්‍රධාන නළුවට "මයිලා" කියන අනවර්ථ නාමය භාවිතා කරන්න. ඔන්න එහෙනම් හැම කතාවේම ඉන්නේ එකම මයිලා නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.හරි , ඇති චැට් චැට් කමු චිට් චැට්, යමු කතාවට..

පොඩි කාලේ ඕනෑම කොල්ලෙක් අම්මල තාත්තලා ගෙදර නැති වෙනකන් බලන් ඉන්නේ හෙන ආසාවෙන්. මක්නිසාද යත් පරීක්ෂකවරු එන දවසට ටීචර්ලා වගේ කඩිසරව හෝමෝන ක්‍රියාකාරී වෙන වයස නිසා , නොයෙක් නොයෙක් දුරාචාර කිරීමට අම්මලා නැති ගෙදර අභය භූමියක් වන නිසයි. 

කොල්ලන්ගේ home alone ක්‍රියාකාරීත්වයේ විකාශනය ගත්තොත් , පොඩිම කාලේ අම්මල විසින් තහංචි පනවා ඇති video games , රූපවාහිනිය ආදිය නරඹති . ඊට  පස්සේ ටිකක් ලොකු වන විට වල බැසීමට හෝ සෙල්ලම් කිරීමට යති , තවත් ටිකක් ලොකු වන විට වැල බලති ( වැල කිව්වේ වැල - වරකා ) , ඊටත් ටිකක් ලොකු වන විට කොල්ලන්ගේ පරම පැලෑන වන්නේ අම්මල එහෙ මෙහෙ වෙනකන් සිට මොකක් හෝ වසක් විසක් තොල ගෑමයි , මෙය එක එක පුද්ගලයා අනුව සිගරට්ටුවේ සිට ඉහලට යන පරාසයක අගයන් ගත හැක , තවත් ටිකක් ලොකු වී ගෑනු ළමයෙක් කාරිය පැටලුණු විට , අම්මලා නැති ගෙදර තනිකරම සිරියහන ගිනි ගනී part 2 වෙයි.

අපේ මයිලා සිටියේ මෙම timeline එකේ වස විස අවදියේ ය. අම්මලා එහෙ මෙහෙ වෙනකන් නෙතු පොපියා බලන් ඉන්න මයිලා , පාලු ගෙදර වළන් බිඳීම පැත්තකට දමා ලද අවසරයෙන් සිගරට් ඉරීමට හුරු වී හිටියේය.

පාසල් නිවාඩු කාලයේ දවසක් වූ එදා මයිලා හිටියේ ගෙදරය . දවල් කාලය වූ නිසා තාත්තා ද වැඩට ගොහින්ය. කාමරේට වී කොම්පුටර් එකේ යතුරු වලට කම්මැලි කමේ ඇන ඇන සිටි මයිලා ගේ කම්මැලි ලෝකයට ඉර පෑයුවේ , අම්මගේ කටහඬ ඇසීමෙන් පසුවය.

"පුතා... මම පොඩ්ඩක් එලියට යනවා , දොර වහගෙන ඉන්න කොහෙවත් යන්නේ නැතුව.."

සාමාන්‍යයෙන් ගෙදට්ට අඳින "කිචන් හඩු කිට්" එකෙන් බැහැර වූ අම්මා පිළිවෙලකට ඇඳ පැළඳගෙන , එය සුභ ලකුණකි , ඒ කියන්නේ අම්මා සැහෙන වෙලාවකට එන්නේ නෑ ! YES !! 

අම්මා ගෙදරින් පිටවු බව සැක හැර තහවුරු කරගත් මයිලා , pocket money රෝල ගසා අමාරුවෙන් එක්කහු කරගත් මුදලින් කොටසක්ද රැගෙන , දහසක් පැතුම් සිතේ පුරවාගෙන කඩය වෙත පියනැගුවේය.ඉමිහිරි ගෝල්ලීප් සුවඳ දැන් දැන් නහයට දැනෙන්නා වාගේය. "සුවඳ දැනී....දැනී...දැනෙනවා....... " , මයිලාගේ ගොරහැඩි කටහඬ ප්‍රීතියෙන් මුමුණයි.

කඩයෙන් තහනම් ගස් වල ගෙඩි මිලට ගැනීමේදී අනුගමනය කල යුතු golden rule එකක් ඇත! එනම් , කවදාවත් ගෙවල් ළඟ කඩයට නොයා යුතුයි!. පරණ පොත් වල මෙම නීතිය සඳහන් වෙන්නේ "thou shalt not buy hora badu from the gewal langa kade" කියාය.

මීට හේතු කීපයක්ම ඇත.

1) මුදලාලි අම්මලාව හඳුනයි , ඕකා සත පහකට sure නැත.
2) ගෙවල් ළඟ කඩේට පැත්ත පළාතේම ඉන්න ඇන්ටිලා අංකල්ලා එති , උන් අම්මලාව හඳුනයි , ඕකුන් සත පහකට sure නැත.
3) අම්මා හෝ තාත්තා කොයි වෙලාවේ හෝ කඩයට ඒමට ඉඩ ඇත , එවන් අවස්ථාවක හසුවූවොත් ජීවිතය රැක ගැනීම සත පහකට sure නැත.

පළපුරුදු හොර පූසෙකු වන මයිලා , මේ කරුණු කාරණා හොඳින් දනී. ගෙවල් ළඟ කඩයට ගොස් ඉල්ලන් පුකේ මාමයිට් ගා ගැනීමට වඩා , දුර ටිකක් වැඩි වූවත් ගෙදරින් ටිකක් ඈත පිහිටි පොඩි අයියාගේ කඩයට යෑම ඇඟට ගුණ බව හේ තීරණය කළේය. ඇවිද්ද පය දහස් වටී කියා මයිලා double එකේ පයින් යයි..

පාගමනින්ම මයිලා කෙමෙන් කෙමෙන් කඩයට ලඟා විය . කඩයේ තරමක් සෙනග හිටියත් මයිලා එතරම් භය වූයේ නැත. සාමානයෙන් මෙම කඩයට මයිලාගේ ප්‍රාන්තේ OPDP ඇන්ටිලා නොපැමිණෙති.එම නිසා බය වීමට කාරී නැත.

සෙනග අස්සෙන් රිංගා ගිය පොඩි මයිලා මුදලාලිට සල්ලි දිගු කොට , හැමදාම බොන ගෝල්ලීප් එකක්ම ඉල්ලා සිටීමට කට ඇරියා පමණි...

(කතාවේ මෙතැන් පටන් ටික සිදු වීමට ගත වුයේ සැබෑ කාලයෙන් එක නිමේශයක් පමණක් වූවත් , පාඨක ඔබේ රසාස්වාදය තකා මම මේ සිද්ධි දාමය slow motion ගෙන හැර දක්වන්නම්. හරියට නිකන්...matrix වගේ රයිට් ? )

...සෙනග අස්සෙන් රිංගා ගිය පොඩි මයිලා මුදලාලිට සල්ලි දිගු කොට , හැමදාම බොන ගෝල්ලීප් එකක්ම ඉල්ලා සිටීමට කට ඇරියා පමණි...

"මුදලාලි මට ගෝ.." ගෝල්ලීප් කියා කීමට "ගෝ" යන්න කටින් පිට වුනා පමණි , කඩයට පැමිණි හුරුපුරුදු රුවක් මයිලාගේ උකුසු දෑසේ කොණකට දිස් වුණි.

අම්ම ගායි බැට එකෙන් කියන්නහේ මේ ඉන්නේ අම්මා නේද ! පූරුවේ කරුමෙකට කවදාවත් නැතුව අම්මාද පොඩි අයියාගේ කඩයට පැමිණ ඇත! අම්මාත් මයිලාත් අතර දැන් ඇත්තේ සෙන්ටි මීටර කීපයක පරතරයක් පමණි..අම්මාද මයිලාව දුටු බව ඈගේ facial expressions කියා පායි. 

දැන් ඉතින් කවර හූනියමක් කරන්නද ? ගෝල්ඩ් ලීප් ඉල්ලීමට "ගෝ" යන්නද කටින් පිට කර හමාරය..ගුටි නොකා shape වෙන විදියක් කල්පනා කරන මයිලාගේ මොළය , ටර්බෝ චාර්ජ් වූ ඇන්ජිමක් මෙන් හූ කියාගෙන වැඩ කරයි.. හරි! Desperation is the mother of invention කියා කතාවක් ඇත. මයිලාටද ක්ෂණික මෝචනයෙන් ගණ දෙවි නුවණ පහල විය!

"මුදලාලි ගෝ.." කියා ආරම්භ කල වාක්‍ය මදකටවත් වෙනස් හෝ ආපසු නොගත් මයිලා , වාක්‍ය තැනට සුදුසු ටිකිරි මොළය පාවිච්චි කොට වෙනස් කළේය!

"මුදලාලි මට ගෝල්ඩ් මාරි එකක් දෙන්න" !

Without skipping a beat ! අරෙ වා භායි වා !

මාරි පැකට්ටුවත් රැගෙන කිසිත් නොදත් අහිංසක කිරි දරුවෙක් මෙන් මයිලා අම්මා සිටි දෙසට හැරුනේය.

"ආ අම්මේ , මොකෝ මේ පැත්තේ?"

අම්මා අවේලාවේ කඩේ ආ මයිලා දෙස සැක සහිත බැල්මක් දැම්මාය.

"මොකෝ මේ මාරි කන්නේ මේ වෙලාවේ ?? "

අහිංසක මයිලා චොකොලට් එකක් ප්‍රීතියෙන් කන පොඩි ළමයෙක් ලෙසින් මාරි පැකට් එක කඩාගෙන , මාරියක් ද හප හපා මෙසේ කීය..

"බඩගින්නක් ආවා අම්මේ.."  (අහිංසක හිනාව)  O:)

අම්මා තව දුරටත් ප්‍රශ්න අහන්නට කලින් මයිලා ගෙවල් පැත්තට මාරු වූයේ සිය ඉස්තානොචිත ප්‍රඥාව ගැන දෙවියන්ට පින් දෙමින්ය..

8 comments:

  1. Replies
    1. හාහා අඩෝ නෑ බන් අම්මපා මම නෙමෙයි :)

      Delete
  2. බුදු අම්මෝ ඒකනං මාර බේරිල්ලක්.........!

    ReplyDelete
    Replies
    1. අනිවාර් අහුවුනානම් මයිලත් ගෝල්ඩ් ලීප් පැකට් එකටම දාල වලලයි අම්මා

      Delete
  3. ඕ... ජස්ට් මිස්ඩ් බයි කෙස් ගස්

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් එල්ලුම් ගස්

      Delete
  4. මයිලාගේ මළ ගෙදර යන්න තිබ්බ චෑන්ස් එක මිස් වෙලා නොවැ...

    ReplyDelete
    Replies
    1. දවස් හතක් පාටි දාල කැරමක් කාරිය ගහන්න තිබ්බ චාන්ස් එක

      Delete